රටම ආර්ථික උගුලකට හසුකර මහජනතාවගේ ආදායම් මාර්ග ඇහිරී තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පමණක් වැටුප් වැඩිකරගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා චෝදනා කරයි. ඉකුත් ජූලි මස සිට මන්ත්‍රී වැටුප් එක්ලක්ෂයේ සිට දෙලක්ෂය දක්වා වැඩිකරගෙන ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට ලැබිය යුතු ඉන්ධන දීමනා අතිකාල දීමනා වැනි සාධාරණ දීමනා සියල්ල ආර්ථික අර්බුදය පෙන්වමින් නවතා දැමීමට චක්‍රලේඛ නිකුත් කළ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ගේ වැටුප් හොර රහසේ වැඩි කිරීමට නීති සකස් කිරීම ගැන ලැජ්ජාවට පත්වන බවත් කියා සිටියි.
මන්ත්‍රී වැටුප් වැඩි කිරීම වරින්වර ආන්දෝලනයට තුඩුදුන් මාතෘකාවකි. විශාල මුදල් ස්කන්ධයක් වියදම් කර මන්ත්‍රීවරු නඩත්තු කළ යුතු දැයි මහජනයා ප්‍රශ්න නගති. 1833 කෝල්බ_ක් ප්‍රතිසංස්කරණ සිට 1930 දක්වා වසර 100ක කාලයක් මන්ත්‍රීවරුන්ට වැටුපක් හෝ දීමනාවක් හිමි නොවීය. මන්ත්‍රී ධූරය ගරු සේවයක් සේ සලකනු ලැබුණි. තම පෞද්ගලික වියදමින් මහජන සේවයේ යෙදීමට ඇප කැපවූහ. 1931 වර්ෂයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඩී.බී. ජයතිලක මන්ත්‍රීවරයා විසින් මන්ත්‍රීවරුන්ට රුපියල් 400ක දීමනාවක් දීම පිළිබඳව කළ යෝජනාව සම්මත වීම නිසා එම වර්ෂය සිට මන්ත්‍රීවරුන්ට දීමනා දීම ඇරුඹුණි. අනතුරුව 1947 නිදහස ලබන විටත් 1977 ජේ.ආර්. ආණ්ඩුව යටතේත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීමනා සහ වරප්‍රසාද රුසක් හිමිවිය. බලපත්‍ර ලබාදීම විශ්‍රාම වැටුප් ලබාදීම ආදියත් ඒ අතර විය. ඒ අනුව වරින්වර වැඩි වූ වැටුප් හා දීමනා හේතුවෙන් 2007 වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුප 54,285 දක්වාද ඉන්ධන දීමනාව 7500 දක්වාද ඉහළ ගොස් තිබුණි.
මන්ත්‍රීවරයකුට හිමිවන වරදාන වරප්‍රසාද ඔවුන් ආදායම් මාර්ගයක් බවට පත් කරගෙන සිටින අතර මන්ත්‍රීවරුන්ට තුටුපඬුරු පිරිනැමීමේ මාධ්‍යයක් බවටත් ආණ්ඩු පක්ෂ පත්කරගෙන ඇති සෙයක්ද පෙනේ. 2019 වර්ෂයේත් මුදල් අමාත්‍ය මංගල සමරවීර යටතේ මන්ත්‍රී වැටුප් ඉහළ දැමීමේ දැඩි උත්සාහයක් පැවති අතර ඒකාබද්ධ විපක්ෂයෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා එම යෝජනා හකුලා ගැනීමට එවක රනිල් වික්‍රමසිංහ රජයට සිදුවිය. කෙසේ නමුත් ඉකුත් ජූලි මස සිට මන්ත්‍රී වැටුප් ඉහළ දමාගෙන සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කණ්ඩායමේ සහාය ඇතිව රනිල් වික්‍රමසිංහ රජය විසින්මය. මේ සම්බන්ධයෙන් දේශයට අදහස් දැක් වූ විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.
“පහුගිය ජූලි මාසය ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන්ට ඉන්ධන මිල හාරසිය තිහ ගණනේ ගණන් හදලා, ඔවුන්ගේ දුර අනුව වැටුප් වැඩි කිරීමක් කරලා තියෙනවා. එක් එක් මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ දිස්ත්‍රික්කය අනුව දීමනා දෙන ලීටර් ගාන වෙනස්. යාපනය අම්පාර වගේ දිස්ත්‍රික්කවලට වැඩි දීමනාවක් ලැබෙනවා. කලින් 117ට තමයි ගණන් හැදුවේ එක් ලීටරේකට. ජූලිවලින් පස්සේ 430 ගණනේ ගණන් හැදුවා. එහෙම ගත්තම පඩිය රුපියල් ලක්ෂයක් එකහමාරක ඉඳලා ලක්ෂ දෙක දක්වා පරාසය දක්වා වැඩිවෙනවා එක් එක්කෙනාගේ දුර අනුව. ඒ අනුව මන්ත්‍රීවරු 225ට ම රුපියල් 430 ගාණේ ඉන්ධන දීමනාව ගණන් හැදෙනවා. මගේ පඩිය ජූලි මාසය වෙනකම් තිබුණේ 2,73,000යි. ජූලි මාසේ මට පේෂීට් එක එනවා 3,86,000යි. ඒක වෙනස් වෙනවා වෙනත් දිස්ත්‍රික්කයේ කෙනෙකුට. සාමාන්‍යයෙන් ලක්ෂ 04ක් වගේ දැන් වැටුප. සමහර අයට හතරට වැඩියි. ලක්ෂ 04, 225න් වැඩි කළාම මාසයකට කෝටි 100ක් විතර යනවා. නමුත් ජාතික ජනබලවේගයේ අපි තුන්දෙනා කතානායකට දැනුම් දුන්නා අපි ඒ වැඩිවීම බාරගන්නේ නෑ කියලා. අපි ඒක ගත්තේත් නෑ. මේ වැඩි කිරීම කළේ සාකච්ඡා කරලා නෙවෙයි. ආණ්ඩු පක්ෂයේ කවුරුහරි කියන්ඩ ඇති. ඊටපස්සේ කතානායක තීන්දු අරගෙන ක්‍රියාත්මක කරලා තියෙනවා. මීට කලින් නාරහේන්පිට පොලිස් ෂෙඩ් එකෙන් මන්ත්‍රීවරුන්ට තෙල් ගහන්න දෙන්න තීන්දු කළේත් මේ විදිහටමයි.''
වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දීමනා හා වරප්‍රසාද ගණනාවක්ම හිමි වේ. රැස්වීම් දීමනාව වශයෙන් පාර්ලිමේන්තු රුස්වීම්වලට සහභාගිවීම වෙනුවෙන් එක් දිනක් සඳහා පැමිණීමේ දීමනාව රු.2500 කි. පාර්ලිමේන්තු රුස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගී වීම වෙනුවෙන්ද දිනකට රු.2500 බැගින් ලබා දේ. මන්ත්‍රීවරු කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රු.100,000ක් බැගින්ද පිරිනමනු ලැබේ. මන්ත්‍රී වැටුප රු. 54,285.00කි. සංග්‍රහ දීමනාව රු.1,000ක් සහ රියදුරු දීමනාව වශයෙන් රු.3,500ක් ද හිමි වේ. පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව වශයෙන් පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් 04 දෙනෙක් කාර්යාලයට පැමිණීම වෙනුවෙන් එක් අයෙක් සඳහා රු.2,500 බැගින් මාසිකව රු.10,000ක් ලබා දේ. මීට අමතරව නිදහස් තැපැල් පහසුකම් වශයෙන් සෑම මන්ත්‍රීවරයෙකුටම වාර්ෂිකව රු.350,000ක් වටිනා මුද්දර ලබා දේ. දුරකථන දීමනාවක්ද මන්ත්‍රීවරුන්ට හිමිවන අතර ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන සඳහා මාසිකව රු.50,000ක් ගෙවනු ලැබේ.
මන්ත්‍රීවරුන්ට හිමිවන දීමනා අතර ඉන්ධන දීමනාව වැදගත්ම දීමනාව වන අතර හොර රහසේ වැඩිකරගෙන ඇත්තේද ඉන්ධන දීමනාවයි. එක් එක් මන්ත්‍රීවරයා/වරිය තේරී පත්වුණ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගණනය කළ ඩීසල් ලීටර ප්‍රමාණය සඳහා මෙම දීමනාව ගෙවනු ලැබේ. (උදා: කොළඹ ලීටර් 283.94, ගම්පහ සහ කළුතර ලීටර් 355.58) විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඉන්ධන දීමනාව ඉහළ දැමීම නිසා වාර්ෂිකව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ඉන්ධන දීමනා පමණක් 49,650,000 (හතළිස්නව කෝටි හැටපන් ලක්ෂයක්) දක්වා වැඩි වී ඇති බවයි. “රාජ්‍ය ඇමැතිවරු කියන්නේ අපිට මන්ත්‍රී පඩිය ඇති, ඇමැති පඩිය එපා කියලනේ. රාජ්‍ය ඇමැතිවරුන්ට ඇත්තටම වැඩි වෙන්නේ මන්ත්‍රී පඩියට වඩා රුපියල් 15,000යි. ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ අපිට ඇමැති පඩිය එපා කියලා. මන්ත්‍රී පඩිය වැඩිකරගෙන ඇමැති පඩිය එපා කියලා ඇමැතිට හම්බවෙන වාහන ටික ගන්නවා. මේ ගොල්ලො ගහපු චක්‍රලේඛණයේ රාජ්‍ය ඇමැතිවරයෙකුට වාහන තුනයි. ලීටර් 500ක් දෙනවා එක වාහනයකට. එතකොට ලීටර් 1500යි ඇමැතිගේ වාහන 03ට. තව ඇමැතිගේ ලේකම්වරු 04 දෙනෙකුට වාහන 04ක් දෙනවා. ලේකම්ලා කියන්නෙත් පුතයි නෝනයි එහෙම අයනේ ඉන්නේ. ඒකෙන් පුද්ගලික ලේකම්ගේ වාහනයට මාසෙට ලීටර් 245ක් දෙනවා. අනිත් ලේකම් 03 දෙනාට එක්කෙනෙකුට ලීටර් 225 ගණනේ ලීටර් 675යි. එතකොට ලේකම්වරු 04 දෙනාට තෙල් ලීටර් 920යි. ඇමැතිගේ වාහනයට ලීටර් 1500යි. එතකොට එක් ඇමැතිවරයෙකුට ඉන්ධන 2420යි. 2420 රාජ්‍ය ඇමැතිවරු 38න් වැඩි කරලා මාස 12න් වැඩි කළහම එක් අවුරුද්දකට 49 කෝටි හැටපන් ලක්ෂයයි. ඒ තෙල් දීමනා විතරක්.”
මීට මාස කිහිපයකට පෙර සිදු වූ මහජන විරෝධයේ එක් ප්‍රධාන සටන් පාඨයක් වූයේ සිස්ටම් චේන්ජ්ය. එම අරගලය අවසන් වනවිට කිසියම් ප්‍රමාණයකට මන්ත්‍රීවරුන්ගේ තක්කඩිකම් පහව යනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළහ. එහෙත් ඔවුන්ගේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව හොර රහසේ කළ වැටුප් වැඩි කිරීමෙන් පෙනී යයි. මන්ත්‍රීවරුන්ට හිමිවන රක්ෂණයද වැඩි කරගැනීමට උත්සාහ ගෙන ඇතැයිද විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේය. “දැනට මන්ත්‍රී කෙනෙකුට අවුරුද්දකට ලක්ෂ දෙකක ඉන්ෂුවරන්ස් එකක් තියෙනවා. ඒ ඉන්ෂුවරන්ස් එකට පඩියෙන් රුපියල් 50ක් හෝ 100ක් කැපෙනවා. ඒකත් මන්ත්‍රීවරු කතානායකට කියලා තිබුණා ලක්ෂ 10ක් කරන්ඩ කියලා. ඒකනං තාම අනුමත වෙලා නෑ.” අවසන් වශයෙන් ඔබ සහ මම කරන්නට ඉතුරුව ඇත්තේ, මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට ගොස් කරන්නට තිබෙන්නේ ඔවුන්ගේ වැටුප් හා දීමනා ප්‍රශ්න විසඳා ගැනීම මිසක මහජනයාගේ විසඳීමට තරම් ප්‍රශ්නයක් නොමැති රටක් බිහිවීම ගැන සතුටු වීම පමණි.
I සකීෆ් සාම්