ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාවකාලික ණය සංචිත පහසුව 2023 වසර තෙක් කල් ගතවිය හැකි බව අනාවරණය වේ. මෙම වසරේ ඉතිරි වී ඇති දින කිහිපය තුළ වැදගත් තීරණයක් ගැනෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. ශ‍්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයක් හමුවේ පසුවන අතර පළමු වතාවට ජාත්‍යන්තර ණය ගෙවා ගත නොහැකි බව ප‍්‍රසිද්ධ කළේය. ඉකුත් අප්‍රේල් 12 වැනිදා සිට අද දක්වා ජාත්‍යන්තර ණය නොගෙවන සහ ලැබෙන විනිමයවලින් එදිනෙදා ජීවත්වන ක‍්‍රමයක් අනුගමනය කෙරේ. සංවර්ධනය සඳහා ලබාගත් ණය ආපසු නොගෙවීම ඒවා සපයන ලද පාර්ශ්වවලට බලවත් ප‍්‍රශ්නයකි. ශ‍්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය පලුදු වන හේතුවකි. ණය ගෙවීම සඳහා අවශ්‍ය කරන ජවය සම්පාදනය කරගත යුතුව ඇති අතර මූල්‍ය අරමුදලේ සහාය එයට මහෝපකාරී වේ. ආකෘතියකට අනුව රට සකස් වූ පසු ජාත්‍යන්තරය නැවත දිනාගත හැකිවේ.
ණය ආපසු ගෙවීම සඳහා සැලැස්මක් සකස්කරගත යුතුව ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සඳහා ලෝකයේ පිළිගත් සමාගමක සහාය ලබාගත යුතු බව නිර්දේශ කරන ලදී. ශ‍්‍රී ලංකාව ප‍්‍රංශයේ මුලස්ථානය කරගත් ලසාඩ් ආයතනය මෙහිදී මූල්‍ය උපදේශකත්වයට තෝරාගත් අතර ජාත්‍යන්තර නීතිඥ සමාගමක් වන ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනය නීති කටයුතු සඳහා එකතු කරගෙන ඇත.
• ණය සංචිතය සඳහා රට තුළ මූල්‍ය විනයක්
ණය ගෙවා ගත නොහැකිව සිටින ශ‍්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය සංචිතයක් මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරයි. මාණ්ඩලික මටට්මින් එකඟතාවයක් තිබේ. සපුරාගත යුතු කොන්දේසි ගණනාවකි. රට තුළ ආදායම හා වියදම පාලනය කරගත යුතුව ඇත. දුප්පත් ජනතාවගේ ආර්ථිකය නගා සිටුවිය යුතුවේ. අලාභ ලබන ව්‍යවසාය සම්බන්ධයෙන් තීරණ ගත යුතුව ඇත. විදුලිය, ඛනිජ තෙල්, ජලය ඇතුළු මූලික අංශවල පිරිවැය ආවරණය කරන විධිවිධාන අනුගමනය කරන්නට සිදුවේ.
විදුලිය බිල වැඩිකිරීම ඇතුළු ක‍්‍රියාමාර්ග එහි ප‍්‍රතිඵලයකි. මිල වැඩිකළ යුතු බවට මූල්‍ය අරමුදල නියම කර නැත. නිෂ්පාදන වියදම අඩු කරගතහොත් එය වාසියකි. සති දෙකකට කලින් දේශය ප‍්‍රවෘත්තියකින් අනාවරණය කළ පරිදි සුළං බලයෙන් පමණක් මෙගවොට් තිස් දහසක විදුලිය බලයක් නිපදවිය හැක. ශ‍්‍රී ලංකාවට සමීප මුහුදේ, පුනරීන් හා මන්නාරම අවට මෙම ස්ථාවර පද්ධතිය පවතී. මෙම සුළඟ භාවිත කළ හැකි විදුලි උත්පාදන ඒකක මුහුදේ පාවෙන සහ ගොඩබිම සවිකළ හැකි බව සොයාගෙන ඇත. එම විදුලිය ඒකකයකට වැයවන මුදල රුපියල් දෙකකටත් අඩු බව දැක්වේ. මෙම පරිවර්තනය කළහොත් විදුලිය බිල වැඩි කළ යුතු නැත. එහෙත් මේ ගැන තීරණ ගැනීමට වෘත්තීය සමිති විරුද්ධය. දේශපාලන පක්ෂ පාරට බසින බව දන්වා තිබේ. විදුලිය බල ඇමැතිවරයාට අනුව විදුලිය ඒකකයක වියදම රු. 59.90 කි. මෙම පිරිවැය දක්වා විදුලිය වැඩි කළ පසු මූල්‍ය අරමුදල ණය සංචිතය සපයන බව පෙනේ.
ණය ගෙවන ක‍්‍රමය ගැන නොසලකා ලබාගත් වාණිජ ණයවලින් පසු මුහුණ පා ඇති අර්බුදය බිහිසුණුය. උද්ධමනය දිනෙන් දින වේගයෙන් ඉහළ යමින් තිබේ. විනිමය අනුපාතකය අවප‍්‍රමාණය වීමේ වේගය අතින් ලෝකයේ තුන්වැනි තැනට පත්ව ඇත. මෙම වසරේ ආර්ථිකය ඍණ 9.4ක අගයක් වාර්තා කරනු ඇති අතර එය මෙරට ඉතිහාසයේ දරුණුම බිඳවැටීම සනිටුහන් කරන බව පුරෝකථනය වෙයි. ණය ප‍්‍රතිව්‍යුහකරණය අරඹා ඇති ශ‍්‍රී ලංකාව ක‍්‍රියාත්මක වන ආකාරය ගැන අප විමසිලිමත් විය යුතුය. අනතුර පහව ගොස් නැත. පහසුවක් ඇති බව පෙනෙන නමුත් ණය නොගෙවීම හේතුවෙන් ලැබී ඇති ඉස්පාසුව දිගින්දිගටම ප‍්‍රයෝජනයට ගැනීම භයානක ඉරණමකට අත වනනු ඇත.
• ලසාඩ් සාකච්ඡාවල වත්මන් තත්ත්වය
ගෙවාගත නොහැකි ණය පහසු ක‍්‍රමයකට ආපසු ගෙවීම අරමුණු කරගෙන ආරම්භ කළ සාකච්ඡා මිශ‍්‍ර ස්වභාවයක් ගෙන ඇත. චීනය මෙහි ප‍්‍රධාන සාධකයකි. ශ‍්‍රී ලංකාවේ විදේශ ණය ඇමරිකානු ඩොලර් බිලියන 36ක් පමණ වන අතර එයින් සියයට විස්සක් එනම් බිලියන 7.1ක් චීනයේ බැංකුවලට ගෙවිය යුතු බව දැක්වේ. ජපානයට ගෙවිය යුතු ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කි. සංවර්ධන බැඳුම්කර මිල දී ගත් ආයෝජන සමාගම්වලට ගෙවිය යුතු මුදලද ඇමරිකානු ඩොලර් බිලියන 9කි. යුරෝපා රටවල්, ජපානය හා ඉන්දියාව ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ගැන එකඟය. ඉකුත් මැයි 21 වැනිදා ණය කළමණාකරුවන් සමග ලසාඩ් ආයතනය සාකච්ඡා කළ අතර එහිදී මූලික අදහස් ප‍්‍රකාශ වී තිබේ.
කෙසේ නමුත් චීනය මෙහි බරපතල සාධකයකි. ලෝකයේ අනෙක් රටවල්වලට වෙනස් මතයක් චීනයට තිබිණි. චීන රජයට අයත් එක්සිම් හා ඩිවෙලොප්මන්ට් බැංකුවලට අයත් ණය නිසි පරිදි නොගෙවීම චීනයේ ණය ලබාගත් අනෙක් රටවලටද පූර්වාදර්ශයක් වනු ඇති බව චීන බලධාරීන්ගේ මතය විය. ශ‍්‍රී ලංකාවේ චීන තානාපතිවරයා එය නිල වශයෙන් ප‍්‍රකාශ කළේය. චීන ආණ්ඩුව ශ‍්‍රී ලංකාවට විශාල සහන ලබා දී ඇති අතර එම වාසිය තිබියදී ශ‍්‍රී ලංකාව මූල්‍ය අරමුදල වෙත ගොස් ණය නොගෙවීමට තීරණය කිරීම සාධාරණ නැති බව තානාපතිවරයාගේ තීන්දුව වශයෙන් ප‍්‍රකාශ කෙරිණ.
යුරෝපා රටවලට වෙනම හා චීනයේ ණයවලට වෙනම වශයෙන් තීන්දු දෙකක් ගැනීමෙන් ඇතිවන අවාසිය ගැන සෑහෙන වාද විවාද පැවැති අතර අවසානයේදී චීන බලධාරීන් සිය ස්ථාවරය වෙනස් කරගෙන ඇත. පසුගියදා චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනය අවසන් වූ අතර එහි නිල කටයුතුවලට පසු ප‍්‍රකාශයක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ අවශ්‍යතාව පරිදි තත්ත්වය ධනාත්මකව සලකා බලන්නට සූදානම් බව නිකුත්වීම වැදගත් අවකාශයකි.
• චීනයේ තීරණය
මූල්‍ය වාර්තා දක්වන පරිදි චීනය ලෝකයේ රටක් වශයෙන් විශාලතම ණය හිමියාය. රටවල් සෑහෙන ප‍්‍රමාණයකට ඇමරිකානු ඩොලර් බිලියන 11ක් පමණ ණය දී ඇත. රාජ්‍ය තාන්ත‍්‍රික ණය ගනුදෙනුවලින් සෑම ඩොලර් හතරකින්ම එකක් චීනයට අයත් බව කියැවේ. ආර්ථික අර්බුදය සමඟ චීනයේ ණයගත් රටවල් විශාල ප‍්‍රමාණයකට අහිතකර තත්ත්ව ඇති විය. එම රටවලට උපකාර කිරීමට චීනය නැඹුරු වූ බවද සඳහන් කළ යුතුය. ණය ගෙවන්නට අලුත් ණයක් නිකුත් කිරීම ඔවුන් අනුගමනය කළ ක‍්‍රමයයි. ජාත්‍යන්තර වාර්තා අනුව රටවල් 23ක් චීනයේ ණය ගෙවීම ප‍්‍රමාද කර ඇත. එයින් රටවල් 16ක් අප‍්‍රිකානු කලාපයේය. මෙම රටවලට සහන දෙන අතර තවත් ඇමරිකානු ඩොලර් බිලියන 3.4ක ණය කපා හැරීමක් විශේෂයෙන් පොලිය කපාහැරීමක් සිදුවී ඇති බව වාර්තා වේ. ශ‍්‍රී ලංකාවටද මෙවැනි වාසියක් ලබාගත හැකි නමුත් තමන් වෙත එන්නට කලින් මූල්‍ය අරමුදල කරා ගොස් තීන්දුව බටහිර කලාපයෙන් ප‍්‍රකාශවීම ගැන චීනයට අසතුටක් ඇති බව පෙනේ. බටහිර ප‍්‍රජාවගේ තීන්දුව එය නොවේ. ඔවුන්ට අනුව ශ‍්‍රී ලංකාව ප‍්‍රයෝජනවත් නැති ව්‍යාපෘතිවලට පොළඹවා ණය බර පටවා ඇත. කෙසේ වෙතත් මෙම විවාදය වෙනුවට සියලුම රටවල් එක මතයකට පැමිණීම ශ‍්‍රී ලංකාව ලබාගත් තාවකාලික ජයග‍්‍රහණයකි.
දැනට පවතින රාමුව අනුව අනුමත වී ඇති මූල්‍ය අරමුදලේ සංචිතය ලබන වසරේදී ලැබෙන අතර එහි පළමු වාරිකය අනුව රට හොඳ පැත්තට හරවන්නට පාලකයන් සමත් වුවහොත් වාසියක් ලැබෙනු ඇත. මෙම ණය සංචිතය රටට යැපෙන්නට මාර්ගයක් නොවේ. අත්‍යවශ්‍ය දේ හෝ මිල දී ගන්නට වැයකළ යුතු නැත. නැගී සිටින්නට වාරුවකි. ආනයන නතර කිරීමද උත්තරයක් නොවේ. වෙනත් රටක දේ නතර කරන විට එම රටවල් ශ‍්‍රී ලංකාවෙන් මිල දී ගැනීමට උත්සාහ නොකරනු ඇත. එය වෙළෙඳ පරතරය සම්බන්ධ ගැටලු ඇති කරයි. අපනයන ආදායම පමණක් නොව ආනයනවලින් ලැබෙන බදු ආර්ථිකයට විශාල වාසියකි.
ශ‍්‍රී ලංකාවට ආයෝජන කැඳවීම සම්බන්ධ විශේෂ අවධානයක් අවශ්‍ය කෙරේ. වරාය, අධ්‍යාපන, විදුලිය, ඉන්ධන වැනි අංශවල විදේශ ආයෝජන අවස්ථා ඇති කළ හැක. ඇතැම් සංවර්ධන ව්‍යාපෘති අතරමග නතර වී තිබේ. මේවා සඳහා බාහිර ආයෝජන කැඳවිය හැකි විශේෂ ඒකකයක් පිහිටුවා ආර්ථිකය දියුණු කරන පියවර වහාම ගත යුතුය. දේශීය ව්‍යවසායකයන්ට ලිහිල් පදනමකින් ව්‍යවසාය අලුත් කරන පියවර අවශ්‍ය අතර එය ජාත්‍යන්තරයට නිකුත් කරන සංඥාවකි. ණය ගෙවීම සම්බන්ධව පවතින සියලු බාධා මගහැරගෙන අලුත් ව්‍යුහයකට අවතීර්ණවීම සඳහා සුදුසු පියවර ගැනීම ඉතාම කඩිනමින් කළ යුතු කාර්යයකි.
I සාරා කන්දෙගොඩ