2022 දෙසැම්බර් 18 වන ඉරිදා

ප්‍රසංග වේදිකාවේ අවසන් අධිරාජයා- නිහාල් නෙල්සන්

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 239

ප්‍රසංග වේදිකාවේ අවසන් අධිරාජයා නික්ම ගොසිනි. මොරටු පුරෙන් බිහි වූ නිහාල් නෙල්සන් නම් එම අසහාය කලාකරුවා පිළිබඳ පුවත්පත් පරිච්ඡේදයක් අප ලිවිය යුතුමය. සැබැවින්ම ඔහු අවසන් මොහොත වනතුරු ප්‍රසංග වේදිකාවේ අපරාජිතව සිය භූමිකාව නිරූපණය කළ අසහාය කලාකරුවෙකි. අභාවප්‍රාප්ත වනවිට නිහාල් නෙල්සන් නම් ප්‍රාසාංගිකව කලාවේ අධිරජු අවුරුදු 76ක ජීවන චාරිකාව නිමවා සිටියේය. සැබැවින්ම ඔහුගේ දිවිසැරිය මවිතයන්ගෙන්ගෙන් සහ නොපසුබට වීර්යයෙන් පිරී තිබුණකි. සැකෙවින් හෝ ඒ පිළිබඳ අපි මෙහි ලියා තබමු.

නිහාල් නෙල්සන් උපන්නේ 1946 ජනවාරි 9 වැනිදාය. පාසල් වියේ සිටම ගායනයට ඔහු තුළ වූයේ අපූරු දක්ෂතාවයකි. මොරටුව මහා විද්‍යාලයෙන් අකුරු කෙරූ නිහාල් නෙල්සන් ගායකයකු ලෙස කළ එළි බැස්සේ 1963 වසරේදීය. එයද ඉතා අපූරු කතාවකි. අදත් ලාංකික හදවත් වේග රිද්මයේ සන්තුෂ්ටියෙන් පුරවාලන සරත් මුණසිංහ ලියූ "ලස්සනට පිපුණු වන මල්" ගීතය ඔහුගේ ප්‍රථම ජනගත නිර්මාණයි. මේ සිදුවීම සිදුවූයේ 1963 මාර්තු 31 වැනිදාය. වේලාව දහවල් 11 පසුවී මිනිස්සු 20ක් ගතවී තිබුණි. ගුවන් විදුලියේ හදබැඳි හඬ පෞර්ෂය, කරුණාරත්න අබේසේකර පළමුවරට නිහාල් නෙල්සන් පිළිබඳ අපූරු ගුවන්විදුලි පූර්විකාවක් සැපයුවේය.

"ඔබට මම අද ගෙනාව මල් වෙඩිල්ලක්. මල් වෙඩි ලස්සනට පුපුරලා මල් විහිදුවා බලන අයට චමත්කාරයක් පෙන්නලා බිමට වීසිවෙලා යනවා. මම අද ගෙනාව මල් වෙඩිල්ල කවදාවත් බිමට වැටෙන්නේ නැහැ..."

"ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්
මම ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්
ලස්සන මගේ කිරිල්ලි සුරතල්..."

එදා මෙලෙසින් ගුවන් විදුලිය සංඛ්‍යාතයක් ඔස්සේ ඒ රසාලිප්ත හඬ ගුවනට එක්වුණි. සැබැවින්ම කරුණාරත්න අබේසේකරයන් කියූ ලෙසින් නිහාල් නෙල්සන් නම් ඒ මල් වෙඩිල්ල කිසිදා බිම නොවැටුණි. ඒ මල් වෙඩිල්ල අද නිවී ගියේ එදාටත් වඩා සුන්දර වර්ණවත් ආලෝක ධාරාවලින් සිරිලක කලා අම්බරය හැඩ කරමිනි.

1978දී "ගුණෙ අයියගේ කාමරේ" සමඟින් නිර්මාණය වූ කැසට් පටය නිහාල් නෙල්සන්ගේ කලඑළි මංගල්‍යය විය. එය එක ඇසිල්ලකින් ජන හදවත් වැළඳ ගත්තේය. මේ අපූරු ගීත සමුච්චය සමඟින් එවකට කැසට් පටයක් නිකුත් කළ ශ්‍රී ලාංකේය ගායන ශිල්පීන් අතර ඔහු දෙවැනි ස්ථානයටද පත්විය.

"සොමියට වරෙන් පුතා අගුලු දාල නෑ දොරේ
අහපං රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ...//"

අවසානයේ ශ්‍රී ලාංකික කලාවේ සදා නොමැකෙන වාර්තාවක් තමා නමින් ලියා තැබීමට නිහාල් නෙල්සන් ප්‍රසංග වේදිකාවේ අධිරජු වීමට සමත් වූයේය. නිහාල් නෙල්සන් වැඩිම කැසට් පට සංඛ්‍යාවක් එළිදැක්වූ ගායන ශිල්පියා ලෙස වාර්තා පොත් අතරට සිය නම එක් කළේය. ඔහු එළිදක්වා ඇති කැසට් පට ගණන 113 කි. එතැනින්ද නොනැවතුණු ඔහු මෙරට සංයුක්ත ගී තැටියක් නිකුත් කළ පළමු ගායන ශිල්පීන් කිහිපදෙනා අතරටද එක්විය.

ගායන ශිල්පියකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ගී පද රචකයකු ලෙස ඔහු මෙරට සංගීත කේෂත්‍රය තුළ කළ කී දෑ ලියා තැබීමට නම් වෙලුම් කිහිපයක පොතක් ලියන්නට සිදුවනු ඇත. එම්.එස්. ප්‍රනාන්දු, එච්.ආර්. ජෝතිපාල යුගයේ පටන් නූතන ඩිජිටල් සංගීතය යුගය දක්වා නිහාල් නෙල්සන් අපරාජිත ගමනක් පැමිණියේය. ඔහු නමින් අනුකාරකයන් පවා නූතනයේ බිහිවනු අපි දුටුවෙමු. එහෙත් ප්‍රසංග වේදිකාවේ ඔහු හා සමාන අනන්‍යතාවක් සහිත ප්‍රාසාංගික කලාකරුවකු අද හෙටද අපට යළි හමු නොවනු ඇත.

එපමණක් නොව ඔහු ගායනා කළ “සල්ලි මිටි ගණන්, කිරි දුන්නේ දරුවන්ටයි” වැනි ගීත ශ්‍රී ලාංකික සමාජයට එල්ල කළ එම බලපෑමද සුළුපටු නොවේ. සිය ගීතමය චාරිකාව පුරාවටම ගීයෙන් ජන සමාජය ආමන්ත්‍රණය කිරීමේ අව්‍යාජ උත්සාහයක නිහාල් නෙල්සන් නිරත වූ බව අපි කවුරුත් දනිමු. සැබැවින්ම ඔහු කෙරෙහි වූ ජනාදරයේ රහසද එයම විය හැකිය. වේග රිද්මයේ නැටවෙන නටවන ගී අතරේම විටෙක නිහාල් නෙල්සන් අප රසික සිත් සහෘද ලෙස ආමන්ත්‍රණය කළේය.

"කරුණා සුවඳ තවරා ලූ හද පියුමේ
ම‍වගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
කාටද මම අම්මේ..."

නිහාල් නෙල්සන් අතික්‍රමණය කළේ ප්‍රසංග වේදිකාව පමණක් නොවෙයි. ශ්‍රී ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගයේ සිනමා පසුබිම් ගීයෙන් ඔහු විස්කම් පෑවේය. පෙම් කුරුල්ලෝ චිත්‍රපටය තුළින් සිනමා ගීයට පළමුවරට පණ පෙවූ නිහාල් නෙල්සන්, සක්විති සුවය, ලෝක හොරු, හරි යනකොට ඔහොම තමයි, සඳ වට රන්තරු, ලොකු තාත්තා, මල් වරුසා, වාලම්පුරි, දියමන්ති වැනි චිත්‍රපට රැසකට සිය හඬ මුසු කළේය.

කලාවේ රේඛීය ඡේදනයන් සිදුකරන විද්වත් යැයි කියාගන්නා පාර්ශ්ව විසින් නිහාල් නෙල්සන් වැනි කලාකරුවන් මඟහැර ගිය බවද අසතුටින් නමුත් මෙහි ලියා තැබිය යුතුය. ඔහුගේ ගීත නිර්මාණ තුළ තිබූ අරුත් සහ ඒවායේ හැඩතල පිළිබඳ ප්‍රමාණවත් විමසුමක් කිසිදා සිදුනොවුණි. ඒත් ඒ සියලු ප්‍රබුද්ධ විචාරකයන් තම තමන්ගේ සතුටු සාදවල නිහාල් නෙල්සන්ගේ ගී ගයා තුටු වූ බව නම් නොරහසකි. සැබැවින්ම ඔහුගේ ගීයකට තාලයට අත්පුඩි නොතැලූ අයෙක් මේ ලක් දෙරණේ සොයාගත නොහැකි තරම්ය.

නිහාල් නෙල්සන් යනු අපමණ රසික ආදරයකට හිමිකම් කිවූ ප්‍රාසාංගික කලාකරුවෙකි. දිවිසැරිය පුරා විවිධ ඇගැයුම් ඔහු ලැබුවේය. විටෙක "මොරටුපුර රත්නවිභූෂණ" සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේය. තවත් විටක මේ ප්‍රවීණ ගායකයාගේ නමින් ඔහුගේ උපන් ගම වන මොරටුව රාවතාවත්තේ තුන්වැනි පටුමග නම් කෙරිණි. මේ සියලු ඇගයුම් පරයා ප්‍රසංග වේදිකාවට නිහාල් නෙල්සන් ගොඩවනවිට සැමදා එක ලෙසට ලැබුණ ජනතා සම්මානය ඔහුට සුවිසල් වූ අපට හැඟේ.

නිහාල් නෙල්සන් නම් වූ ප්‍රසංග වේදිකාවේ අවසන් අධිරජු අප අතරින් නික්ම ගියද ඔහු ගැයූ ගී අප අතර සදා අමරණීය වනු ඇත. ශ්‍රී ලාංකික ජන සමාජය පවතින තුරාවට සෑම රාත්‍රියකම සතුට සොම්නස රැඳෙන තැන්වල නිහාල් නෙල්සන් නම් අසහාය කලාකරුවාගේ නොනැසෙන ගීත ආත්මය අප අතර සැරිසරන බව නම් නිසැකය.

I චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04