2022 දෙසැම්බර් 11 වන ඉරිදා

’ගැලරි ටෝක්’ මැද වෛද්‍යවරු බුරුතු පිටින් රට යති!

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 49

කොරේ පිටට මරේ කීවාක් මෙන් “පාන්” කියා ගන්නටවත් බැරිව සිටින ශ්‍රී ලංකාව තුළින් මේ වනවිට මහා බුද්ධි ගලනයක් සිදුවෙමින් පවතී. වෘත්තීමය විශේෂඥ ක්ෂේත්‍ර රැසක සිදුවන මේ බුද්ධි ගලනයේ අලුත්ම ප්‍රවණතාව මතුව ඇත්තේ වෛද්‍ය සේවයේය. කාත්‍රීමව මවාදුන් ආර්ථික-සමාජීය අර්බුදයෙන් හොඳටම බැට කා සිටින රටේ ජනතාවට දැන් සිදුව ඇත්තේ උණට බෙහෙත් පෙත්තක් ලියවා ගන්නටවත් වෛද්‍යවරයකු නොමැතිව ලතැවෙන්නටය. විශේෂඥ පළපුරුදු වෛද්‍ය වෘත්තිකයන් රටයාම වැළැක්වීම සඳහා පලදායී අර්ථාන්විත වැඩිපිළිවෙළකට යාම වෙනුවට ඒ වෛද්‍ය වෘත්තිකයන්ගේ ගෞරවය නැතිවන ආකාරයේ තර්ජණාත්මක වහසි බස් දෙඩීම් සහ බැන අඬගැසීම් ආණ්ඩුව දෙසින් නිකුත්වීම නිසා දැන් මේ අර්බුදය මහා අලකලංචියක් බවට පත්ව හමාරය.

පසුගිය සතිය මැද වනවිට ඉදිරිපත්ව තිබූ කරුණු කාරණා පෙන්වා දුන්නේ වෛද්‍ය වෘත්තිකයන් 2000-2500කට ආසන්න පිරිසක් රටින් පිටව යාමේ මූලික සැලසුම් දැනටමත් ක්‍රියාත්මකව ඇති බවටය. නමුත් ඒ වළක්වාලීම සඳහා ගතයුතු ප්‍රශස්ත පියවරක් වෙනුවට නිකුත්ව තිබුණේ ''අඬන්න සිටි මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් අනිනවාක්'' වැනි “ගැලරි මට්ටමේ” වහසි බස් ප්‍රකාශනයකි. රට ගැන සිතා මේ රට තුළ නවතින්නට සිතා සිටි අතලොස්සද දැන් මේ ප්‍රකාශය හේතුවෙන් සිය බඩුමලු පොදි බඳිමින් සිටිති.

ඉකුත් සතිය වනවිට වෛද්‍ය සංගම් ආරංචි මාර්ග පෙන්වා දුන්නේ රටේ උග්‍ර වෛද්‍ය හිඟයක් ඇතිවන ලකුණු පහළ වී හමාර බවය. මේ වසර මුල් මාස 8ක කාලය තුළ වෛද්‍ය වෘත්තිකයන් 477ක් රටින් පිටව ගොස් තිබුණි. ඉන් අනතුරුව පසුගිය බදාදා වනවිට විශේෂඥ වෛද්‍යවරුන් 175කට ආසන්න පිරිසක් පිටව ගොස් තිබිණි. තවත් 25 දෙනකු පමණ මේ ලිපිය ලියන මොහොත වනවිටද මූලික ලේඛන භාර දී තිබුණි. ඒ අතර තවත් දෙසීයයකට ආසන්න පිරිසක් පෝලිමට අලුතෙන් එක්ව උන්හ.
රට තුළ පවතින අවිනිශ්චිත සහ දැරිය නොහැකි ආර්ථික ආතතියත් සිය වෘත්තිය නිසි පරිදි ඉටුකිරීමට අවශ්‍ය යහපත් විශ්වාසවන්ත පරිසරයක් මෙන්ම භෞතික අවශ්‍යතා නොම සැපිරීමත් යන කරුණු මත වෛද්‍ය වෘත්තිකයන් රැසක්ම රට හැරයාමට මෙසේ පෙළ ගැසී සිටිති.

මේ නිසාම මෙම වසර වෛද්‍ය ක්ෂේත්‍රයේ වාර්තා පිට වාර්තා පිහිටැවූ වසරක් බවට පත්ව තිබේ. මුලින්ම සීමාවාසික පුහුණුව අවසන් කළ කණිෂ්ට වෛද්‍යවරුන් විශාල පිරිසක් ඉදිරි අධ්‍යයන පියවර වන පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ලියාපදිංචි නොවීමෙන් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ අය මෙන්ම ‌ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ද විදෙස් ගතව රුකියා කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරාගැනීම සඳහා විවිධ රටවල් මඟින් පවත්වන වෘත්තිය පිළිගැනීම් සඳහා වන ඔස්ට්‍රේලියාවේ AMC හා සමාන විභාග සඳහා ලියාපදිංචි වී ඇති අතර මෙලෙස වැඩිම වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් පිටරට විභාග සඳහා ලියාපදිංචි වු වසර ලෙස මෙය ඉතිහාස ගතව ඇත.ඒ අන්දමටම වෛද්‍ය සභාව මගින් ලබාදෙන යහපත් වෘත්තීය ස්ථාවරය පිළිබඳ සහතිකය - Certificate of Good Standing, ලබාගැනීම සඳහා මේ වනවිට වෛද්‍ය වෘත්තිකයන් 2000-2500ත් අතර වාර්තාගත පිරිසක් ඇයැදුම් කර ඇති බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. මේ ලියැවිල්ල වෙනත් රටක වෘත්තීය අවස්ථා සඳහා ඉතා වැදගත් වන සුදුසකමකි.

පසුගිය ජූනි මාසයේ සහ සැප්තැම්බරයේ පිළිවෙළින් රාජ්‍ය පරිපාලන සහ සෞඛ්‍ය ආමාත්‍යංශය මගින් වෛද්‍යවරුන් හට සිය වෘත්තීය ජ්‍යෙෂ්ඨත්වය අහිමි නොවන සේ නිවාඩු ලබා නිසි ක්‍රම වේදයකට රටින් පිටව යාමේ පහසුකම් සලසන්නට පියවර ගෙන තිබුණද ඒ ක්‍රමවේදය අච්චුගැසූ මන්දගාමි ලියැවිල්ලකට පමණක් සීමා වී තිබේ. මේ නිසා බොහෝදෙනා නිසි පරිදි සේවයෙන් ඉවත්ව යාම වෙනුවට තමන්ට විදේශයක දොර හැරුණු විගස නැවත මෙරට නොම ඒමේ බලාපොරොත්තුවෙන් පසුනොබලා  පිටව ගොස් තිබේ. මේ නිසා රටේ පර්යන්ත රෝහල් පද්ධතිය දැනටමත් දැඩි අර්බුදයකට ලක්ව හමාරය. ඖෂධ හිඟය මදිවාට, හටගත්  විශේෂඥයන් හිඟය මැද දැන්  කණිෂ්ට වෛද්‍යවරුන්ද රටට අහිමිව යාම ඇරුඹීම හේතුවෙන් ජනතාව ඇදවැටී  ඇත්තේ කබලෙන් ලිපටය. මේ තත්ත්වයට බුද්ධිමත් තර්කානුකූල පිළියම් සොයනු වෙනුවට විශේෂඥයන් සමග වෘත්තීය මාත්සර්යයෙන් පෙළෙනා බවක් ප්‍රකට කරන නිලධාරීන් කිහිප දෙනෙකුගේ බලපෑමෙන් සෞඛ්‍ය ඇමැතිවරයාද වහසි බස් දොඩන්නට යාමෙන් දැන් මේ වෛද්‍ය වෘත්තික බුද්ධි ගලනය සුනාමියක් බවට හරවා හමාරය.

ඇමැතිවරයා පසුගියදා කියැවූ එබඳු ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරු පසුගිය සතියේ සිය අප්‍රසාදය පලකර තිබුණේ මෙලෙසිනි.

''නොවැම්බර් මස 29 දෙවැනි දින  ගරු සෞඛ්‍ය ඇමතිතුමා  විසින්  පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට අප දැඩිව විරෝධය පළ කරන අතර එය පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරමු. මෙම ප්‍රකාශය විශේෂඥ වෛද්‍යවරුන්ට කළ අපහාසයක් වන අතර එමගින් ඉදිරියේදී සිදුවිය හැකි අනිසි බලපෑම් ගැන අප දැඩි අවධානයෙන් බලා සිටිමු.

එතුමාගේ ප්‍රකාශයට අනුව මින්පසුව රජය විසින් නිවාඩු අනුමත කිරීමකින් තොරව විශේෂඥ වෛද්‍යවරුන් රැකියාවන් සඳහා විදේශගත වීමට දරන උත්සාහය වැළැක්වීමට තානාපති කාර්යාල හරහා ඔවුන්ට අවශ්‍ය වීසා නිකුත් කිරීම නවත්වන ලෙස උපදෙස් දෙනු ඇත. රටේ වත්මන් ආර්ථික තත්ත්වය අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සෑම අංශයකම නිලධාරීන් විදේශගතවීම නොවැළැක්විය හැකි වී ඇති අතර රජයේ අවසරයකින් තොරව එසේ විදේශගතවීම ආයතනික සංග්‍රහයට විරුද්ධව ක්‍රියා කිරීමක් බව අප පිළිගන්නා අතර එහිදී ක්‍රියාකළ යුතු වන්නේ එම නිලධාරීන් සේවය අතහැර ගියා සේ සලකා යම්කිසි වන්දි මුදලක් අයකර ගැනීමට ඇත්නම් එය අයකර ගැනීමට කටයුතු කිරීමයි.

නමුත් අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන් පමණක් ඉලක්ක කර මෙම ප්‍රකාශය නිකුත් කර ඇති බව පැහැදිලි වන අතර මෙය පුද්ගලයන්ට සම ලෙස සැලකීමේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ව්‍යවස්ථාවේ අංක 12 වගන්තිය ප්‍රකාර මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්ද වනු ඇත. තවද එම ප්‍රකාශයට අනුව ව්‍යවස්ථාවේ අංක 14(1)(h) සහ 14(1)(i) යන නිදහස් සංචරණ සඳහා ඇති අයිතිය කඩ කිරීමක්ද වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය අගයන ඕනෑම සමාජයක මෙම නව යෝජනා පිළිගත නොහැකි කාරණයක් වනු ඇත.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේ කරන අතර මෙහිදී මෙම නිලධාරින් අපහාසයට හා අනවශ්‍ය බලපෑම්වලට ලක් නොකර ඔවුන්ට විදේශගතවීමට අවශය නිවාඩු අනුමත කිරීම හා සේවයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් ඊට අවශ්‍ය කටයුතු නිසි ලෙස සම්පාදනය කරදෙන ලෙස අපි ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිමු. මෙහිදී තවදුරටත් විදේශ ගතවීමට අදහස් කරන වෛද්‍යවරු එලෙස විදේශගත වීම අධෛර්යමත් කිරීම සඳහා ගුවන් තොටුපලේදී එම නිලධාරීන්ට රටින් පිටවීමට ඉඩ නොදෙන ලෙස දන්වා සිටින බවද ප්‍රකාශ කර ඇත. මෙලෙස මෙම වෛද්‍ය විශේෂඥවරුන්, ගුවන් තොටුපොළේදී මෙන්ම විදේශ තානාපති කාර්යාලවලදී අපරාධකරවන් හෝ ත්‍රස්තවාදීන් ලෙස අපහාසයට පත් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අපි පුදුම සහගත වෙමු. අප සංගමය මෙම තත්ත්වය දැඩි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන අතර මෙම තත්ත්වය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක.

එලෙසම ඇමැතිතුමාගේ ප්‍රකාශයට අනුව මෙම විශේෂඥ වෛද්‍යවරුන්ට, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) සාමාජිකත්වය අහිමි කිරීමට ද කටයුතු කරනු ඇත. මෙහිදී වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය හා රෝගීන්ගේ සුබසාධනය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලබා දී ඇති බලතල ඇමැතිතුමා විසින් බලෙන් පවරා ගැනිමට උත්සාහ කිරීම ඉතා අනීතික ක්‍රියාවකි.  නොවැම්බර් මස 29 වැනිදා සිදුකළ මෙම ප්‍රකාශයට අනුව මෙසේ විදෙස් ගතවීමට තැත් කරන වෛද්‍යවරුන් වෙනම ''කළු'' ලේඛනයකට ඇතුළත් කිරීමටද ඇමැතිතුමා අදහස් කරන බව පෙනේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම අත්තනෝමතික ප්‍රකාශය අන්තර්ජාතිකව ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරුන්ගේ කීර්තියට සිදුකරන ලද බරපතළ හානියක් ලෙස දකිමු. එතුමාගේ මෙම ප්‍රකාශය විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තියමය තත්ත්වයට දැඩි හානියක් මෙන්ම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම් සිදුකරන ප්‍රකාශයක් ලෙස අපි දකිමු. ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරුන් අන්තර්ජාතික ලෙස ඉතා ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තිකයන් කණ්ඩායමක් වන අතර ඒ සඳහා දිගු කාලයක් තිස්සේ ඊට අවශ්‍ය කරන පසුබිම එම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පුද්ගලයන් විසින් දැඩි කැපකිරීම් මත ලබාගත් අතර කිසියම් පුද්ගලයකුට හෝ පුද්ගලයන් කණ්ඩායමකගේ අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා මෙම තත්ත්වය නැතිකර දැමීමට අපට ඉඩදිය නොහැකි බව අපි අවධාරණය කරමු.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ කාර්යභාරය අවතක්සේරු කරන, අප හොඳින් දන්නා, විශේෂඥ සුදුසුකම් නොලත් වෛද්‍ය පරිපාලන නිලධාරීන් සමූහයකගේ උපදෙස් මත අමාත්‍යවරයා මෙම අදහස් පැවසීම ඉතා කනගාටුදායක කරුණකි. විශේෂඥ වෛද්‍යවරුන් අපහාසයට ලක් කිරීම, සුළුකොට තැකීම මෙන්ම ඔවුන්ට අනවශ්‍ය අඩන්තේට්ටම් කිරීමට විරුද්ධව අප සංගමය එක් වී කටයුතු කරන බව මෙයින් අවධාරණය කරමු. මෙහිදී ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට මෙම තීරණය සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමුකොට වෛද්‍ය ක්ෂේත්‍රයේ සුබවාදී භාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන මෙන් අප ඉල්ලා සිටිමු.''

විශේෂඥ වෛද්‍යවරුන්ගේ මේ ප්‍රකාශය මගින් පැහැදිලිව එළිදරව් වන්නේ සෞඛ්‍ය  ක්ෂේත්‍රය තුළ වසර ගණනාවක් තුළ ක්‍රියාත්මක වන සිද්ධි අධ්‍යයන නොකර ගැටලු සඳහා පැලැස්තර යොදමින් පුද්ගල තරාතිරම ගෞරවය නොතකා පාරම්බාමින්  මාධ්‍ය වීරයන් ලෙස පිම්බිමට දේශපාලකයන්ට හුළං ගසනා අලස නිලධාරිවාදයේ අනිටු බලපෑමය. ඒ නිසාම ජනතාව කබලෙන් ලිපට ඇද දමා දේශපාලකයන්ටද යන එනමං නැතිකර දමන අන්තනෝමතික මෙහෙයුම්ය. දැන්, මේ සඳහා තිත තැබීමට සුදුසුම කාලයයි.

I සුගත් පී. කුලතුංගආරච්චි

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04