2022 දෙසැම්බර් 18 වන ඉරිදා

පේරාදෙණිය සරසවි බිම යුද පිටියක් කළ ගැටුම

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 60

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු පවුලේ සාමාජිකයන්ට පහර දුන් බවට හඳුනාගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසකි. ලංකාවේ පැරණිතම විශ්වවිද්‍යාලයක් මෙන්ම ලොව හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය තුළ නම් දැරෑ පේරාදෙණිය විශ්වවිද්‍යාලය නවක වදය අතරද ඉදිරියෙන් සිටී. එවැනි සුළුතර ශිෂ්‍ය පිරිසක නොමනා හැසිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයට කැළලක් වී තිබේ.

සිසු සිසුවියන් 12,000ක් පමණ ඉගෙනුම ලබන විශ්වවිද්‍යාලයේ සුළුතර පිරිසකගේ එවැනි නොමනා හැසිරීමක් වාර්තා වූයේ ඉකුත් 9 වැනිදාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හිටපු උප කුලපති අතුල සේනාරත්න මහතා හා ඔහුගේ පුත්‍ර විදුර සේනාරත්න විශ්වවිද්‍යාල භූමියේදී සිසුන් පිරිසකගේ පහර කෑමට ලක්ව ප්‍රතිකාර සඳහා මහනුවර හා පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර තිබුණි.

අදාළ පහරදීම වාර්තා වූ පසුගිය 9 වැනිදා රාත්‍රී 9.30ට පමණ මහාචාර්යවරයාගේ පුත්‍රයා සිය මෝටර් රථය පදවාගෙන පියාගේ නිවෙසට දෙසට ගොස් ඇතැයි කියති. ඒ යන අතරමග මඩ වතුර පිරුණු අබලන් පෙදෙසකි. එම මාර්ගය පසෙක විශ්වවිද්‍යාලයට පිටතින් පැමිණ නවත්වන ලද බස් රථ කිහිපයකි. ඊට නුදුරින් යතුරුපැදි දෙකක් නවතා තිබුණේ මාර්ගයේ වෙනත් වාහනයක් ගමන් ගැනීමට තරම් ඉඩක් නොතබමිනි. මෝටර් රථය ධාවනය සඳහා ප්‍රමාණවත් ඉඩක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් රථයේ නලාව දෙවතාවක් පමණ නාද කළ විදුර සේනාරත්න මොහොතක් බලා සිටියේය. එහෙත් යතුරුපැදි හිමිකරුවන් හෝ වෙනත් අයෙක් එතැනට පැමිණියේ නැත. එබැවින් මෝටර් රථයෙන් බිමට බැසගත් විදුර සේනාරත්න යතුරුපැදිය මාර්ගයෙන් පසෙකට කරන්නට උත්සාහ කළේය. එහිදී යතුරුපැදියේ බරත් සමඟ සිය පාලනයෙන් ගිලිහී ගිය යතුරුපැදිය පෙරළී තිබුණේ අසල නවතා තිබූ වෙනත් යතුරුපැදියක් මතටය. 

යතුරුපැදි දෙකම එක ගොඩට ඇද වැටුණේ නොසිතුව ලෙසය. ඒ දෙසට එමින් සිටි යතුරුපැදි අයිතිකරුවකු සිතා ඇත්තේ මෝටර් රථ රියැදුරු සිතාමතාම යතුරුපැදි දෙක බිම පෙරළා දැමූ බවකි. එසේ පැමිණි තරුණයා මෝටර් රථ රියැදුරුට පරුෂ වචනයෙන් බැණ වදිමින් මෝටර් රථය දෙසට දිව ගියේය. බියට පත් මෝටර් රථයේ සිටි විදුර සේනාරත්න රථය වේගයෙන් පදවාගෙන යන්නට වූ අතර සැණෙකින් ගල් මුල් පහර කිහිපයක් මෝටර් රථය දෙසට වදින්නට විය.

කලබලය මැද වේගයෙන් පදවා ගිය මෝටර් රථය ධාවනය කොට තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිල නිවෙස දෙසටය. නිවෙස ආසන්නයේදී මෝටර් රථය නවත්වා විදුර සේනාරත්න බිමට බැස තිබුණේ මෝටර් රථයට ගල් ගසන්නේ ඇයිදැයි ඇසීමට හා යතුරුපැදිය පෙරළීමෙන් අලාභයක් වූයේ නම් ඒ පිළිබඳව කතිකා කිරීමටය. ඊට අවස්ථාවක් ලැබෙන්නට පෙර හතරවටින් පැමිණි තරුණ පිරිසක් විදුරට පහර දී ඇතැයි පැවසේ. මේ ගාලගෝට්ටිය ඇසුණු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා නිවෙස ඉදිරිපිටට එද්දී සිය පුතුට පහරදෙනු දැක ඔහු බේරාගැනීමට දුවගොස් පුතා බදාගෙන ඇතැයි කියති. එහිදී කෝපයෙන් සිටි පිරිස පිය පුතු දෙපළටම පහර දී තිබුණි. කෙසේ හෝ මහාචාර්යවරයා හා පුත්‍රයා නිවෙස තුළට ගොස් දොර වසා තිබෙන අතර ඒ වනවිට නිවෙසේ අතුල සේනාරත්න මහතාගේ මිත්‍රයන් දෙදෙනකු, බිරිය හා මෙහෙකාරියන් දෙදෙනකු සිට තිබුණි. ඔවුන් අතරින් බිරියට හා මෙහෙකාරියන් දෙදෙනාට ද තරුණ පිරිස විසින් හිරිහැර කර ඇතැයි පැවසේ.

මේ අතර නිවෙසේ දොර වසා තිබියදී ඉදිරිපස දොර කඩා නිවෙසට පිවිසෙන්නට එම පිරිස උත්සාහ කර තිබූ අතර එය වැළැක්වුණු තැන පසුපස දොර කඩා නිවෙසට ඇතුළු වී දේපළවලටද හානි කරන්නට ද ඔවුන් ක්‍රියා කර තිබුණි. මේ මොහොතේ තවත් පිටස්තර තරුණයන් 200 දෙනෙක් පමණ පැමිණ මහාචාර්යවරයාගේ නිවෙස වටකොට ඔහුගේ පුත්‍රයා එළියට එවන ලෙස පරුෂ වචනයෙන් බැණ වැදුණහ. එම පාර්ශ්වය කියා තිබුණේ පුත්‍රයාට එළියට පැමිණ සිදුවූ වරද වෙනුවෙන් වැඳ සමාව ගත යුතු බවකි. මේ මොහොතේ විශ්වවිද්‍යාල ආරක්ෂක අංශය හා පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් පිරිසක්ද පැමිණ ගැටුම මැඩපැවැත්වීමට උත්සාහ දරා තිබුණි.

එහෙත් බරපතළ ලෙස පහරකෑමට ලක්වූ විදුර සේනාරත්න මහතාගේ ඇසකට හා පිටකොන්ද ආශ්‍රිතව තැලුම් තුවාල සිදුව තිබුණි. එමෙන්ම මහාචාර්යවරයා පහරකෑමට ලක්ව තිබූ බැවින් ඔවුන්ට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් හදිසි ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව පේරාදෙණිය හා මහනුවර රෝහල් වෙත ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි.

මේ අතර විශ්වවිද්‍යාල ආරංචි මාර්ග වාර්තා කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නව තනතුරු පත්කිරීම් සිදු කර තිබීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය පරිශ්‍රයේ ඔවුන් සාදයක් පවත්වා ඇති බවය. මාර්ගය අවහිර වන ලෙස නවතා තබා තිබුණේ ඒ සඳහා පැමිණි යතුරුපැදි දෙකක් බව කියති.

මේ පිළිබඳ අදහස් දැක්වූ පහරකෑමට ලක්වූ විදුර සේනාරත්න මහතා ''තාත්තාගේ ගෙදරට යන පාරේ බයික් එකක් තිබුණා. ඒකෙන් පාර අවහිරවෙලා තිබුණා. මම වාහනයෙන් බැහැලා ඒක ඉවත් කරන්න හැදුවා. ඒක හසුරුවා ගන්න බැරුව ළඟ තිබුණු බයික් එක උඩට වැටුණා. මම එතනින් වාහනය ගන්න යද්දි කුණුහරුප කියාගෙන පන්නාගෙන ආවා. ගල් මුල් එහෙමත් ගැහුවා. අලාභය ගෙවන්න හරි, කතා කරන්න කියලා මම වාහනය නැවැත්තුවා. ඒ වෙලාවෙ 20ක් විතර ඇවිත් මට ගැහුවා. මම බේරාගන්න ආපු තාත්තාටත් ඔවුන් පහර දුන්නා.'' යැයි පැවසීය.

මේ අතර සිදුවීම පිළිබඳ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මෙසේ පැවසීය.

''පුතා ආවට පස්සෙ ගෙදර දොරවල් කඩාගෙන ඒ අය ඇතුළට එන්න හැදුවා. ඉස්සරහ දොරෙන් බැරිවුණාම පස්ස දොරෙන් එන්න හැදුවා. ඒ වෙද්දිත් අපිට ගොඩක් හානි කරලා තිබුණේ. මගේ බිරිඳට වගේම ගෙදර මෙහෙකාරියන් දෙදෙනාටත් ඔවුන් හිරිහැර කළා. මට ඒ තරම් තුවාල නැතත් කොන්ද රිදෙනවා. විශ්වවිද්‍යාල ජීවිතයේ අවුරුදු 43ක් සේවය කළා. ඒත් දරුවො මෙහෙම කුණුහරුප කියලා හැසිරෙනවා දැක්කමයි. මේ පිළිබඳව පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදු කළා.''
මෙම පහරදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමෙන් පරීක්ෂණයක් සිදු කර තිබෙන අතර එහිදී සිසුන් 12 දෙනකු හඳුනාගෙන ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට පියවර ගත් බව විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා කීය.

මේ අතර අදාළ පහරදීම, නිවෙසට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් වෙතින් ප්‍රකාශයක් බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමිති සම්මේලනය දන්වා තිබුණි. එමෙන්ම ශාස්ත්‍ර පීඨය ප්‍රධානව ආචාර්යවරු වැඩවර්ජනයක් ද ආරම්භ කළහ. මේ අතර පහරදීම පිළිබඳව නීතිය අකුරටම ක්‍රියා කරන ලෙස ඉල්ලීමක් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. 

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගකිවයුතු බලධාරීන්ට උපදෙස් ලබා දී තිබිණි. එම වාර්තාව ලැබුණු පසුව අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ඒ මහතා තීරණය කර ඇත. මීට ඉහතදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදය හා සිසුන්ට පහරදීම හා පීඨාධිපති ප්‍රභාත් ඒකනායක මහතාට තර්ජනය කිරීම පිළිබඳව පොලිසියට පැමිණිලි යොමුකර ඇතත් ඒ පිළිබඳ නිසි නීතිමය පියවරක් ගෙන නැති බවද වාර්තා වේ.

මේ පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් තත්සර මෙසේ පැවසීය.

''ශිෂ්‍ය පිරිසක් ගැටුමක් ඇති කරගෙන තිබුණේ උප කුලපතිවරයෙක්ගෙ පුතෙක් සමඟ නොවේ බීමත්ව අපරීක්ෂාකාරී විදිහට රිය ධාවනය කළ උද්දච්ඡ මනුස්සයෙක් සමඟ. ඔහු උප කුලපතිවරයාගේ පුතකු බව දැනගන්නකොට ගැටුම දුර ගිහින්. ඔහු යතුරුපැදි දෙකකට පහර දෙනවා. ඒවා බිම පෙරළනවා. ඒක දැකපු ළමයි ගිහින් ඔහුව නවත්වාගෙන ප්‍රශ්න කරනවා. එතකොට බීමත් පුද්ගලයා ''මේක අපේ තාත්තගේ කැම්පස් එක. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්.'' කියලා ගැටුමක් ඇතිකර ගන්නවා. පස්සේ සරසවි විනය සලකා උප කුලපති පොලිසිය ශිෂ්‍ය සංගමය විදිහට අපිත් මැදිහත් වුණා. ශිෂ්‍යයන්ගෙන් පළිගන්නෙ නැතිව අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ගැටුම වෙලාවෙ හිටපු නැති ශිෂ්‍යයෙක් මේ වෙද්දි අත්අඩංගුවට අරගෙන තිබෙනවා.''

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04