2022 දෙසැම්බර් 11 වන ඉරිදා

විදුලි බිල නැග්ගොත් මොකද වෙන්නෙ

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 69

විදුලි ගාස්තු 70% කින් ඉහළ දැමීමේ සූදානම පිළිබඳ විශාල සමාජ ආන්දෝලනයක් ඇතිව තිබේ. පසුගිය සමයේ 76% කින් පමණ ඉහළ ගිය විදුලි ගාස්තු, ඉදිරි වසර තුළ අවස්ථා දෙකකදී නැවත ඉහළ යනු ඇත. මේ වන විටත් ඊට අදාළ කැබිනට් තීරණය ප්‍රකාශයට පත් වී අවසන්ය. 

එම තීරණය පිළිබඳ යම් මත ගැටුමක් ඇතත්, එම තීරණය ක්‍රියාත්මක වුවහොත් මාස 12 ක පමණ කාලයක් ඇතුළත මෙරට විදුලි ගාස්තු 150% කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ යනු ඇත. එය අතිශය බරපතළ තත්ත්වයකි. ඉකුත් සතියේ විදුලි ගාස්තු වැඩිවීමෙන් මහජනතාවට සිදුවිය හැකි බලපෑම පිළිබඳ අපි විමසා සිටියෙමු.

එම නිසාම විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ වෘත්තීය කණ්ඩායම් වෙත එල්ල විය හැකි බලපෑම පිළිබඳ සොයා බැලීමට මෙවර අපි තීරණය කළෙමු. 

රස්සා ටිකටත් තට්ටු වේවි

ඇන්ටන් මාකස් - සම ලේකම්
නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමය

විදුලි බිල වැඩිවීම අපේ කර්මාන්ත සඳහා බරපතළ විදිහට බලපානවා. ඇඟලුම් කර්මාන්ත ශාලාවල සියලුම යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වෙන්න විදුලියෙන්. ඒ වගේම නිෂ්පාදන ප්‍රමිතිය ආරක්ෂා කරගන්න කර්මාන්ත ශාලාව වායු වායුසමනය කරලා තියෙන්නෙ.

විදුලි ගාස්තු වැඩි වෙනවා කියන්නේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා කියන එකට. පිරිවැය වැඩිවීමෙන් කර්මාන්ත ශාලා හිමියන්ගෙ ආදායම අහිමි වෙනවා. ඒ අය තමන්ට වෙන පාඩුව පිරිමසා ගන්නෙ මිල වැඩි කරලා වියදම් කපා හැරලා. මේ තත්ත්වය යටතේ අපහසුතාවයට ලක්වෙන්නේ කම්කරුවෝ, සේවකයෝ සහ සාමාන්‍ය මහජනතාවයි.

වියදම් අධික වීම නිසා  ආයතනවලට ඇණවුම් නොලැබුණත්, ඒක වැඩ කරන කම්කරුවන්ට බලපානවා. එතනදි රුකියා සුරක්ෂිතභාවය සම්බන්ධවත් නිර්මාණය වෙන්නේ ගැටලුවක්.

අපි බදුවලින් මිරිකිලා

සූරිය කුමාර - සභාපති 
ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමය

විදුලි ගාස්තු වැඩි වෙනවා කියලා කියන්නේ අපේ පිරිවැයත් 70% කින් වැඩි වෙනවා කියන එක. අපේ කර්මාන්තයට ප්‍රධාන වශයෙන් බලශක්තිය ලැබෙන්නේ ගෑස් සහ විදුලියෙන්. දැන් ගෑස් මිලත් ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ විදුලි ගාස්තු වැඩිවීම අපේ කර්මාන්තයේ නිරතවෙලා ඉන්න සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ සියලුම කර්මාන්තකරුවන්ට බලපානවා.

කතා දෙකක් නෑ. අපේ සෑම නිෂ්පාදනයකම මිල වැඩිවීමට මේක හේතුවක් වෙනවා. කර්මාන්තකරුවන් විදියට අපේ ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි වුණාම, අපිට ඉතුරු වෙන්නේ විකල්ප කීහිපයයි. එක්කෝ අපි නිෂ්පාදන ක්‍රියාවලියෙන් අයින් වෙන්න ඕනෑ. නැතිනම් තවදුරටත් මේ ක්‍රියාවලියේ රුඳී ඉන්න නම් මිල වැඩි කරන්න ඕනෑ.

අමුද්‍රව්‍ය, ප්‍රවාහන වියදම් ඉහළ යාම වගේම බදුවලිනුත් අපි පීඩාවට පත්වෙලා ඉන්නේ. අනෙක් පැත්තෙන් මේ වෙලාවේ නිෂ්පාදනවල මිල වැඩි කළාම, පාරිභෝගිකයාටත් මිලදී ගන්න හැකියාවක් නැහැ. ඉතින් නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වෙනවා. ඒ වගේ කර්මාන්තයේ රුකියාවල අහිමිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. සේවකයන්ගේ, රුකියා අහිමිවීම, අතිකාල නැතිවීම නැවතත් රටේ ආර්ථිකයටමයි බලපාන්නෙ.

සංචාරක ව්‍යාපාරෙට දරාගන්න බැහැ

සනත් උක්වත්ත - හිටපු සභාපති 
සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය 

හෝටල් කර්මාන්තය වැඩිම පිරිවැයක් දරන්නෙ විදුලි බලය වෙනුවෙන්. අනිත් කර්මාන්තවලට වඩා වැඩි මුදලක් අපෙන් විදුලිබල මණ්ඩලය අය කරනවා. දැනටමත් අපි විශාල විදුලි ගාස්තුවක් ගෙවනවා. ඒ නිසා 70% ක විදුලි ගාස්තු වැඩිවීම අපිට බොහොම තදින් බලපානවා.

කර්මාන්ත ශාලාවලටත් වඩා වැඩියෙන් අපිට විදුලිය භාවිත කරන්න වෙනවා. වායු සමීකරණ, විදුලි බල්බ ඇතුළු විදුලි උපකරණ විශාල ප්‍රමාණයක් අපි හෝටල් කර්මාන්තය තළ භාවිත කළ යුතුයි. අපි විශාල වශයෙන් විදුලිය පරිභෝජනය කරන නිසා අපෙන් අය කරන ගාස්තුව කොහොමත් වැඩියි. ඒ අතරේ තවත් විදුලි ගාස්තු වැඩි වුණොත්, සංචාරක කර්මාන්තයට දරාගන්න බැරි පරිමාවක බලපෑමක් එල්ල වෙන්න පුළුවන්.

ගාස්තු වැඩි කිරීමක් කරනවා නම් සෝලා වගේ ක්‍රමවේදයකට යන්න අපට කල් ලබා දීලා, ණය පහසුකම් ලබා දීලා ඒ කටයුත්ත කරන්න ඕනෑ. එකපාරට මේ කරන්න හදන විදුලි ගාස්තු වැඩි කිරීම, නැගී එන සංචාරක කර්මාන්තයට ඉතාමත් නරක විදිහට බලපානවා. අපේ කලාපයේ අනිත් රටවල කර්මාන්තකරුවන්ට සාපේක්ෂව අපි තමයි විදුලිය වෙනුවෙන් වැඩිම පිරිවැයක් දරන්නෙ.

මෙහෙම ගියොත් ලැබෙන ඩොලර් ටිකත් නැතිවේවි

අනුර අතුකෝරළ  - සභාපති, කළමනාකාර අධ්‍යක්‍ෂ
අතුකෝරළ සමූහ ව්‍යාපාරය 

දැනටත් විශාල වශයෙන් අපේ විදුලි ගාස්තු ඉහළ ගිහිල්ල තියෙනවා. කලින් ලක්ෂ පහක විතර තිබුණු විදුලි බිල, දැන් ලක්ෂ 12ක් විතර වෙනවා. දිනපතා සිද්ධවෙන විදුලි කප්පාදුවත් එක්ක විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අමතරව ලක්ෂ පහක විතර ඉන්ධන වියදමකුත් දරනවා. මේ වගේ තත්ත්වයක් යටතේ නැවතත් 70% කින් විදුලි ගාස්තු වැඩි කළොත් ඒක තේ කර්මාන්තයට ඉතාම අයහපත් විදිහට බලපානවා.

දැනටමත් ගොඩක් ආයතන පවත්වාගෙන යන්නේ ලාභයකින් තොරව, නැත්නම් පාඩු ලබමින්. අපි අපනයන නිෂ්පාදනයක් සිදු කරන්නේ. නිෂ්පාදන වියදම වැඩිවුණාම අපිට අපේ නිෂ්පාදන විකුණගන්න බැහැ. දැනටමත් "සිලෝන් ටී" වලට ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන විදියට අපේ තමා තේ සඳහා නිෂ්පාදන පිරිවැය වැඩිම. අපිත් එක්ක තරග කරන කෙන්යාව, වියට්නාමය වගේ රටවල තේ සඳහා නිෂ්පාදන පිරිවැය හරි අඩුයි.

ඉදිරියේදී තවදුරටත් නිෂ්පාදන පිරිවැය වැඩිවීමත් එක්ක අපේ නිෂ්පාදන මිලදී නොගන්න තත්ත්වයක් වෙළෙඳපොළ තුළ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක රටට අපනයන ආදායම විදියට ලැබෙන ඩොලර් අහිමි වෙනවා. ඇත්තටම මෙතන ලොකු අවදානමක් තියෙනවා. අපේ නිෂ්පාදන වියදම වැඩිවුණයි කියලා මිලදී ගන්න පිරිස් අපිට වැඩිපුර ගෙවන්නෙ නැහැ. විදුලි ගාස්තු නැවතත් ඉහළ ගියොත් කර්මාන්තයටම ලොකු හානියක් වෙනවා.

විදුලි බිලේ බර අපට නම් පටවන්න එපා

මුදිත පෙරේරා - සභාපති 
එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය 

අන්තිමට සිද්ධවුණු විදුලි ගාස්තු වැඩිවීම 75% ක් බව කිව්වට සහල් නිෂ්පාදන කර්මාන්තයට  ඒක 100% කින් විතර බලපාල තියෙනවා. ඉස්සර මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයෙක්ට ලක්ෂ තුනක් විතර ආපු විදුලි බිල දැන් ලක්ෂ හයක් විතර එනවා. ලබන වසරේ සිද්ධවෙන සංශෝධනයත් එක්ක මාසික විදුලි ගාස්තුව ලක්ෂ නවයක් දහයක් වෙයි. ඇත්තටම ඒක මාසේ අන්තිමට අපිට දරන්න බැරි වියදමක්.

වී කිලෝ එකේ මිල හිතාගන්න බැරි විදිහට ඉහළ යද්දී පිරිසක් මේ කර්මාන්තය අතහැරලා ගියා. කර්මාන්තයට අවශ්‍ය කරන ප්‍රාග්ධනය එකට එකක් වැඩි වුණා. දැන් විදුලි බිලත් එක්ක තවත් පිරිසක් මේ කර්මාන්තය අතහැරලා යයි. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට පහර වදින මේ තීරණවලින් සහල් ඒකාධිකාරිය තවත් ශක්තිමත් වෙනවා.

ආණ්ඩුව හැමදාම කළේ වියදම වැඩි වුණා කියලා ඒ බර පාරිභෝගිකයා පිට තියන එක විතරයි. විදුලිබල මණ්ඩලයේ දූෂණය වංචාව නවත්තන්නවත්, වියදම් පාලනය කරන්නවත් කවුරුත් කටයුතු කළේ නැහැ. හැමදේම වැඩිවෙන වැඩිවෙන විදිහට වැඩි කරන්න නම් ඇත්තටම ආණ්ඩුවක් ඕන වෙන්නේ නැහැ. වියදම් අඩුකර ගන්න යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඔය බර නම් ලබන අවුරුද්දේ අපිට පටවන්න එන්න එපා.


I චමිඳු නිසල් ද සිල්වා