ලංකාවේ තරුණ පිරිසක් එක්ව නිෂ්පාදනය කරන ලද බස් රථයක් පසුගියදා එළිදැක්වීය. යක්කල සනිරෝ (Saniro) ආයතනය මඟින් නිෂ්පාදනය කරන ලද මෙම බස් රථය එන්ජිම හැරුණු කොට සියල්ල ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද්දක් බව සනිරෝ ආයතනයේ අධිපති නිලන්ත දිල්රුක් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
''මෙය අපේ රටේ අපේ ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද බස් රථයක්. මීට අවුරුද්දකට විතර පෙරදී සමන්ත භද්‍ර හිමියන් විසින් මේ බස්රථයට සමාන කොළ පාට බස් රථයක පින්තූරයක් මට පෙන්නලා, ''මෙන්න මේ බස් රථය ලංකාවට ගැලපෙනවා. මේ වගේ බස් රථයක් හදන්න පුළුවන්ද?'' කියලා මගෙන් ඇහුවා. පින්තූරය දැකල ''පුළුවන් හාමුදුරුවනේ'' කියල මම ඒ බස්රථය හදන්න පටන් ගත්තා.''
යැයි සනිරෝ ආයතනයේ අධිපති නිලන්ත දිල්රුක් වැඩිදුරටත් දේශයට පැවසීය. නිලන්ත දිල්රුක්ගේ පුතණුවන් ඉගෙනුම ලැබුවේ ගම්පහ බණ්ඩාරනායක මහා විදුහලෙනි. එම පාසැලේ ඉගෙනුම ලැබූ කනිෂ්ක මාධව නම් සිසුවා නව නිපැයුම් කිහිපයක්ම කළ ආදි ශිෂ්‍යයෙකි. කනිෂ්ක පිළිබඳව, ඔහුගේ දක්ෂතා පිළිබඳව යම් දැනුමක් නිලන්තට තිබුණි. ඒ නිසාම තම පුතණුවන්ගේ මාර්ගයෙන් කනිෂ්කව සම්බන්ධ කරගත් නිලන්ත මේ බස්රථය නිෂ්පාදනය කිරීමේ වගකීම කනිෂ්කට පැවරුවේය.
ඒ වනවිටත් බස් රථයක් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන තාක්ෂණික උපාංග, යන්ත්‍ර සූත්‍ර සියල්ලම සනිරෝ ආයතනය සතුව පැවතුණි. වසර ගණනාවක් තිස්සේ සනිරෝ ආයතනය විසින් යකඩ නිෂ්පාදිත සියලු උපාංග නිෂ්පාදනය කිරීමේ ආයතනයක් ලෙසින් දක්ෂ සේවක පිරිසකගෙන් සමන්විත ආයතනයකි. ඒ අනුව කනිෂ්ක ඇතුළු ගම්පහ බණ්ඩාරනායක විදුහලේ තාක්ෂණික අංශයේ සිසුන් හත් දෙනකු සමඟ සනිරෝ ආයතනයේ කාර්මික ශිල්පීන් එක්ව තම බස්රථය සතු වීමේ කටයුත්තට එක්වූහ.
''සමන්ත භද්‍ර හිමියන් ඒ බස්රථයක පින්තූරය පෙන්නුවාට පස්සේ මම ඒ බස්රථය හදන්න අධිෂ්ඨානය කරගත්තා. ඒ වෙද්දී අප ආයතනය සතුව ඒවාට අදාළව බොහෝ මැෂින් තිබුණා. ඒ නිසා කනිෂ්ක දරුවා ඇතුළු බණ්ඩාරනායක විදුහලේ දරුවන් හත් දෙනකුගේ කණ්ඩායමක් අප ආයතනයේ කාර්මික ශිල්පීන් එක්ව මේ කටයුත්ත ආරම්භ කළා. බස් රථය සෑදීමේ තාක්ෂණික දැනුම කනිෂ්ක පුතාට තිබුණා. ඒ වෙද්දී නව නිපැයුම් විදිහට කුඩා වාහන කිහිපයක් කනිෂ්ක පුතා හදලයි තිබුණේ. ඒ නිසා ඒ දරුවා ගැන විශ්වාසයක් මට තිබුණා. ඒ අනුව අපේ කාර්මික ශිල්පීන් සියයක් පමණ එක්ව මෙම බස්රථය අප ආයතනය තුළදී නිර්මාණය කිරීමේ වැඩ පටන් ගත්තා. වාහනයක් නිෂ්පාදනය කිරීමේදී චැසිය නිර්මාණය කිරීම එතරම් ලෙහෙසි වන්නේ නැහැ. මෙහිදී චැසිය නිර්මාණය කිරීම සම්පූර්ණයෙන්ම අප ආයතනය තුළදීමයි සිදුවුණේ. ඒ වගේම වාහනයේ මුහුණ මුලින්ම සම්පූර්ණයෙන්ම මැටිවලින් ආකෘතියක් හදල ඒකෙන් තමයි නිර්මාණය කළේ. අනාගතයේදී ඒ කටයුතුවලට යන්ත්‍ර සූත්‍ර ගෙනාවත් මුල් බස්රථය සඳහා අවශ්‍ය ආකෘතිය අපි මැටිවලින් තමයි ගන්නේ.''
යැයි නිලන්ත දිල්රුක් මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
ඒ අනුව ''සනිරෝ බස්රථය'' සම්පූර්ණයෙන්ම සැකිල්ල නිෂ්පාදනය කරන ලද්දේ සනිරෝ ආයතනය මගිනි. නමුත් මේ සඳහා යොදාගනු ලබන එන්ජිම සහ විදුලි බල්බ දෙකක් සහ ඉදිරිපස වීදුරු කොටස් පමණක් වෙනම මිලදී ගෙන ඇති අතර ඉදිරියේදී ඒ සියල්ල සනිරෝ ආයතනය මඟින් නිෂ්පාදනය කිරීම ආයතනයේ බලාපොරොත්තුවයි. ''Saniro'' බස් රථයේ රියදුරාට අමතරව මගීන් දාහත් දෙනකුට අසුන්ගෙන යා හැකි අතර සිටගෙන යාම ඔවුන් අනුමත කරන්නේ නැත. දිග අඩි විසි දෙකක් සහ පළල අඩි පහමාරක ප්‍රමාණයකින් යුක්ත වූ ''Saniro'' බස්රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර් හැටකි.
මෙය අපි දුර ධාවනයට වඩා කෙටිදුර ධාවනයට තමයි අනුමත කරන්නේ. මෙයින් වාහන අනතුරු 99%ක් අඩුකර ගන්න පුළුවන්. ඉන්ධන වැයවීම ඉතා අඩුයි. නගරයේ සිට ගමට මඟීන් ගෙන යා හැකි බස් රථයක් ලෙසින් අපි මෙය හඳුන්වා දෙනවා. බස් රථය තුළදී ගැස්සීම් අවමයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් රටේ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී අදාල නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දේවි යැයි අපි විශ්වාස කරනවා. මේක අපේ රටේ අපේම බස් රථයක්. මෙය රටේ ධානය වීමට අනුමැතිය ලැබුණොත් රටේ බොහෝ තරුණ තරුණියන්ට විශාල රුකියා සංඛ්‍යාවක් විවෘත වේවි. බොහෝ කර්මාන්ත ශාලා දියුණු වේවි. ඒක මට සහතිකයි. ඒ නිසා මෙම බස් රථය සඳහා අවශ්‍ය අනුමැතිය ඉතා ඉක්මණින් ලැබේවි යැයි අපි විශ්වාස කරනවා.''
යැයි Saniro ආයතනයේ අධිපති නිලන්ත දිල්රුක් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
I දිශානි ජයමාලි කරුණාරත්න