2022 දෙසැම්බර් 11 වන ඉරිදා

ජනමාධ්‍ය සම්මාන රාත‍්‍රිය

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 05:59 68

23 වැනි වරටත් ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ මෙහෙයවීමෙන් පවත්වන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලත් ඒ අවසානයේ කූඨප‍්‍රාප්තියට පත්වන සම්මාන රාත‍්‍රියත් දෙසැම්බර් 13 වැනිදා ඇඟහරුවාදා ගල්කිස්ස හෝටලයේ එම්පයර් බෝල්රෑම් ශාලාවේ දී පැවැත්වෙයි.

ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය හා ඊට සම්බන්ධ වෘත්තීය සමිති, ශ‍්‍රී ලංකා පුවත්පත් සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආදියේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි. 
මෙම වාර්ෂික වැඩසටහන පවත්වනුයේ ජනමාධ්‍යයේ වෘත්තීයභාවය පිළිගැනීමට ලක් කිරීමට හා එහි විශිෂ්ට කුසලතා දැක්වූවන්ට සම්මාන පිරිනැමීමටයි.

මේ වසරේ ජනමාධ්‍යවේදීන් 34 දෙනකුට පෑන සහිත ජයසංකේත සම්මාන පිරිනැමෙන අතර තවත් 17 දෙනෙක් කුසලතා සම්මානයෙන් ඇගයෙති. මීට අමතරව ජීවිත කාලය පුරා කළ මෙහෙවර උදෙසා චිත‍්‍රා වීරරත්න මහත්මිය සහ දයා ලංකාපුර, ඒ.ඩී. රංජිත් කුමාර, පී. මානික්වාසාගම්, පී.බී. ඉලංගසිංහ යන යන මහත්වරු සම්මානයෙන් පිදුම් ලබති.

ඔවුන්ගේ නාමාවලිය මෙම සටහන අවසානයේ දැක්වෙයි.

වසරේ ගවේෂණ මාධ්‍යවේදියා ලක්ෂ්මන් කදිර්ගාමර් ශිෂ්‍යත්වය ඔස්සේ ප‍්‍රමුඛ පෙළේ ඉන්දියානු ජනමාධ්‍ය විද්‍යායතනයක් වන කේරළයේ මැස්කොම් වෙත යොමු කිරීමට ද නියමිතය. මෙම ශිෂ්‍යත්වලාභියා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ අනුග‍්‍රහයෙන් එරටට ගමන් පහසුකම් සැපයෙනු ඇත.

මේ වසරේ උත්සවයේ ප‍්‍රධාන අමුත්තා වනුයේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ මනික් ද සිල්වා මහතා ය.

මෙම වැඩසටහනේ ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, ඩයලොග්, LOLC, ශ‍්‍රී රක්ෂණ සංස්ථාව හා  ඕලූ බොම්ල්වි වෝටර් යන ආයතන මගිනි. අනෙකුත් අනුග‍්‍රාහකයන් වන්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ ඉන්සී සිමෙන්ට් යන ආයතනයි.
ගල්කිස්ස මහ හෝටලය සත්කාරක අනුග‍්‍රාහකත්වයට දායක වෙයි. 

මෙම වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන සඳහා පුවත්පත් ආයතන නවයකින් යොමු කෙරුණු අයැදුම්පත් 251ක් අටදෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් වෙත යොමු කරනු ලැබීය. 

අංශ 17 ක් වෙනුවෙන් මෙහිදී සම්මාන පිරිනැමේ.

● මර්වින් සිල්වා සම්මානය - වසරේ ජනමාධ්‍යවේදියා උදෙසා
● වසරේ හොඳම උණුසුම් පුවත
● වසරේ ගවේෂණශීලී ජනමාධ්‍යවේදියා
● වසරේ හොඳම පරිසර වාර්තාකරුවා
● සමාජමය කරුණු වාර්තාකරණය සඳහා වූ සුබ‍්‍රමනියම් වෙට්ටියාර් සම්මානය
● වසරේ ක‍්‍රීඩා ජනමාධ්‍යවේදියා
● වසරේ තරුණ (අවුරුදු 26 ට අඩු) ජනමාධ්‍යවේදියා උදෙසා පිදෙන ඩෙන්සිල් පීරිස් සම්මානය
● වසරේ ඡායාරෑප ශිල්පී මාධ්‍යවේදියා
● වසරේ හොඳම පුවත්පත් නිර්මාණ සැලසුම
● වසරේ ව්‍යාපාර හා මූල්‍ය කටයුතු පිළිබඳ ජනමාධ්‍යවේදියා
● උපාලි විජයවර්ධන සම්මානය - වසරේ විශේෂාංග ලිපි රචකයා 
● වසරේ කාටුන් ශිල්පියා
● වසරේ තීරු ලිපි රචකයා උදෙසා බී.ඒ. සිරිවර්ධන සම්මානය
● විශේෂ වාතාවරණ යටතේ වාර්තාකරණය උදෙසා පිදෙන මහාචාර්ය කේ. කෛලාසපති සම්මානය
● තොරතුරු දැනගැනීමේ පනත භාවිතය නැතහොත් හොඳම ප‍්‍රවෘත්තිය
● වසරේ හොඳම සෞඛ්‍යාරක්ෂණ හා වෛද්‍ය තොරතුරු වාර්තාකරණය
● හොඳම පුවත් වෙබ් අඩවිය

දීර්ඝ සේවා සම්මාන

දීර්ඝ සේවා වෙනුවෙන් පහත සඳහන් ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෝ පිදුම් ලබති.

දයා ලංකාපුර

දයා ලංකාපුර මහතා මාධ්‍ය ක්ෂේත‍්‍රයේ වසර 55 ක සේවා ඉතිහාසයකට උරුමකරුවෙකි. 1966 මාධ්‍යවේදියකු ලෙස ඇත්ත පුවත්පතට එක්වෙමින් සිය ජනමාධ්‍ය ජීවිතය ආරම්භ කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවල සිටිද්දීමය. උපාලි නිව්ස්පේපර්ස් ලිමිටඩ් ආයතනය ආරම්භයේදීම දිවයින කර්තෘ මණ්ඩලයට බැඳුණු ඔහු පාර්ලිමේන්තු හා දේශපාලන කටයුතු වාර්තාකරුවකු වූ අතර, ඉන් අනතුරුව 1994 දී දිනමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස කෙටි කලක් කටයුතු කළේය. පසුව ඔහු සිළුමිණ පුවත්පතේ සම කර්තෘ හා ජනතා පුවත්පතේ 1998 මැයි මාසයේ පටන් 2004 මැයි මාසය දක්වා කර්තෘධුරය දැරීය. ඉන් අනතුරුව ඉරිදා රිවිර පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘධුරය භාරගත් හෙතෙම ලක්බිම පුවත්පතේ රාත‍්‍රී කර්තෘලෙසත්, ඉරුදින පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘලෙසත්, දිවයින පුවත්පතේ කර්තෘ මණ්ඩල උපදේශක ලෙසත් දායකත්වය සැපයීය. මෙම කාලය තුළ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වූ News.lk හි 2020 ජූලි දක්වා සංස්කාරකවරයා වූයේද ඔහුය. කැනඩාවේ වෙස්ටර්න් ඔන්ටාරියෝ, බි‍්‍රතාන්‍යයේ බ‍්‍රුඩ්ෆර්ඩ් යන විශ්වවිද්‍යාලවල ද දකුණු කොරියාවේ මීඩියා ටේ‍්‍රනින්ග් ඉන්ස්ටිටියුට් හි ද ඔහු ජනමාධ්‍ය විද්‍යා පාඨමාලා හැදෑරුවේය. මේ වන විට ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රීපාලි මණ්ඩපයේ ජනසන්නිවේදනය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරයි.

ඒ.ඩී. රංජිත් කුමාර මහතා

ඒ.ඩී. රංජිත් කුමාර මහතා සරසවිය හා සරසි යන සතිපතා පුවත්පත්වල කර්තෘධුරය දැරුවේ ය. විශේෂයෙන් සිනමා ක්ෂේත‍්‍රය ඇතුළු ජනමාධ්‍යයේ කටයුතුවල හෙතෙම දශක පහක් පුරා රුඳී සිටියේ ය. කොළඹ කේරි විදුහලෙත් කොළඹ ආනන්ද විදුහලෙත් ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු කොස්ගස්හන්දිය, ගාමිණී හෙළ සිනමා සක්විති, රුක්මණී දේවි යුගයක ස්වර්ණ ගීතය, සිංහල සිනමාවේ රිදී රේඛාව, නොව පැරණිය ලිපිසරණිය ඇතුළු පොත් ගණනාවක කතුවරයෙකි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වූ ඔහු සරසවිය චිත‍්‍රපට උළෙලේ සහ සුමති ටෙලි සම්මාන උළෙලේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කළ අතර, සුමති සමාගම් සමූහයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරය ද හෙබැවීය. රණපාල බෝධිනාගොඩ සිනමා සාහිත්‍ය අනුස්මරණ සම්මානය, සිරිල් සී. පෙරේරා අනුස්මරණ සම්මානය,  ඕසීඅයිසී සම්මානය සහ සුමතිපාල අනුස්මරණ සම්මානය ඔහු දිනූ සම්මාන අතර වෙයි. හෙතෙම සිනමාව පිළිබඳ පර්යේෂණවල නිරත වූ ඉතිහාසඥයෙකි. 2017 දී ජාතික චිත‍්‍රපට සංස්ථාව වෙතින් පිරිනැමෙන සිනමා සාහිත්‍ය උදෙසා වූ ජනාධිපති සම්මානයේ හිමිකරු වූයේ ද ඔහු ය.

පොන්නයියා මානිකවාසගම් මහතා

පී.  මානිකවාසගම් යනුවෙන් හැඳින්වෙන පොන්නයියා මානිකවාසගම් මහතා අසීරු වාතාවරණයන් යටතේ වීරකේසරී පුවත්පතේ දශක හතරක් සේවය කළ ප‍්‍රවීණ ජනමාධ්‍යවේදියෙකි. යුදගැටුම් පැවැති කලාපයේ රුඳී සිටිමින් යුදගැටුම් පිළිබඳව ඔහු කළ වාර්තාකරණයන් දෙස් මෙන්ම විදෙස් මාධ්‍යයන්හි ද ගෞරවයට පාත‍්‍ර විය. ඒවා සත්‍ය හා නිවැරුදි බවෙන් යුක්ත බවට පිළිගැනීමක් තිබිණි. බී.බී.සී. දමිළ ගුවන්විදුලි සේවාව 2016 දී අත්හිටුවා දමන තුරු වසර 25 කුත්, රොයිටර් පුවත් සේවාවේ වසර 10 කුත් ඔහු අර්ධකාලීනව කටයුතු කළේය. ඉන්දුනීසියාවේ ඒෂියා කෝලින්ග් සහ ඇමරිකන් ෆී ස්පීච් රේඩියෝ යන මාධ්‍ය ආයතන දෙකටම වසර ගණනාවක් තිස්සේ ඔහු ශ‍්‍රී ලංකා වාර්තාකරු ලෙස ප‍්‍රවෘත්ති සම්පාදනය කළේය. ජනමාධ්‍ය උදෙසා උතුරු පළාත් ආණ්ඩුකාර සම්මානයත්, කලාභූෂණ සම්මානයත් දිනූ ඔහු සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ජීවිත කාලයේ ලද ජයග‍්‍රහණ උදෙසා පිදෙන සම්මානය ද හිමිකර ගත්තේය.

චිත‍්‍රා වීරරත්න මහත්මිය

දි අයිලන්ඩ් පුවත්පතේ මාධ්‍යවේදිනියක වූ චිත‍්‍රා වීරරත්න මහත්මිය සිය ප‍්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටියේ විශාකා විද්‍යාලයෙනි. පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ස්වාභාවික විද්‍යා උපාධිය හිමි කරගත් ඈ රචකයන් අතර ජනාදරයට පත්වූයේ චිත‍්‍රා නමිනි. ඈ සිය ජනමාධ්‍ය දිවිය ආරම්භ කළේ ස්වාධීන පුවත්පත් සමූහයට  අයත්ව තිබූ මේ වන විට අභාවයට ගොස් ඇති සන් පුවත්පතෙනි. 90 දශකය මුලදී අයිලන්ඩ් පුවත්පතට බැඳුණු ඇය ඉක්මනින්ම අධිකරණ කටයුතු වාර්තාකරණයේ ස්ථාපිත වූවාය. ඈ දිවංගත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.ඒ. ද ඇස්. විජේසුන්දරගේ දියණිය වූ නිසා අධිකරණ කටයුතු පිළිබඳ විෂය ඇගේ රුධිර නහරගතව තිබිණි. ඒ නිසාම කිසිම උසාවියක් ඇයට විශාල හෝ කුඩා වූයේ නැත. ඊටත් වඩා විශේෂ වූ කාරණය වූයේ ඇගේ සොයුරියන් දෙදෙනාම පියාගේ අඩිපාරේ යාමය. චිත‍්‍රාගේ දිවංගත ස්වාමියා වූ ආචාර්ය සුසිල් වීරරත්න මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙකි.

පී.බී. ඉලංගසිංහ මහතා

පී.බී. ඉලංගසිංහ මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ  (ලේක්හවුස් හි) ජනතා පුවත්පතේ කර්තෘමණ්ඩලයට 1965 දී ඔහු බැඳුණේ පුහුණුව ලබන වාර්තාකරුවකු වශයෙනි. 1970 දී සිළුමිණ කර්තෘමණ්ඩලයට මාරු වූ ඔහු සිළුමිණ පුවත්පතේ ප‍්‍රධාන කත_ෘවරයා වූ එස්. සුබසිංහ මහතා යටතේ උපකර්තෘවරයෙක් වශයෙන් කටයුතු කළේය. 1985 හෙතෙම සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘධුරයට උසස්වීම් ලද්දේය. ඉන් අනතුරුව 1995 දී විජය පුවත් සමූහයේ ඉරිදා ලංකාදීප කර්තෘමණ්ඩලය වෙත ගිය ඔහු මේ වන විට එහි  නියෝජ්‍ය කර්තෘධුරය උසුලයි. 

සුකුමාර රොක්වුඩ්
කැඳවුම්කරු
2021 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන