වකුගඩුවක් සඳහා රුපියල් කෝටි එකහමාරක් ලබාදෙන බව පවසා දිළිඳු පුද්ගලයන්ගෙන් වකුගඩු ලබාගෙන පොරොන්දු වූ මුදල නොගෙවා එම වකුගඩු දේශීය හා විදේශීය වශයෙන් විශාල මුදලකට අලෙවි කළ බව කියන සිදුවීම බරපතළ අවයව ජාවාරමකි. කොළඹ නගරයේ දැඩි ආර්ථික පීඩාවන්ට ලක්ව ජීවත්වන දිළිඳු ජනතාව මුලාකොට මෙම ජාවාරම සිදුකර තිබේ. ජාවාරම සිදුකළා යැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත කරුණු වාර්තා කොට තිබෙන අතර ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය වෙත දන්වා ඇත. මෙම ජාවාරම් චෝදනාව අධිකරණ ඉතිහාසයේ සුවිශේෂී නඩුවක් බැවින් නීතිපතිවරයා මෙම නඩුවට පෙනී සිටින බව වාර්තා වේ.
කොළඹ නගරයේ අඩු ආදායම් ලාභී පුද්ගලයන් මුලාකර මුදල් ලබාදෙන බව පවසා දෙස් හා විදෙස් වශයෙන් බාහිර පාර්ශ්ව වෙත වකුගඩු විකිණූ මහා පරිමාණ ජාවාරම සිදුකර ඇත්තේ බොරැල්ල වෙස්ටර්න් රෝහල මගිනි. සංවිධානාත්මකව පවත්වාගෙන ගොස් තිබෙන වකුගඩු ජාවාරම සදහා වෛද්‍ය වෘත්තියට සම්බන්ධ නම් දැරූ පිරිසක් සමග බාහිර තැරුව්කරුවන් කිහිප දෙනකු සිටින බවද කියැවේ. මේ අතර වකුගඩු ජාවාරමේ ප්‍රධාන සැකකරු බවට කියැවෙන්නේ මොහොමඩ් බසීර් මොහොමඩ් රාජාබ්ඩීන් හෙවත් බායි නැමැත්තෙකි. එම සැකකරු දැනටමත් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට සිටී.
දිළිඳු පවුල් ඉලක්ක කොටගෙන මහා පරිමාණයෙන් සිදුකර තිබෙන ජාවාරමට මුදල් අවශ්‍යතාව හේතුවෙන් අසරණ පිරිස් ඊට සම්බන්ධ වී තිබෙන බව හෙළි වී ඇත. ඒ අනුව එවැනි පුද්ගලයන් පස් දෙනකු විසින් බොරැල්ල පොලීසියට යොමුකළ පැමිණිලි අනුව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අදාළ විමර්ශනය අරඹා තිබුණි. එහිදී අනාවරණය වී ඇත්තේ කොළඹ නගරයේ දරිද්‍රතාවයෙන් පෙලෙන බ්ලූමෙන්ඩල්, මට්ටක්කුලිය සඳහිරු සෙවණ මහල් නිවාසය ආශ්‍රිතව ජීවත්වන දිළිඳු පිරිස් මේ සඳහා දායක කොටගෙන ඇති බවකි. එම ප්‍රදේශවල පදිංචිකරුවන් පස් දෙනකු විසින් අදාළ පැමිණිලි යොමුකර තිබිණ. ඔවුන්ගෙන් ලැබුණු තොරතුරු අනුව බොරුල්ල කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහලකදී ජාවාරම සිදුකර තිබෙන බව හෙළිකරගෙන ඇත.
එම රෝහල වෙත වකුගඩු ලබාදීමට කැමති පිරිස් සම්බන්ධ කිරීමේ තැරුව්කරුවන් වශයෙන් කාන්තාවක හා පිරිමියකු කටයුතු කර තිබෙන අතර එම අයට කොළඹ අවට ප්‍රදේශයේ පිරිස් සම්බන්ධ කොට ඇත්තේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් බවටද හඳුනාගෙන ඇත. මොවුන් හරහා හඳුන්වා දී ඇති පුද්ගලයන් අදාළ පරීක්ෂණ සඳහා යොමුකර ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් කිහිපයක් වෙතය. එම පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව බොරැල්ල කොටා පාර වෙස්ටර්න් රෝහල වෙත යොමු කිරිමෙන් පසුව වකුගඩු ලබාගැනීම සිදුකර ඇතැයි වාර්තා වේ.
වකුගඩු ලබාගැනීමෙන් පසුව අයෙකුට රුපියල් ලක්ෂ 50 සිට ලක්ෂ 120 දක්වා මුදල් ලබාදෙන බව තැරුව්කරුවන් විසින් දන්වා තිබිණ. ඊට කැමැති වූ වයස 30-42 අතර වයසේ සිවුදෙනකු සහ කාන්තාවක් වකුගඩු ලබාදීම සඳහා ඉදිරිපත්ව ඇත. මෙහිදී වකුගඩු ලබාදුන් අයකුට රුපියල් ලක්ෂ 95ක් ලබාදෙන බව පවසා තිබෙන අතර එය ලබාගන ඇත්තේ වෙස්ටර්න් රෝහලේ හිමිකරු බව කියන මහාචාර්යවරයකු කියන වෛද්‍යවරයකු වෙතය. මේ ආකාරයට වකුගඩු බද්ධ කිරීමේ සිදුවීම් 6ක් වාර්තා වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. මෙසේ වකුගඩු ලබාදී තිබෙන එක් කාන්තාවක් වයස අවුරුද්දක් වන සිය දරුවාට කිරිදෙන මවක බවද කියැවේ.
මේ ආකාරයට වෙස්ටර්න් රෝහලේදී වකුගඩුව ලබාදුන් ඇතැම් පුද්ගලයන් සඳහා රෝහල වෙතින් ලබාදී ඇත්තේ රුපියල් ලක්ෂ 2ක මුදලක් පමණක් බව කියැවේ. එසේ මුදල් ලබාදීම සිදුකර ඇත්තේ බොරුල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අයත් වාහන අංගනයේදී බවද කියැවේ. එම මුදල ලබාදීමෙන් පසුව නැවත මුදල් ඉල්ලීමෙන් වලකින ලෙස තර්ජනය කොට ඇත්තේ පොලීසියේ ඉහළ නිලධාරියකු විසින් බවටද හඳුනාගෙන තිබේ. මේ අනුව වකුගඩු හිමිකරුවන්ට පොරොන්දු වූ මුදල ලබා නොදී වෙස්ටර්න් රෝහලේ පාලනාධිකාරිය විසින් ලක්ෂ කෝටි ගණනින් මුදල් යටිමඩුගසා තිබෙන බව පැහැදිලිය.
මේ හේතු මත සැකකාර පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට නියමිතය. ඊට අමතරව වෙස්ටර්න් රෝහලේ ප්‍රධානී හා අධ්‍යක්ෂ මණ්ඩලයට හොර රහසේ රටින් පිටවීම තහනම් කරමින් විදේශ ගමන් තහනමට ලක්කිරීමට නියෝග නිකුත් කර ඇත. ඒ අනුව එම රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය වන මොහොමඩ් හුසේන් රිස්වි ෆරීෆ්, අමීනා රිස්වි ෆරීෆ්, මොහොමඩ් රිකාස් සරීෆ්, ෆාතිමා ගබ්බා සරීෆ්, ඔමාර් ෆරීෆ්, අමිතා කමලකී කස්තුරිආරච්චි යන හය දෙනකුගේ විදෙස් ගමන් තහනම් කොට ඇත.
වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරුව්කරු බව කියන බසීර් මොහොමඩ් රාජ්බ්ඩීන් නොහොත් බායි (41) යන අය කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක 2 හි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නමලලට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන තිබුණි. පොලීසියට පැමිණිලි සිදුකළ කාන්තාව හා පුරුෂයන් තිදෙනා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ගේ එක් වකුගඩුවක් ඉවත්කර ඇති බව තහවුරු කොටගෙන ඇත.
මෙකී පිරිස් වෙත පොරොන්දු වූ මුදල් ලබා නොදීම හේතුවෙන් බොරුල්ල පොලීසියට සිදුකළ පැමිණිලි වැඩිදුර විමර්ශනය සඳහා යොමුකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මහා පරිමාණ වකුගඩු ජාවාරමේ යටගිය තොරතුරු හෙළිදරව් වීමට පටන්ගෙන තිබේ.
I සමන්ත විල්තෙර