මහ වන මැද ජීවත් වූ නව යොවුන් ඉසිසිංග නම් තාපසයෙකි. ඔහු කිසිදා ස්ත්‍රියක දැක නොසිටි අතර කිසිදා ස්ත්‍රියක පිළිබඳ අසා ද නැත්තේය. වනයට පැමිණි නලිනි නම් පිරිපුන් යොවුන් රාජ කුමාරියකගේ නිරුවත් සිරුර ජීවිතයේ මුල්වරට ඔහු දුටුවේය. මුව දෙනකුගේ කුසින් ඉපදුණු ඉසිසිංග තාපස කුමාරයා නිරුවත් කාන්තා ශරීරයෙන් දැහැන් බිඳි තමා දුටු කාන්තා ශරීරයේ එක් එක් අංග පිළිබඳව තම තවුස් පියාණන් සොයා ගොස් දීර්ඝ විස්තරයක් කරන්නේය. එම සංවාදය ජාතික පුවත්පතක පළ කිරීමට නුසුදුසුය.
අපේ රටේ සමාජ සම්මතය අනුව ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ කතා කිරීමට නුසුදුසු අසභ්‍ය වචනයකි. එය සංස්කෘතිය නමැති බැම්මකින් වැසුණු ජීව විද්‍යා පෙළපොත්වල ප්‍රජනනය පාඩමට පමණක් කොටු වී තිබෙන දෙයක් වන්නේය. එහෙයින් ලිංගිකත්වය එළිපිට කතා නොකරන තේමාවකි. එහෙත් මෙරට සංස්කෘතියේදී ලිංගිකත්වය ප්‍රසිද්ධියේ සංවාදයට බඳුන් කළ සහ ලිංගික අධ්‍යාපනයක් ලබා දුන් බවට නිදසුන් ඕනෑ තරම් තිබේ. පන්සිය පනස් ජාතක පොතේ ඉහතින් දැක්වූ නලිනිකා ජාතකය එයට හොඳම නිදසුනයි. මෙය ජාතක කතාවක් වූවාට මෙය වර්තමාන සමාජයේ කෙතරම් දුරට විවෘතව කතා කිරීමට හැකිදැයි මතුවන්නේ ප්‍රශ්නයකි. එවන් පරිසරයක ගූගල් සෙවුම් මෘදුකාංගයෙන් සෙක්ස් හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් මෙවරත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව ඇතැයි එම සමාගම නිකුත් කළ නව දත්තවලින් (Google Trend) පෙන්වා දෙයි.
මෙම විශේෂාංගය ලියන මොහොත වනවිට එම දර්ශකයේ දෙවැනි ස්ථානය වියට්නාමයටත්, තෙවැනි ස්ථානය බංග්ලාදේශයටත් හිමි වී ඇත. ඉතියෝපියාවට සිව්වැනි ස්ථානය හිමිව ඇති අතර පස්වැනි ස්ථානය හිමිව ඇත්තේ අසල්වැසි ඉන්දියාවටය. අමෙරිකාව 42 වැනි ස්ථානයද, පාසල් අධ්‍යාපනයේ පටන් ලිංගික අධ්‍යාපනය උගන්වන ස්විඩනය 50 වැනි ස්ථානය සහ ජර්මනිය 36 වැනි ස්ථානය ද වන අතර 52 වැනි ස්ථානය හිමි වී ඇත්තේ ප්‍රංශයටය. ලිංගික අධ්‍යාපනය වරප්‍රසාදිතව පවතින ජපානයට 58 වැනි ස්ථානය හිමි වී තිබේ. මෙම ලිපියේ අරමුණ පනින රිලවුන්ට ඉනිමං බැඳීමට නොවන අතර ලංකාවේ මිනිසුන් මේ තරමට ලිංගික කාරණා පරිශීලනය කරන්නේ ඇයි? යන්න විමසා බැලීමය. ගූගල් සෙවුම් දත්ත දර්ශක වාර්තාවට අනුව මෙරට ලිංගිකත්වය සෙවීම පිළිබඳ වැඩිම උනන්දුව වාර්තා වන්නේ උතුරුමැද පළාතෙනි. උතුරු පළාත දෙවැනි ස්ථානයටත්, ඌව පළාත තුන්වැනි ස්ථානයටත්, සිව්වැනි ස්ථානය නැගෙනහිර පළාතටත්, පස්වැනි ස්ථානය සබරගමුව පළාතටත් හිමි වී තිබේ. වයඹ පළාතටත්, බස්නාහිර පළාතටත් හිමි වී ඇත්තේ අවසන් අවස්ථාවන්ය.
එම දර්ශකයට අනුව අන්තර්ජාලය හරහා ලිංගික කාරණා සෙවීම සම්බන්ධයෙන් ඒ ඒ පළාත්වල වැඩිම පිරිසක් සිටින ප්‍රදේශ වෙන වෙනම දක්වා තිබේ. අනුපිළිවෙළින් ඒවා මෙසේය.
උතුරු මැද පළාතේ ලිංගික කාරණා සෙවීම වැඩිපුරම භාවිත කර ඇති නගර පහ පිළිවෙළින් තන්තිරිමලේ, දම්මින්න, ඔත්තප්පුව, යකල්ල සහ මහවිලච්චිය වෙයි.
උතුරු පළාතේ ඉසයිමලයිතල්වු, දෙවිපුරම්, ඉරුදුමඩු, වට්ටප්පලයි, පරන්තන් ඒ අතර වෙයි.
ඌව පළාතේ බක්මිටියාව, රිදීමාලියද්ද, මීගහජදුර, කුඩා ඔය, හුලංදාව, සියඹලාණ්ඩුව වෙයි.
නැගෙනහිර පළාතේ සූරියපුර, කායන්කුඩා, තෝපූර්, පාන්කුලම් සහ සෝමපුර වෙයි. සබරගමුව පළාතේ ගගුල්විටිය, දයිගල, මඩලගම, පනාමුරේ සහ ගුරුගල්ල ලැයිස්තුවේ ඉදිරියෙන් සිටී.
වයඹ පළාතේ මහගල්කඩවල, තම්මැන්නාවැටිය, විල්පත, හඳපාන්වල සහ ඉහළ පුලියන්කුලම ඉදිරියෙන්ම ඇත.
බස්නාහිර පළාතේ හෝමාගම, වලල්ලාවිට, බුලත්සිංහල, වේයන්ගල්ල, ඉංගිරිය, සීතාවකපුර, වග, ගම්පහ, මීරිගම, ලැයිස්තුවේ ඉදිරියෙන් තිබේ.
ඉහත කී ගම් නියම්ගම්වල ස්වභාවය සැසඳීමේදී එය වෙනමම ලිපියකින් දීර්ඝව කතා කළ හැකි සමාජ ප්‍රශ්නයක් වන්නේය.
ගූගල් සෙවුම් මෘදුකාංගයේ වාර්තාව අනුව සෙක්ස් යන වචනය ඇසුරෙන් පරිශීලක වැඩිම ප්‍රමාණයක් සිටින රට ලෙස ශ්‍රී ලංකාව ලෙස හැඳින්වුවද විදෙස් රටවල් බොහොමයක භාවිත කරනුයේ සෙක්ස් යන වචනය වෙනුවට වෙනත් නාමයක්ය. එම වචනය ශ්‍රී ලංකාවට ආගන්තුක වන්නට පුළුවන. එහෙත් එම නාමය භාවිතයෙන් ලිංගිකත්වය සෙවූ වැඩිම පිරිසක් සිටින රට වනුයේ නේපාලයයි. එම වචනවලට අනුව ශ්‍රී ලංකාවට හිමි වනුයේ 14 වැනි ස්ථානයයි. අපේ අයියලා ඒ නම දැන සිටියා නම් නේපාලයට කප් ගැසීමත් හීනයක්ම වනු නිසැකය.
ආසියානු ජන සමාජය ලිංගිකත්වය පිළිබඳ විවෘත සංවාද බැහැර කරයි. එය අතිශය පෞද්ගලික කරුණක් බව සිතති. එසේම එය පාපයක් බවද සිතති. එහෙත් සමාජය ඉදිරියේ සුදු ඇඳගත් මිනිසා සමාජයට සඟවන ලිංගික කැමැත්ත, ආශාව මනෝවිද්‍යාඥ සිග්මන් ප්‍රොයිඩ් පෙන්වා දුන් මහ මුහුදක පාවෙන අයිස් කන්දකට සමානය. එනම් පිටතට පෙනෙන කොටසට වඩා සැඟවුණු කොටස වැඩි වීමය. ආසියානු සංස්කෘතියේ ලිංගිකත්වයද එසේමය.
කොෂෙල්ස්කෝප් නමැති වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා සුව වූ සාශා නමැති රෝගියා වෛද්‍යවරයාට තිළිණයක් ලෙස වැටපහනක් ලබා දෙයි. බ්‍රෝන්ස්වලින් නිමවූ එම වැටපහනේ වූයේ උපන්ගෙයි ඇඳුමෙන් සිටගෙන සිටින කාන්තාවන් දෙදෙනෙකි. එහෙත් ඔහු එම තිළිණයට කෙතරම් ආශා කළත් එය ළඟ තබාගැනීම ප්‍රතික්ෂේප කරනුයේ අකැමැත්තෙනි. ඒ මෙම නිරුවත් මූර්තිය සමාජය දැකීමෙන් ඔහුගේ වෘත්තීයමය සමාජ තත්ත්වයට හානි වෙතැයි බියෙනි. ඉහත සිද්ධි දාමය ඇන්ටන් චෙකොෆ්ගේ “කලා කෘතිය” කෙටි කතාවෙනි. ආසියානු සංස්කෘතික මිනිසා නිරුවතට මෙන්ම ලිංගිකත්වයට කෙතරම් ඇළුම් කළද සමාජය ඉදිරියේ තම කැමැත්ත නිරාවරණය වනවාට අකැමැතිය. එයට හොඳම නිදසුන වන්නේ මෙම ගූගල් සමාගමේ සමීක්ෂණ ප්‍රතිඵලයයි. එක් අතකට මෙය හිතේ තිබෙන හැඟීම් මෙන්ම පීඩනයද පිට කිරීමකි.
අන්තර්ජාලයේ ලිංගික දර්ශන පරිශීලනය කරන්නවුන් අතර පිරිමින් මෙන්ම තරුණියෝ ද කාන්තාවෝ ද සිටිති. වර්තමාන සමාජයේ විධිමත් ලිංගික අධ්‍යාපනය වසන් කිරීමෙන් ඔවුහු අවිධිමත් ආකාරයෙන් ලිංගික අධ්‍යාපනය ලබාගැනීමට පෙළඹෙති. මේ එහි ප්‍රතිඵලයකි. මෙරට සමාජයේ වර්තමානයේදී ලිංගික කාරණා ප්‍රසිද්ධියේ කතා කිරීමත් තහනම් වුවද අතීතයේදී ජන සංස්කෘතියේදී ලිංගික කාරණා ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ අවස්ථා ඕනෑ තරම් දැකිය හැකිය. පහතරට යකුම හෙවත් රිද්දි යාගයේ නානුමුරය යනු සහ විවාහ අපේක්ෂාවෙන් පසුවන්නන්ටත්, දරු ඵල අපේක්ෂාවෙන් පසුවන නවක විවාහකයන්ටත්, දරු ඵල අහිමි යුවළවලටත් ලිංගික කාර්යය මනාව පවත්වා ගැනීමට කරන විධිමත් මාර්ගෝපදේශනයකි. වන්නිහත්පත්තුවේ වැහි බලි යාගය මෙන්ම අං කෙළියද එවැනි ලිංගිකත්වය විදහා පාන සංස්කෘතික ජන ක්‍රීඩාවකි.
ලංකාවේ මිනිසුන් මේ තරමට සෙක්ස් (Sex) හොයන්නේ ඇයි? මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා මෙසේ පැහැදිලි කළේය.
“ලිංගික දර්ශන නැරඹීම ලොව බොහෝ රටවල සිදුවන සුලබ දෙයක්. අන්තර්ජාලය ඔස්සේ ලිංගික දර්ශන නැරඹීමේදී එම දර්ශන සෙවීමට විවිධ රටවල ලිංගිකත්වය යන අරුත හැඟවෙන විවිධ වචන භාවිත කරනවා විය හැකිය. අපේ රටේ 'සෙක්ස්' යන වදන වැඩිපුර භාවිත කිරීමත් ලෝකයෙන්ම පළමු තැනට පත්වීමට හේතුවක් වීමටද පුළුවන. නව යොවුන් විය හෝර්මෝන වෙනස්වීම් සමඟ ලිංගික කාරණා සම්බන්ධයෙන් කරුණු සෙවීමටත්, විවිධ දර්ශන නැරඹීමටත් කුතුහලය ඇතිවෙයි. ද්විතීක ලිංගික ලක්ෂණ අනුව විරුද්ධ ලිංගික ආකර්ශනය වැඩි වෙයි. ලංකාව වැනි රටවල මෙවැනි ලිංගික අත්දැකීම්වලදී අන්තර්ජාලය භාවිත කිරීම බහුල වශයෙන් සිදුවෙයි. වර්තමාන තාක්ෂණ දියුණු සමාජයේ ස්මාර්ට් ජංගම දුරකතන සෑම තරුණ තරුණියකම සතු වෙයි. එහෙයින් අතීතයට වඩා වර්තමානයේ මෙවැනි පෙළඹවීම්වලට යොමුවීමේ සම්භාවිතාව ඉහළය. මෙවැනි ලිංගික දර්ශන නැරඹීමේ දැඩි අවදානමක් තිබේ. යම් පුද්ගලයකු මෙම ලිංගික දර්ශන දිගින් දිගට නැරඹීමෙන් ඇබ්බැහිවීමක් සිදුවීමට පුළුවන. මේ හේතුවෙන් එදිනෙදා වැඩ කටයුතු, සිය යුතුකම්, පුද්ගල සම්බන්ධතා මගහැරී යාමටද ඉඩ තිබේ. කුඩා දරුවන් මෙම ලිංගික දර්ශන නැරඹීමෙන් දරුවන්ට ලිංගිකත්වය පිළිබඳ නිසි අවබෝධයක් නොලැබෙයි. එයින් කුඩා මනස් විකෘති තත්ත්වයට පත්වීමටත් එය අනාගතයේදී ඔවුන් වැඩිහිටියන් තත්ත්වයට පත්වුවත් බලපායි.” යැයි මනෝ වෛද්‍ය විශේෂඥ රෑබන් මහතා පැවසුවේය.
මේ ආකාරයට ලිංගිකත්වය සෙවීම පෞද්ගලික කාරණයකැයි යමකුට තර්ක කළ හැකිය. එම මානව අයිතියට අපි ගරු කරමු. එහෙත් අවිධිමත් ක්‍රමවේද මගින් ලිංගික අධ්‍යාපනය ලැබීමෙන් දැඩි අවදානමක් ඇති බවද අපි නොසඟවා පවසමු.
I සසංක චලන ගිම්හාන