2022 දෙසැම්බර් 18 වන ඉරිදා

මහවැලි ඇළේ කි.මී. 17ක් ගිය මාදුරුඔය අලියා

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 158

පොළොන්නරුව, මාදුරුඔය ජලාශයෙන් මහවැලි බී කලාපයට ජලය සපයන්නේ ඉසෙඩ් ඩී ඇළයි. මාදුරු ඔය ජලාශයේ සිට කිලෝමීටර් 54ක් දුරට වැලිකන්ද කාසන් වැව දක්වාත් එතැන් සිට නාගස්තැන්න දක්වා දිවෙන ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළ ශ්‍රී ලංකාවේ දිගම කොන්ක්‍රීට් ඇතිරූ ඇළ ලෙස ප්‍රකට වී තිබේ. ගැඹුරින් අඩි 25 සහ පළලින් අඩි 20 කින් සමන්විත ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළ මහඔය මනම්පිටිය හා ‍පොළොන්නරුව මඩකලපුව යන ප්‍රධාන මාර්ග දෙකක් පසුකරමින් ගලා යයි. මෙම ඇළට වැටීමෙන් නිරන්තරයෙන්ම වනඅලි විවිධ අසීරුතාවයන්ට මුහුණපාන අතර පසුගියදාත් එවැනි සිද්ධියක් දැකගත හැකි විය. අලි මංකඩ ඔස්සේ ඇළ හරහා දමා ඇති පාලම්වලින් එගොඩවීමට හෝ බීමට ජලය සොයාගෙන එන වන අලි මෙම ඇළට වැටීම සිදුවේ. මේ වසරේ ඇළට වැටුණු තුන්වැනි අලියා ගැනයි පසුගිය සතියේ අහන්නට ලැබුණේ. මේ අලි රංචු මාදුරුඔය සහ සෝමාවතිය ජාතික වනෝද්‍යාන‍යෙන් එහා මෙහා යන සතුන් වෙති. එදා සිට මේ දක්වා වන අලි 50 කට අධික සංඛ්‍යාවක් වැඩි ගණනක් ඇළට වැටී ගොඩගෙන ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

මෙම ඇළට වැටෙන වන අලියකු වැටුණු පසු තම උත්සාහයෙන් ගොඩඒමට ඉසෙඩ් ඩී ඇළේ පඩිපෙළවල් සකසා ඇත්තේ අරලගංවිල මැදගම පිහිටි විදුලිබලය නිෂ්පාදනය ස්ථානයෙන් පමණි. මේ නිසා බොහෝ අලි ජීවිත අවදානමට මුහුණපාති. අලි ගොඩගැනීම සඳහා වෙහෙරගල වැලිකන්ද, මනම්පිටිය, මාදුරුඔය යන වනජීවී නිලධාරීන්ට විශාල වෙහෙසක් සහ අමතර වියදමක් දැරීමට සිදුව තිබේ. පසුගිය සතියේ වාර්තා වුණේ ඉසෙඩ් ඩී ඇළට වැටී ඇළ දිගේ කිලෝමීටර් 17ක් ගමන් කිරීමට සිදුවුණු අලියකු ගැනයි.

පසුගියදා දිගු චාරිකාවක් ගිය අලියා වැලිකන්ද මල්විල ප්‍රදේශයෙන් ඇළට වැටී සිටියේය.  මෙම අලියා කිලෝමීටර් දාහතක් පමණ ජලයේ සැඩපාරට ගසාගෙන යාමට සිදුවුණේ ජිවිතය බේරාගැනීමේ කාර්යය වෙනුවෙනි. ඒ යන අතරතුරේ සොරොව්වක සිරවී පැයක පමණ කාලයක් සිටි බවත් වැලිකන්ද අඩවි සහකාර කේ.ඩී. ජානක සඳහන් කළේය. එම අලියා කාසන් වැව අසලින් ගොඩට ගැනීමට වැලිකන්ද වනජීවී කාර්යාලයේ නිලධාරීහු විශාල මෙහෙයුමක් දියත් කළහ. සාමාන්‍යයෙන් අලියකු වැටුණු පසු ඉසෙඩ් ඩී ඇළේ ජලය නිදහස් කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියටත් පැමිණීමට සිදුවන අතර ඒ සඳහා අමතර ඉන්ධන වියදමක්ද මිනිස් ශ්‍රමයක්ද වැයවන ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.

ජලයේ සැඩ පහරත් දෙපස ඇති කොන්ක්‍රීට් බැමිවල ආනතිය නිසාත් අලින්ට තබා මිනිසකුටවත් ගොඩට ඒමට අපහසුය. එමෙන්ම අනතුරට පත්ව ඇළට වැටී සිටින කිසිවෙකුට එල්ලී ගොඩට ඒමට තරම් එහි කිසිදු ආධාරයක්ද නොමැත. මුල් කාලයේ නඩත්තු කටයුතුවලට ඇළට බැසීමට සවිකළ යකඩ අල්ලුද මේ වනවිට දිරා ගොසිනි. වන අලි මෙන්ම අවට ජනතාවද මෙම ඇළට නිතර වැටෙන බව වාර්තා වන අතර වනජීවී නිලධාරීන් අලි ඇතුන් බේරාගැනීමට කැපවී සිටිති. නමුත් මිනිස් ජීවිත විශාල  සංඛ්‍යාවක් මේ වනවිට ඇළ පතුලේ සැඟව ගොස් තිබේ. මෙම ඇළ ගොවීන්ට විශාල සම්පතකි. මහවැලි බී කලාපයේ කුඹුරුවලට ජලය සපයන්නේ ඇළ මගිනි.

ඉසෙඩ් ඩී ඇළේ ස්ථාන 10ක හෝ කොන්ක්‍රීට් පඩි පෙළවල් තැනීම සිදුකළහොත් රාජ්‍ය ආයතනවලට අලි ගොඩගැනීමට අමතර වියදම් නොයන බවත්, අලියා ස්වෝත්සාහයෙන්ම එම ස්ථානවලින් ගොඩඒමට කටයුතු කරන බවද ප්‍රදේශවාසීහු පවසති. එසේ නොමැති නම් වනජීවී නිලධාරීන්හට ස්ථිර බොක්ස්බාර් වලින් යකඩ පඩිපෙළ සකසා දුන්නොත් එම පඩිපෙළ ඇළ පතුලට දමා අලියාට ගොඩඒමට පහසුවක් සැලසීමට හැකි බවද ඔවුහු සඳහන් කරති. මේ අලියා බේරාගැනීමේ මෙහෙයුමට එක්වූ වැලිකන්ද වනජීවී අඩවි සහකාර කේ.ඩී. ජානක ඒ ගැන දේශයට පැවසුවේ මෙසේය.

''අලියා වැටිලා තියෙන්නෙ අලිමංකඩ හරහා මාරුවීම සිදුවෙද්දී. උන් විශාල වශයෙන් මාරු වනවිට කලබලයට පත්වූ සතුන් තමයි මේ විදිහට ඇළට වැටෙන්නේ. අපි අලි ගොඩ ගැනීමට අලි කඹ සහ ටයර් බැඳ ඇළට දමා උත්සාහ කරනවා. මේ අලියාට ටයර්වලට කකුල් තබා ගොඩඒමට හැකිවුණේ නැහැ. පැය හතරක් විතර ඒ සඳහා උත්සාහ කළා. ඊටපස්සේ අපි තීරණය කළේ කාසන් වැව දක්වා අලියා ඇළ දිගේ රුගෙන යාමටයි. නැත්නම් ඌ අනතුරට පත්වීමට ඉඩ තිබුණා. අලියා ආපසු නොහැරෙන ලෙස අලි වෙඩි දමමින් ඌ ඉදිරියටම පලවා හැරීම සිදුකළා. පසුව කාසන් වැව අසලින් ඇළේ කොන්ක්‍රීට් බෑවුම ඉවත්වන නිසා අලියාට ගොඩට එන්න පුළුවන් වුණා. මේ මෙහෙයුමට පැය අටක් පමණ ගියා. අලියා සෝමාවතිය කැලේට පන්නා දැම්මා. ඇත්තටම මේ ඇළට කොන්ක්‍රීට් ආධාරක සවිකරනවා නම් අලින්ට පහසුවෙන් ගොඩ එන්න අවස්ථාව ලැබෙනවා.''

1983 වර්ෂයේදී ඇමරිකන් කොන්ත්‍රාත් සමාගම් දෙකක් යටතේ වැඩ ආරම්භ වූ මාදුරු ඔය ජලාශය හා ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළේ වැඩ නිමවන්නේ 1985දීයි. කුඩා ඔය සහ සෙවනපිටිය ප්‍රදේශවලින් උමං මාර්ග දෙකක් හරහා ‍පොළව යටින් ඇළ ගමන් කරයි.   මනම්පිටිය නගරය පසුකර මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 8ක් පමණ ගිය පසු සෙවනපිටිය නගරය ආසන්නයේ උමං මාර්ගයෙන් උඩට මතුවන ඉසෙඩ් ඇළ මඩකලපුව හන්දියේ සිට අරලගංවිල දෙසට කිලෝමීටර් 8ක් පමණ යනවිට මැදගම නගරය ආසන්නයෙන් ගලා බසී. මේ අවට නිතර අලිඇතුන් ගැවසෙන අලිමංකඩ රාශියක් පිහිටා තිබේ. අලින්ට මාදුරුඔය වනයේ සිට සෝමාවතිය වනාන්තරයට මාරුවීමට සිදුව ඇත්තේ ඇළ හරහාය.

ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට එම නම වැටී ඇත්තේ ඉදිකිරීම් කටයුතු කළ ඇමෙරිකන් කොන්ත්‍රාත් සමාගම් දෙකෙහි නාමයේ ඉංග්‍රීසි මුල් අකුරු දෙක භාවිතයෙනි. සැච්රි හා ඩිලිංහෑම් (ZECHRI -DILINHEM) යන සමාගම් දෙක යටතේ මෙම ඇළේ ඉදිකිරීම් කටයුතු අවසන් කර තිබේ. මෙම ඇළ මාර්ගය නඩත්තු කටයුතු කිරීමට ඉදිකර ඇති පටු මාර්ගයද ජනතාවගේ ගමන් මාර්ගයක් බවට පත්කර ගෙන ඇති අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් එම මාර්ගයේ බරවාහන ඇතුළු සෙසු වාහනවලට ගමන් කිරීම තහනම් කර තිබේ. නමුත් අවට බොහෝ පිරිසක් එම පාර භාවිත කරති. මේ නිසා අනාරක්ෂිතව පවතින ඇළට ට්‍රුක්ටර්, යතුරුපැදි, පාපැදි මෙන්ම අනෙකුත් වාහන වැටී අනතුරට පත්වීමෙන් ජීවිත රාශියක් විනාශ වී තිබේ. ඇළ දෙපස එය තැනූ මුල් කාලයේ ආරක්ෂිත වැටක් ස්ථාන කිහිපයකින් සවිකර තිබූ අතර එය හොරුන් විසින් ගලවා ගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කර සිටී.

මේ අතර 2020 අප්‍රේල් 29දා අරලගංවිල ඇල්ලේවැව ප‍්‍රදේශයෙන් වැටුණ වන අලියකු අරලගංවිල වීරාන ප‍්‍රදේශයෙන් තනියම ගොඩවී වීරාන රක්ෂිතයට පලායාමට සමත් වූ බව වාර්තා විය. එය කලාතුරකින් සිදුවන දෙයක් බව වනජීවී නිලධාරීහු කියති. පසුගිය කාලය තුළම එසේ ස්වෝත්සාහයෙන් ඇළෙන් ගොඩ ඒමට හැකිවී තිබෙන්නේ අලි දෙදෙනකුට පමණි.

(පසුබිම් පුවත් සහ සේයාරූ - මනම්පිටිය නිමල් ජයරත්න)   

 කුසුම්සිරි විජයවර්ධන