2022 දෙසැම්බර් 11 වන ඉරිදා

සූපවේදී ලෝක කුසලානෙන් කප්ගැසූ අපේ හපන්නු

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 56

සෑම ක්‍රීඩාවකම ඔලිම්පික් ලෝක කුසලාන තරගාවලි තරග පැවැත්වීම සාමාන්‍ය තත්ත්වයකි. ක්‍රීඩාවක් නොවුණද තරගකාරී කලාවක් වන සූප ශාස්ත්‍රය වෙනුවෙන්ද ඔලිම්පික් සහ ලෝක කුසලාන තරගාවලියක් සංවිධානය වෙයි. මෙම තරගාවලි ද්විත්වය ලොවපුරා සූපවේදීන්ගේ හැකියාවන් විදහාපාන ප්‍රමුඛතම තරගාවලි ද්විත්වයයි.

පසුගියදා සිව්වැනි ලෝක කුසලාන සූපවේදී තරගාවලිය (Calinary World Cup-2022) පැවතියේ යුරෝපයේ ලක්සම්බර්ග්හීදීය. නොවැම්බරයේ පැවති මෙම තරගාවලියට රටවල් 55ක් නියෝජනය කළ සූපවේදීහු විශාල ප්‍රමාණයක් සහභාගී වූහ.

මෙවර තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සූපවේදීන් 11 දෙනෙක් එක්වූහ. පසුගිය කාලය පුරාවට වසර හතරකට වරක් එළඹෙන මෙම තරගාවලිය සඳහා සූපවේදීන් ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමයි. එහෙත් මෙවර ඩොලර් අර්බුදය ඇතුළු ගැටලු ගණනාවක් හේතුවෙන් තරගාවලිය සඳහා මෙරට තරගකරුවන් ඉදිරිපත් කිරීමට ඔවුනට නොහැකි විය.

එම අවස්ථාවේදී මෙරට වෙනුවෙන් මෙවන් තරගාවලි රැසකට සහභාගී වී අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ සූපවේදියකු වන දිමුතු කුමාරසිංහ සිය හෝටල් සමූහයේ ශ්‍රී ලාංකික සූපවේදී කිහිප දෙනකු එකතු කරගනිමින් තරගාවලියට සහභාගි වීමට කටයුතු කළේය.

ඒ අනුව දිමුතු කුමාරසිංහ මහතාගේ නායකත්වයෙන්  තරගාවලිය නියෝජනය කිරීම සඳහා එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහය නියෝජනය කරන සූපවේදීහු 07 දෙනෙක්, ෂැංග්‍රිල්ලා හෝටලය නියෝජනය කරන සූපවේදීහු තිදෙනෙක් සහ බාරෝස් හෝටලය නියෝජනය කරන එක් සූපවේදියෙක් සහභාගී වූහ.

අවසානයේදී ශ්‍රී ලාංකික සූපවේදීන් කණ්ඩායමට Calinary World Cup–2022 සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක පහස ලැබීමට හැකියාව ලැබුණි. ඒ මෙම තරගාවලියේදී රන් පදක්කම් 06ක්, රීදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 09ක් දිනාදීමට මෙම සූපවේදීන් කණ්ඩායමට හැකිවූ බැවිනි.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් විශාල අභියෝගයන්ට මුහුණ දී ඇති වකවානුවක  සංචාරක කර්මාන්තය නංවාලීම දරන උත්සාහයේදී මෙවන් ජයග්‍රහණය අප ඉතා අගයකොට සැලකිය යුතුය. මෙවන් ජයග්‍රහණ හේතුවෙන් ලෝක සංචාරක ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව කෙරෙහි වඩාත් වැඩි අවධානයක් යොමුවන බව ඉතා පැහැදිලිවේ.

තරගාවලිය තුළ උණුසුම් ආහාර සැකසීම (Hot Cooking) සහ ප්‍රේස්ට්‍රි (Pastry) යන අංශවල ආහාර පිළියෙළ කිරීමේ ඉසව්වලදී වැඩි දක්ෂතා දැක්වීමට තම කණ්ඩායමට හැකිව තිබේ.

සූපවේදී දිමුතු කුමාරසිංහ
(ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක)

මම පළවෙනි වතාවට ඔලිම්පික් තරගාවලියට ගියේ 2004දී. 2012 ජයග්‍රහණයෙන් පස්සෙ හැම තරගාවලියටම වගේ ශ්‍රී ලංකා සූපවේදී සංගම එක්ක එකතුවෙලා ඔලිම්පික් තරගාවලියට සහ ලෝක කුසලානයට අපි කණ්ඩායම් සහභාගි කළා. මේ පාර අපිට ඒක කරන්න බැරිවුණා ආර්ථික ප්‍රශ්න නිසා.

දේශීය වශයෙන් පැවැත්වෙන තරගාවලිය ජයග්‍රහණය කරපු ළමයි තමයි අපි අරගෙන ගියේ. නමුත් පහු පහුගිය කාලේ කොවිඩ් එක්ක ඒ දේවල් අපහසු වුණා. ඒ තරගාවලිය පවත්වලා ළමයි අරගෙන යන්න පුළුවන් වුණා නම් අපිට තවත් ජයග්‍රහණ ලබාගන්න තිබුණා.

මෙතන රටවල් ගණනාවක කට්ටිය හිටියා. අපිට ඔවුන් එක්ක ගැටෙන්න ගනුදෙනු කරන්න ලැබුණා. ජයග්‍රහණ සඳහා පදක්කම් ප්‍රදානය කරද්දීත් අපට අවධානය යොමු වුණා. ලංකාවේ සංචාරක කර්මාන්තය නැවතත් ගැටලුවකින් තොරව පවතින බව පෙන්නන්නත් මේක හොඳ හේතුවක් වුණා කියලා කියල මම හිතනවා.

 

I චමිඳු නිසල් ද සිල්වා

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04