තවත් සති තුනකින් නව වසරක් උදා වේ. ගෙවී ගිය අන්ධකාර යුගය අවසන් කර දියුණු යුගයකට ඇතුළුවනු හැකි වෙතැයි අපේක්ෂාවක් සමාජයට ඇත. ශ්‍රී ලාංකේය ජන සමාජය පසුගිය කාලයේ අසීමිත පීඩනයකට ගොදුරු වූ බව සඳහන් කළ යුතුය. දුප්පත් ජනතාව දරිද්‍රතාවයේ පත්ලටම වැටිණ. මැදි ආදායම් මට්ටමක සිටි පිරිස දුප්පතුන් බවට පත් වූහ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දෙගුණ තෙගුණ වූ අතර ජීවත්වීම ගැටලු සහගත විය. සංකීර්ණ විෂමතාවලින් පෙලී, දුෂ්කරතාවලට මුහුණ දුන් ඇතැම් පිරිස් ක්‍රමය වෙනස් කරන සේ බලකරන ලද අතර විරොධතා අවසානයේ දී පවා සැලකිය යුතු වෙනසක් සිදුවූයේ නැත.
2023 අවුරුද්ද ගැන වෙනස් මානයකින් සිතන්නට අවස්ථාවක් ඇත. ආර්ථික ප්‍රශ්නයක් රටට තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ නිසි පිළියමක් රහිතව පැමිණි ගමන මෙම අර්බුදය ඇති කරන ලද බව සඳහන් කිරීම අවශ්‍යය. නිසි අවස්ථාවේදී තීරණ නොගෙන, නිෂ්පාදනය වැඩි දියුණු නොකර යැපෙන්නට පමණක් බලා සිටි රටක් ආපසු හැරවීම පහසු නැත. ගෙවී යන මෙම වසරේදී පරිවර්තනයකට උත්සාහ කර තිබේ. දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් රට වෙනස් තැනකට යා යුතු බවට බලකිරීමක් සිදුවිය. මෙය පහසු කර්තව්‍යයක් නොවේ. ඉක්මන් විසඳුම් නැත. සැලැස්මක් අනුව පුනර්ජීවණයක් සඳහා ගමන් කරන්නට සිදුවේ.
• උදා වූ මොහොත ආපසු හැරී බලන්නට සුදුසුය
ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර හැත්තෑ පහකි. නිදහස කුඩා දරුවෙකු ලෙස උපත ලැබුවේ නම් අද වනවිට යොවුන් විය පසුකර ජීවිතයේ සැඳෑ සමයට සමීප වී සිටී. තරුණ ජවයෙන් තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්නට වෑයම් නොකර අනපේක්ෂිතව ගතකරන ලද සමාජයට මෙම සැඳෑ කාලයේදී වේගයෙන් වැඩකරන්නට සිදුවී ඇත. ගත වූ දශක හතහමාරක කාලයේදී ආර්ථික වර්ධන අගයේ සාමාන්‍යය සියයට පහ ඉක්මවා නැත. ලබන වසරේදී ද ආර්ථිකය ඍණ අගයක් ගන්නා බව ප්‍රකාශ වී තිබේ. 2020 දී ආර්ථිකය අවගමනයක පැවැති අතර එය ඍණ 3.6 කි. 2021 දී සියයට 3.7 ක වර්ධනයක් සිදුවිය. 2022 වසරේදී සියයට 9.4 කින් ඍණ අගයක්ද ලබන වසරේදී තවදුරටත් සියයට 4.3 කින් පහත වැටෙන්නටද ඉඩ ඇති බව ප්‍රකාශ වී තිබේ. තවදුරටත් අවදානමක පවතින රටක යස ඉසුරු අපේක්ෂා කිරීම සුදුසු නොවේ.
ආර්ථික ඍණ අගය පෙන්වන්නේ නිෂ්පාදනය පහත වැටී ඇති ප්‍රමාණයයි. සියයට දහයකින් අඩුවන විට සමාජයේ සෑම තරාතිරමකටම එහි බර දැනේ. රුකියා අවස්ථා අඩු වන අතර රුකියාවල නිරත පිරිසට ලැබෙන අතිකාල, අතිරේක දීමනා යනාදිය සීමා වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මිල දී ගත හැකි ප්‍රමාණය අඩුවන අතර ආර්ථික යේ සක්‍රීය භාවය අඩුවන විට වැට් බද්දේ සිට අය කරන සියලුම බදු වර්ගවලින් රටට ලැබෙන ආදායම පහත වැටේ. ආදායම අඩු රටක් අයවැය පියවා ගැනීම අසීරු තැනකට පත්වනබව සඳහන් කළ යුතු නැත. මෙකී ස්වභාවය ශරීරය තුළ වැඩෙන පිළිකාවකට හා සමානය. දිනෙන් දිනම ගොදුරු කරගනී. එයින් ගැලවීම සඳහා නිෂ්පාදනය වැඩි කළ යුතු අතර ජනතාවගේ මිල දී ගැනීමේ ශක්තිය නැංවීම අවශ්‍යය. වැඩිපුර නිපදවන දේ අපනයනය කළ යුතුය. අපනයන නිෂ්පාදනවල ප්‍රමිතිය හා ලෝකයේ අනෙක් රටවලට වඩා සුදුසු තරඟකාරී මිලකට සැපැයිම අවශ්‍යම කාරණයකි. අක්‍රමවත්, ආර්ථිකය ආපසු හැරවීම සඳහා විශාල ප්රයත්නයක් අවශ්‍ය වන අතර එය ආර්ථික ප්රතිසංස්කරණයකි. පහළ මට්ටමේ සිට ඉහළටම සියලු කටයුතු නැවත සලකා බැලීමකින් තොරව වෙනසක් සිදුවෙන්නේ නැත.
• ණය ආපසු ගෙවීම සම්බන්ධ තීරණ ගැනීම
2022 වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව තම විදේශ ණය ගෙවිය නොහැකි බව ප්‍රකාශයට පත් කළේය. ජාත්‍යන්තර සමාගම් දෙකක් සංවර්ධන බැඳුම්කර, ආයතනික හා රටවල් වලට ගෙවන්නට ඇති විදේශ ණය නැවත ගෙවන ආකාරය ගැන සැලැස්මක් සකස් කරමින් සිටී. පැරිස් කණ්ඩායමට අයත් රටවල්, චීනය හා ඉන්දියාව එකම ප්රතිපත්තියකට කැඳවීම අපහසු වූ අතර ණය ගෙවන සැලැස්ම සකස් කිරීම දිගින් දිගටම ප්‍රමාද විය. ලබන වසරේදී එය ක්‍රියාවට නැවෙනු ඇත. වසරකට ආසන්න කාලයක් උත්පාදනය කරන ධනයෙන් විදේශ වෙළඳාම කරගෙන ගිය රටට ණය වාරිකය ගෙවන වගකීම ද පැවැරේ. අනෙක හදිසි අවස්ථාවකට හෝ ජාත්‍යන්තර බැඳුම්කරයකින් ණය ලබාගැනීම පහසු නැත. එකම වාසිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සංචිතයක ආවරණ්ය ලැබීම බව පෙනේ. දැනට එකඟ වී ඇති අන්දමට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක පමණ මුදලක් අවුරුදු හතරකට ආවරණය වන පරිදි වාරික වශයෙන් ලැබේ. එය හැරෙන්නට අනෙක් වාසියක් නොලැබෙනු ඇත.
ණය ගෙවන්නට විනිමය උත්පාදනය කළයුතු අතර ආයෝජන, අපනයන හෝ විදේශගත ශ්‍රමිකයන් එවන ධනය උපයෝගී කරගත යුතුව තිබේ. පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය වූ අපනයන ආදායම පළමු වතාවට නොවැම්බර් මාසයේදී පහළ වැටී ඇත. එයට හේතු තිබේ. පිරිවැය ඉහළ යන අතර විනිමය අනුපාතය ස්ථාවර වනවිට විදේශික ගැනුම්කරුවන්ට ලංකාවේ නිෂ්පාදන මිල දී ගැනීමෙන් වාසියක් නැත. රට තුළ භාණ්ඩ මිල ස්ථාවරව තබාගැනීම අරමුණු කරගෙන විනිමය පාලනයක් ක්‍රියාත්මක කෙරේ. පසුගිය කාලයේදී ද එවැනි ප්‍රයත්නයකින් පාඩමක් ඉගෙන ගත් මහ බැංකුව නැවතත් එහි නිරතව සිටීම ව්‍යාකූල ස්වභාවයකි. විදුලිය, හා ඛනිජ තෙල් ඇතුළු බලශක්ති පිරිවැය, වැටුප් ගෙවීම්, බදු වැඩිකිරීම් අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ඇඟළුම්, තේ සහ රබර් ඇතුළු නිස්පාදනවල මිල වැඩිවිය හැක. පළමු වතාවට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශයේ අපනයනවලටද හොඳ කලක් උදා වෙමින් තිබුණි. මෙකී අංශවලට විනිමය ඉදිරියේ සිදුවන ඉල්ලුම පහත වැටීම සමස්ථ ආර්ථිකය නැවතත් අසීරු තැනකට යොමුකරනු ඇත.
• බැංකු පොලිය හා මුල්‍ය කටයුතුවල වෙනස
වාණිජ බැංකු පොලිය දිනපතා වැඩිවෙමින් පවතී. 2019දී වාණිජ බැංකුවල තැන්පත් පොලී අනුපාතය අවුරුද්දකට සියයට හතරකි. දැන් ස්ථිර තැන්පත්වලට වාර්ෂිකව ගෙවන පොලිය සියයට 26ක් වී තිබේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සියයට 15ක් දක්වා අතිරේක පොලියක් ගෙවන ලද කාලය අද මතක නැත. වැඩි පොලිය සඳහා ගෙවන්නේ කොතැනින්ද? බැංකුවල තැන්පත් කිරීමෙන් ආදායම උපයා ගන්නා පිරිස එය අවධානයට ගත යුතුය. බැංකු කරන්නේ අතරමැදි ක්‍රියාවකි. සංචිත පවරා ඒවාට ආදායමක් උපයාගෙන කොටසක් තැන්පත්කරුවන්ට ගෙවයි. මෑත කාලය තුළ රජයේ ණයගැනීම වේගයෙන් ඉහළ ගිය අතර එහි පාලනයක් දැකිය නොහැකි විය. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලින් ගත් ණය ආපසු පියැවූයේ අලුත් මුදල් නෝට්ටු අච්චු ගැසීමෙන්ය. මෙහි විපාක වශයෙන් උද්ධමනය දරුණු අගයක් ගෙන ඇත.
ඉහළ පොලිය, වැඩිම උද්ධමනය, විරුකියාව රටක හොඳ ලක්ෂණ නොවේ. ලබන අවුරුද්දේදී මෙම තත්ත්ව පාලනය කරගැනීම ඉතාම අවශ්‍යය. රජයේ වියදම් අඩු කළහොත් ණය ගැනීම සීමා කළ හැක. 2023 වසරේ අය වැය හිඟය අනුව සංකූලතා අඩුවන බවක් පෙන්නුම් නොකරයි. කෙසේ වෙතත් උද්ධමනය පාලනය වන පරිදි රජයේ ණයගැනීමේ ක්‍රියාවලිය කරගෙන යා යුතු අතර රජයේ වියදම් අඩු කරන අරමුණ ඇතිව රජයට අයත් ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කරන්නට නියම වී ඇත. විදුලිය බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය. දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන හාරසිය ගණනක පැවැත්ම වෙනස් කරන්නට සිදුව තිබේ. කළමණාකරනය වෙනස් කරන අතර වියදම් ආවරණය කරගන්නා ක්‍රම හඳුන්වා දෙනවිට එහි බරබතල තත්ත්වයද ජනතාවට දරාගන්නට සිදුවේ. විදුලිය ඒකකයකට වැය වන මුදල රු. 56.90ක් බව සඳහන් කර නැවත විදුලිය ගාස්තු වැඩි කළයුතු බවට ප්රකාශවීම මෙම ප්රතිව්යුහගතකරණයෙහි එක පැත්තකි. පවතින මිල දක්වා ජනතාවගෙන් අය කිරීම වෙනුවට ජනතාවට දැරිය හැකි මිලක් දක්වා විදුලිය උත්පාදන මිල පහත හෙළිය යුතුය. ලබන වසරේ ගත යුතු තීරණ අතර එවැනි වැදගත් අංශ ඇත. ගල් අඟුරුවලින් නිපදවන ඒකකයක මිල රු. හතක් වනවිට දැවි තෙල් ඒකකයක් රු. තිහක් හතළිහක් දක්වා වැඩි මුදලකි. වාර්තා සනාථ කරන පරිදි සුළං බලයෙන් විදුලිය නිපදවීමේදී ඒකකයක මිල රු. දෙකට අඩුය. මේවා ක්රමාණුකූලව යාවත්කාලීන කළහොත් පරිවර්තනයක් සිදුවිය හැකි අතර එයට අවශ්‍ය බලය හා ජවය ඇති කරගැනීම ශ්‍රී ලංකාවේ අධිෂ්ඨානය විය යුතුය.
I සාරා කන්දෙගොඩ