2022 දෙසැම්බර් 11 වන ඉරිදා

පාරිභෝගික කටයුතු අධිකාරියේ හොඳ හොඳ සෙල්ලම් - සංගම් හෙළි කරයි

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 158

මේ දිනවල ජනතාව තමන්ට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම සහ ඒවායේ හිඟතාවය නිසා විශාල හිරිහැරයකට පාත්‍ර වී සිටිති. රජය කොතරම් උත්සාහ කළද මෙම තත්ත්වය සමනය කිරීමට අපහසු වී ඇති අතර බොහෝ විට භාණ්ඩ මිල තීරණය කිරීමේ බලය සුවිශේෂ වෙළෙඳුන් කිහිප දෙනකු අතට පත්ව ඇති බව පෙනී යයි. ළඟ එන උත්සව සමය වන විට මෙම ගැටලුව තවදුරටත් අයහපත් වනු ඇතැයි පැවසෙන අතර ඒ තත්ත්වයට පිළියමක් වගකිවයුත්තන් යොදන බවක් ද පෙනෙන්නට නැත.

පාරිභෝගිකයා වෙළෙඳ මාෆියාවෙන් ගලවාගෙන ඔවුන්ට සහනයක් ලබාදීම සඳහා 2003 වසරේ අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත ක්‍රියාත්මක වෙයි. එය යටතේ පිහිටුවා ඇති එකම ආයතනය වන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තේමා පාඨය වන්නේ ''සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක් තුළ සුරක්ෂිත වූ පාරිභෝගිකයෙක්'' යන්නය. ඇමැතිවරුන් සහ ආණ්ඩු මාරුවන විට එහි සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවල ඔළු ගෙඩි මාරුවන නමුත් ජනතාවට සිදුවන සේවයක් නොමැත. ඇතැමුන් පවසන්නේ මෙම අධිකාරිය පාරිභෝගිකයාගේ පැත්තේ නොව වෙළෙඳුන්ගේ පැත්තේ සිටගෙන ඇති බවයි.

මෙවැනි පසුබිමක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට එරෙහිව ලැබෙන මහජන පැමිණිලි වැඩිවෙමින් පවතී. එහි උච්ඡතම අවස්ථාව වනුයේ පාරිභෝගික සේවා අධිකාරියට එරෙහිව යතුරු ලියන පිටු 15කින් යුතු ලිපියක් පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටින බව කියන සංගම් සහ සංවිධාන හතරක් විසින් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු වෙත ඉදිරිපත් කරනු ලැබ තිබීමයි. එම සංවිධාන වන්නේ ආපනශාලා හිමියන්ගේ සංගමය, මගෙන් රටට සංවිධානය, සංචාරක හෝටල් හිමිකරුවන්ගේ සංගමය හා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයයි.

එම ලිපිය මගින් අධිකාරියේ උසස් නිලධාරීන් සහ ඇතැම් වැටලීම් නිලධාරීන් විසින් සිදු කරගෙන එමින් පවතින වංචා, දූෂණ සහ අක්‍රමිකතා රැසක් පිළිබඳව පැමිණිලි කර තිබේ. මෙම නිලධාරීන් තම පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින අතර ඔවුන් සිදු කර ඇති මුදල් හා සම්පත් අවභාවිතාවන් රුසක් පිළිබඳවද වාර්තා කර තිබේ. එසේම පාරිභෝගික අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ඇතිව අක්‍රමිකතා සිදු කරන කොළඹ ප්‍රදේශයේ වෙළෙඳසල් 196ක ලේඛනයක්ද ලිපිනයන් සමඟ දන්වා ඇත. මෙම තත්ත්වය උදා කිරීමට කටයුතු කර ඇති නිලධාරීන් සහ කරන ලද අවිධිමත් ක්‍රියා පිළිබඳ වහාම නිසි විමර්ශන සිදු කර ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණ සිදු කරන ලෙසද ඉල්ලා ඇත.

පාරිභෝගික සේවා අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ වැඩ බලන මානව සම්පත් කළමනාකාර අධ්‍යක්ෂවරිය විසින් සිදු කරන ලදැයි කියන අවිධිමත් ක්‍රියාවක් ගැන මුලින්ම වාර්තා කර තිබේ. එම චෝදනාවේ සඳහන් වන්නේ 2022 නොවැම්බර් 05 සහ 06 දෙදින අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිසි අනුමැතියකින් තොරව සේවකයන් සඳහා මුල්‍ය නීතිවලට පටහැණිව වැඩමුළු පවත්වා විශාල මුදලක් අවභාවිත කර ඇති බවය. මේ වැඩමුළු සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නැති බවද සඳහන්ය. මේ වැඩමුළු නිසා සේවකයන් අපහසුතාවට පත්වන අතර නිසි ප්‍රතිඵලයක් ලබාගත නොහැකි නිසා වැඩමුළු අවලංගු කරන ලෙස සේවකයන් සාමූහික ලියැවිල්ලකින් අධිකාරියේ සභාපතිවරයාගෙන් ඉල්ලා තිබේ. එහෙත් ප්‍රතිඵලයක් ලැබී නැත. දින තුනක් දක්වා ව්‍යාප්ත වූ මෙම වැඩමුළුවලට සහභාගිවූවන් සඳහා ලබා දුන් ආහාරවල පණුවන් සිටි අතර ඉලාස්ටික් පටි සහ ඉටිකොළ තිබුණු බවට සේවකයන් පැමිණිලි කර තිබේ. රටේ ජනතාව ඉතාම දුෂ්කර ජීවිත ගත කරන මෙවැනි වකවානුවක රජයේ මුදල් නිසි ඵලදායිකත්වයකින් තොරව වැය කිරීම මුදල් අවභාවිතයක් බව පෙන්වා දී ඇති අතර මෙයින් අධිකාරියේ කීර්තිනාමයටද හානි වී ඇති බව අවධාරණය කරයි.

2022-08-02 දින ගොඩකවෙල, මල්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන එන නෙල්කෝ ෆුඩ් ප්‍රොඩක්ට් පුද්ගලික සමාගමට වැටලීම් සඳහා රත්නපුර ප්‍රාදේශීය කාර්යාලයේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් යවා තිබේ. එහිදී විමර්ශන නිලධාරීන් විසින් කල් ඉකුත්ව ගොස් තිබූ කැකුළු සහල් කිලෝග්‍රෑම් 25 මිටි 70ක් සොයාගෙන පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මොවුන්ට එරෙහිව නඩු පවරා ඇති නමුත් වෙළෙඳපොළ වටිනාකම රුපියල් 500,000/- වූ මෙම සහල් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් නොකර ඒවා නිලධාරීන් දෙදෙනකු විසින් ඔවුන් සන්තකයේ තබාගෙන දින 17ක් ගතවූ පසු විනාශ කිරීම සඳහා යැයි පවසමින් ගෙන ගොස් ඒවා යළි එම වෙළෙඳසල් දෙකට ලබා දුන්නා දැයි සැකයක් මතුව ඇති අතර විධිමත්ව නඩු පවරා නැති බවටද පැමිණිලි කර තිබේ. මෙම සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙස පැමිණිලිකරුවෝ ඉල්ලා සිටිති.

2022-06-29 දින පුත්තලම දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් විසින් කරන ලද විමර්ශනයකදී නාත්තණ්ඩිය, වලානපිටිය ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක සහල් ගබඩාවක් වටලා සත්ව ආහාර සඳහා යැයි ගබඩා කර තිබූ කුකුළු සහල් කිලෝ 250,000 ක් සොයාගෙන ඇති අතර මිනිස් පාරිභෝජනයට ගන්නා සහල් සත්ව ආහාර සඳහා භාවිත කිරීම වරදක් වන නමුදු ඔවුන්ට එරෙහිව නඩු පවරා නැත. පසුව එම ගබඩාවේ මුද්‍රා කඩා එම සහල් ආපසු තොග වෙළෙන්ඳාටම ලබා දීමට නිලධාරීන් දෙදෙනක් කටයුතු කර ඇති අතර නඩු නොදමා සිටීම සඳහා ඔවුන් රුපියල් 80,000,000 තරම් විශාල අල්ලස් මුදලක් ගෙන ඇති බවද පැමිණිල්ලේ සඳහන් වේ. මොවුන්ට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් විමර්ශනයක්ද ආරම්භ කර ඇති අතර අධිකාරිය මගින් මේ නිලධාරීන් දෙදෙනාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරන ලෙසද ඉල්ලා තිබේ. මොවුන් මෙවැනි දූෂිත ක්‍රියා මගින් විශාල ලෙස අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති බවද හෙළි කර ඇත.

අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානියා තවත් නිලධාරීන් දෙදෙනකු සමඟ එකතු වී ඇතැම් වෙළෙඳ හිමියන්ට සහල් සහ බිත්තරවලට පාලන මිලක් නියම කරමින් 20(5) වගන්තිය යටතේ නිකුත් කළ ගැසට් නිවේදනය අනුව නඩු නොපවරා ඒ වෙනුවට 25(5) යන සංශෝධිත වගන්තිය යටතේ නඩු පැවරීමට කටයුතු කරයි. 20(5) යටතේ සහල් සහ බිත්තර පාලන මිල අභිබවා අලෙවි කිරීම්වලදී රුපියල් ලක්ෂය සහ ලක්ෂ 5 බැගින් දඩ ගැසිය හැකි නමුත් 20(5) වගන්තිය අනුව නඩු පැවරීමේදී ලබාගත හැකි උපරිම දඩය රුපියල් 2000 හා 3000ක් වෙයි. මෙහිදී අධිකාරියට හිමි විශාල දඩ මුදලක් නොලැබී යන අතර මේ දෙදෙනා මෙමගින් විශාල අනීතික ආදායමක් ලබන බව පැමිණිල්ලේ දැක්වේ. මේ අන්දමට රත්නපුර දිස්ත්‍රික්කයේ වෙළෙඳසල් ගණනාවකට නිසි පරිදි නඩු නොපවරා අමතර ආදායම් ලබන බව එම ස්ථානවල නම් සහ ලිපිනයන් සමඟ පැමිණිල්ලෙන් ලියා යවා ඇත.

ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට අනුයුක්ත කර ඇති අංක WPNB1682 දරන වෑන් රථයට ඉන්ධන පිරවීමේදී දිස්ත්‍රික් ලේකම් නිකුත් කරන වවුචර්පත් මගින් මාසිකව රුපියල් 20,000 වැඩි මුදලක් ගසාකෑමට ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානියා රියැදුරකු සමඟ එකතු වී කටයුතු කරන බවට වූ පැමිණිල්ලක් ද වෙයි. මේ අය පසුගිය මාස 15 තුළ මෙලෙස රුපියල් ලක්ෂ 3කට අධික මුදලක් වංචා කර ඇති බවටද පැමිණිල්ලේ දැක්වෙයි. මේ හැර ප්‍රාදේශීය කාර්යාලවල අවිධිමත් ක්‍රියා ගැන ඉදිරිපත් කර ඇති කරුණුද රුසකි.

අධ්‍යක්ෂ ජනරාල්වරියට නගා ඇති තවත් චෝදනාවක් වන්නේ ඇය අමාත්‍යාංශයෙන් සහ පාරිභෝගික අධිකාරියෙන් නිල රථ, ඉන්ධන දීමනා, දුරකථන දීමනා හා වැටුප් ආදිය ලබාගන්නා බවය. එසේම නිල රථවලින් පෞද්ගලික ගමන් යන අතර පසුගියදා අනුරාධපුරයේ පෞද්ගලික සංචාරයක යෙදුණු බවටද චෝදනා එල්ල කරයි.

මෙම පැමිණිල්ලේ දක්වා ඇති කරුණු පිළිබඳ අදහස් දක්වන වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් කාන්ති ගුණවර්ධන පවසන්නේ තමා දීර්ඝ කාලීනව අධිකාරියේ සේවය කරන අයකු නොව මාස 2 පමණ කාලයක සිට පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස රාජකාරි කරන බවය. වෙළෙඳ හා ආහාර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස කටයුතු කරන තමා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරිනියක බවද ඇය කියයි. තමන් වැඩි කාලයක් අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ ක්‍රියා කිරීමට බලාපොරොත්තු නොවන අතර ටික දිනකින් තමා මෙම තනතුරට සමුදෙන බව ඇය කියයි.

''මෙම ආයතනය ඉතාම අවිධිමත් අවුල් ජාලයක්. එක එක්කෙනාගේ පෞද්ගලික න්‍යාය පත්‍ර තමා ක්‍රියාත්මක කරන්නේ. සභාපතිවරයාට හෝ අධ්‍යක්ෂවරුන්ට මෙම විෂය පිළිබඳ අවබෝධයක් නැහැ. ලිපිගොනු නඩත්තු කිරීම විධිමත් නැහැ.

අධ්‍යක්ෂවරුන් තිදෙනාට මසකට රුපියල් 80,000 බැගින් දීමනාවක් සහ වාහනය බැගින්ද තෙල් ලීටර් 135 බැගින්ද දෙනවා. එහෙත් සිදුවන සේවයක් නැහැ. 2003 වසරේ සිට මෙම ආයතනයට අධ්‍යක්ෂ ජනරාල්වරු 20ක් පමණ පත්වෙලා තිබුණත් ඒ බොහෝ අය මාස 6කට වඩා වැඩ කරලා නැහැ. මෙහි ඇති අක්‍රමිකතා නැති කර විධිමත් කිරීම අපහසු වීම එයට හේතුවයි. විධායක අධ්‍යක්ෂ යැයි තනතුරක් නැති නමුත් එවැනි කෙනෙක් මෙහි සිටිනවා. ඒ අය නිලධාරීන් පුහුණු කිරීම වැනි දේවල්වලට විරුද්ධයි. ඒ නිසා තමා ගැටලු ඇති කරවන්නේ.

මා වැඩිපුර පාවිච්චි කරන්නේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස මට හිමි නිල රථයයි. අධිකාරියේ වාහනය පාවිච්චි කරන්නේ ඉතාම අඩුවෙන්. නිල රථය පෞද්ගලික ගමන්වල යෙදුණාය යන චෝදනාවද මා ප්‍රතික්ෂේප කරනවා. මා නිල වාහන පාවිච්චි කර ඇත්තේ රජය පනවා ඇති නීති කොන්දේසිවලට යටත් වන අතර අවභාවිත කර නැහැ. ඉන්ධන ලබාගන්නේද අමාත්‍යාංශයෙන්. ඒ නිසා මෙම ආයතනයෙන් ඉන්ධන ලබාගැනීමක් සිදු කරන්නේ නැහැ. රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් සිදුකර නැති අතර ආයතනයේ වංචා දූෂණ සිදු කරන නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන නිසා එවැනි ඇතැම් අය මට එරෙහිව විවිධ බොරු චෝදනා කරන බව කිව යුතුයි.''

මානව සම්පත් හා පරිපාලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිර්මලා රෑපසිංහ පැවසුවේ දින දෙකේ වැඩමුළුව සඳහා මුල් දිනයේ ලබා දුන් දහවල් ආහාරය පිළිබඳ නගන ඇතැම් චෝදනා පිළිබඳ සත්‍යතාවක් ඇති බවයි. එම ආහාරවලට මුදල් රුපියල් ලක්ෂ තුනක් ගෙවූ අතර ආහාරවල ඇතිවූ ගැටලුකාරී තත්ත්වය මත ඔවුන්ගෙන් එම චෙක්පත ආපසු ලබාගත් බවද ඇය හෙළි කළාය. උදේ සැපයූ ආහාරවල ගැටලුවක් නොමැති අතර මෙම චෙක්පතට එම ආහාර වැයද අඩංගු නමුත් එම මුදල පවා ගෙවා නොමැති බව ඇය කීවාය. ඒ නිසා මෙහිදී මුල්‍ය අක්‍රමිකතාවක් සිදු වී නැතැයි ඇය පැවසීය.


I යසවර්ධන රුද්රිගූ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04