2022 දෙසැම්බර් 18 වන ඉරිදා

දරුණු ලියුකේමියාවට විස්මිත නව ප්‍රතිකාරයක්!

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 128

මෙතෙක් බෙහෙතක් නොමැතිව තිබූ රුධිරගත ලියුකේමියා රෝගී තත්ත්වයකින්    පෙළුණු නව යොවුන් වියේ දැරියක් සෛල සංස්කරණය: cell-editing treatment, නම් වූ   පුරෝගාමී නව ප්‍රතිකාරයකින් මසකට පසු විස්මිත ලෙස සුවය ලබා සිටී. මරණීය  ලියුකේමියා රෝග තත්ත්වයක් වන T-සෛල ලිම්ෆොබ්ලාස්ටික්තාව නමැති උග්‍ර රුධිර පිළිකා රෝගයකින් පෙළෙන්නට වූ ඇයට රසායනික චිකිත්සාවකින් හෝ ඇටමිදුළු බද්ධ කිරීමකින් ප්‍රතිකාර කළ නොහැකි විය. විස්මිත ලෙස මේ ප්‍රතිකාරයෙන් ඇය සුවය ලැබීමත් සමග පුරෝගාමී සෛල සංස්කරණ ප්‍රතිකාරයක් ලබා සුවය ලද ලොව පළමු රෝගියා බවට ඇය පත්ව තිබේ. 

එංගලන්තයේ ලෙස්ටර්හි, ඇලිසා නමැති 13 හැවිරිදි දැරිය T-සෛල ලිම්ෆොබ්ලාස්ටික්තාව නමැති මේ උග්‍ර ලියුකේමියා රෝගයෙන් පෙළුණු අතර එය රසායනික චිකිත්සාවකින් හෝ ඇටමිදුළු බද්ධ කිරීමකින් ප්‍රතිකාර කළ නොහැකි  රෝගයක් බව හඳුනා ගැනීමෙන් පසු, ලන්ඩනයේ Great Ormond Street රෝහලේ වෛද්‍යවරු පෙරළිකාර පර්යේෂණාත්මක ප්‍රතිකාරයක් යොදා ගන්නට උත්සාහ කළහ.

ඒ ඇයගේ පිළිකාව ඉලක්ක කර ක්‍රියාත්මක විය හැකි ලෙස ජානමය වශයෙන් වෙනස්   (සංස්කරණය) කරන ලද T-සෛල නමැති ප්‍රතිශක්තිකරණ සෛල යොදා ගැනීමෙනි.

මූලික සංස්කරණය - base-editing, ලෙස හැඳින්වෙන මෙම නව තාක්ෂණය, පිළිකා ප්‍රතිකාරයක් ලෙස ප්‍රතිශක්ති කරන T-සෛලයක DNA අනුවෙහි මූලික සැකසුම වෙනස් කිරීමට යොදාගත් පළමු අවස්ථාව මෙයයි.

ප්‍රවීණයන් එම ප්‍රතිශක්තිකරණ T-සෛලවල ප්‍රවේණි කේතය මෙලෙස වෙනස් කළේ සිය හිතමිතුරු සෛල විනාශ නොකරන අතර පිළිකා සෛල සොයා දඩයම් කිරීමට සහ විනාශ කිරීමට හැකියාව ලබා දෙමිනි.

මේ ප්‍රතිකාරයෙන් යන්තම් දින 28 කට පසු, ඇලිසාගේ රෝගය සමනය වී ඇති අතර ඇගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දුන් දෙවැනි ඇටමිදුළු බද්ධ කිරීමෙන් පසුව ඇය තුළ වූ ලියුකේමියාව දැන් හඳුනාගත නොහැකි ලෙස පහව ගොස් ඇත. මේ වනවිට ඇය නිවෙසේ නැවතී සුවය ලබන අතර ඉක්මනින්ම  නැවත පාසලට යාමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

මෙම විස්මිත ප්‍රතිශක්ති හැකියාවෙන් යුතු සෛල නිර්මාණය කිරීම සඳහා, පරිත්‍යාගශීලියකු වෙතින් ලද නිරෝගී T-සෛල අදියර හතරකින් නැවත ප්‍රති නිර්මාණය කිරීමට සිදුව තිබුණි‍.

සෙම්ප්‍රතිශ්‍යාව, වෛරස් උණ සහ සාමාන්‍ය තෙහෙට්ටුව ලෙස පවුලේ අය සිතා සිටි    දිගුකාලීනව පැමිණි රෝගී තත්ත්වයන්ට පසුව, 2021 මැයි මාසයේදී ඇලිසා තුළ වූ T-සෛල ලියුකේමියාව හඳුනා ගන්නා ලදී. ඉන්පසු මාස ගණනක් ලෙස්ටර් හි සහ ෂෙෆීල්ඩ්හි රෝහල්වල ප්‍රතිකාර කළද වෛද්‍යවරුන්ට ඇගේ පිළිකාව පාලනය කර ගැනීමට නොහැකි විය. මේ රෝගය නිසා සිය දිගු කොණ්ඩයද තමාට අහිමි වන බව දැනගත් ඇලිසා එය පරිත්‍යාග කිරීමට පවා පෙළඹුණේ දෛවයේ අන්තිම භයානක තත්ත්වයට මුහුණ දීමට හිත හදා ගනිමිනි. 

ලන්ඩනයේ Great Ormond Street රෝහලේ උපදේශක ප්‍රතිශක්ති විද්‍යාඥයා මෙන්ම සෛල හා ජනක ප්‍රතිකාර පිළිබඳ මහාචාර්යවරයකු වන මේ විස්මිත ප්‍රතිකරය සිදු කළ වෛද්‍ය වසීම් කාසිම් ලෝකයට කීවේ, පුහුණු කාර්ය මණ්ඩලය, දියුණු යටිතල පහසුකම් සහිතව  මෙතෙක් පර් යේෂණාගාරයන්ට සීමා වී තිබූ අති නවීන තාක්ෂණය රෝහල් ඇඳන් මත බලාපොරෙත්තු සුන්ව වැතිර සිටින රෝගීන් හට නැවත ජීවත්වීම ගැන බලාපොරොත්තුව ලබා දීමට යොදාගත හැකි ප්‍රායෝගික ආකාරය මේ නව ප්‍රතිකාරය මගින් සනාථ කර ඇති බවයි.

I සුගත්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04