2022 දෙසැම්බර් 18 වන ඉරිදා

රුපියල්වලින් ඩොලර් අරන් රට උපාධි ගන්න සිසුවෝ

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 314

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පසුගියදා අපූරු අනාවරණයක් කළේය. ඔහු කියා සිටියේ සෑම වසරකම පාහේ සිසුන් 10,000ත් 11,000ත් අතර පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වන බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු "මේ වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 2,83,616ක්. ඉන් විශ්වවිද්‍යාල වරම් ලබා ඇත්තේ 41,000ක් පමණයි. ඉතිරි ශිෂ්‍ය ප්‍රජාවෙන් 10,000ත් 11,000ත් අතර පිරිසක් ලංකාව අතහැර විදේශ විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබීමට යනවා. අපේ රටේ පවතින ආර්ථික රටාව මත සරසවිවලට ඇති ඉල්ලුම අනුව 75%ක පමණ පිරිසකට එම අවස්ථාව ලබාදීමට හැකියාවක් නැහැ. විදේශයන්ගෙන් නිකුත් කරන වීසා පිළිබඳ අපට වාර්තා නොමැති වුවත් පසුගියදා ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී ආසන්න වශයෙන් 3500ක් පමණ ඇමෙරිකාවට යන බව අනාවරණ වුණා. මේ සිසුන් රුපියල්වලින් ඩොලර් මිලදී ගෙන ඒ ඒ විශ්වවිද්‍යාලවලට ගෙවන ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 2.5ක් පමණ වනවා. රටක සමාජ, ආර්ථික, දේශපාලන අර්බුද එනවිට මධ්‍යම පාන්තිකයන් රට හැරයාම අපට වළක්වන්න බැහැ. ඒ නිසා කළ යුත්තේ ඔවුන්ට ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීමයි." යනුවෙන් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මෙම කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත් කළ හැකි බවත්, ඒ සඳහා රැකියා වෙළෙඳපොළට සරිලන පරිදි අධ්‍යාපන ක්‍රමවේදය සකස් කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මේ අතරය. ශ්‍රී ලංකාවෙන් වසරකට පිටරට විශ්වවිද්‍යාලවලට ඇදීයන බිලියන 3 රට තුළ ඉතිරි කරගෙන තවත් බිලියන 10ක් පමණ රටට ගලා එන අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කළ යුතු වන අතර ඒ සඳහා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල මෙරට ඇති කළ යුතු බවද වඩාත් ඉහළ ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල සහතික වන්නේ නම් ශ්‍රී ලංකාවට පැමිණ අධ්‍යාපනය ලබාගැනීම සඳහා විදෙස් සිසුන්ද ආකර්ෂණය කරගත හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත්  ප්‍රකාශ කළේය. නිදහස් අධ්‍යාපනය සුරක්‍ෂිත කරන අතරම දරුවන්ට මුදල් ගෙවා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමේ පහසුකම් පුළුල් කිරීමෙන් විදේශ විනිමය උපයාගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙරට දරුවන් විදේශ විශ්වවිද්‍යාල  තෝරා ගන්නට පෙළඹී ඇත්තේ මන්දැයි අප විමසා සිටියේ යාපනය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් ගෙනි. ඔහු පළ කළේ මෙවන් අදහසකි.

"විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම සහ උසස් පෙළ විභාගය ගත්තම බොහෝ දෙනෙක් හිතන්නේ විශ්වවිද්‍යාලයට ප්‍රවේශය නොලබන සියලුදෙනා උසස් පෙළ අසමත් අය හැටියටයි. එහෙත් යථාර්ථය එය නොවේ. උසස් පෙළ සමත් වන ප්‍රමාණය සහ විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම අතර හිඩැසක් තිබෙනවා. විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට අවස්ථාවක් නොලැබී යන සියලු දෙනා උසස් අධ්‍යාපනය ලැබීමට නුසුදුසු හෝ බුද්ධිමත් නොවන පිරිසක් හෝ නොවෙයි. විශ්වවිද්‍යාලයේ පවතින පාඨමාලා සංඛ්‍යාව අනුව, පීඨ සංඛ්‍යාව අනුව භෞතික හා මානව සම්පත් අනුව බඳවාගන්නා සංඛ්‍යාව වෙනස් වෙනවා. උසස් පෙළ විභාගය සමත් සියලුදෙනා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබනවා. එහෙත් ඉහත කී කරුණු මත ඔවුන් සියලුදෙනාටම විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාවක් උදාවන්නේ නැහැ. ඊට ප්‍රධාන හේතුව රටේ ඇති විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් අවමවීම.

මෙරට විශ්විද්‍යාලයකට පිවිසීමට නොහැකි වුණු අය අතුරින් යම් ආර්ථික ශක්තියක් ඇති පිරිස විදේශ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා යොමු වෙනවා. විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ප්‍රමාණය වැඩිකිරීම හා ඊට සමගාමීව ඒවායේ භෞතික සම්පත් ප්‍රමාණය වැඩිකිරීම මගින් මේ අර්බුදය වළක්වාගත හැකියි. එමෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ජාත්‍යන්තර විශ්විද්‍යාල මට්ටමට සමපාත වන ආකාරයට සකස් කළ යුතුයි.

විදේශ විශ්වවිද්‍යලවලට ඇදී යන විදේශ විනිමය සම්බන්ධ කාරණාවට වඩා නිශ්චිත සැලසුමක් යටතේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රමාණවත් හා ගුණාත්මක ලෙස වර්ධනය කිරීමට පියවර ගත යුතුයි. විශ්වවිද්‍යාල වරම් නොලද උතුරේ යමක් ඇති බොහෝ දරුවන් විදෙස් රටවල විශ්වවිද්‍යාලවලට යනවා. එලෙස යා නොහැති පිරිස වෙනත් කුමන හෝ රැකියාවක නිරක වෙනවා. දැනට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා පිරිසට වඩා වැඩි පිරිසක් ඇතුළත් කරගත හැකිනම් බොහෝ පිරිසකට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිවෙනවා."යි  සඳහන් කළේය.

ඇතැම් මව්පියන් තම දරුවන් විදේශ විශ්වවිද්‍යාලවලට යැවීමට තීරණය කර තිබුණේ උද්ඝෝෂණ, පංති වර්ජන, නවකවදය හා විශ්වවිද්‍යාලයෙන් පිටවීමට නියමිත වසරට වඩා වැඩි කාලයක් විශ්වවිදයාලයේ ගතකිරීමට සිදුවන හෙයිනි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලද සිසුවියකගේ මවක මෙසේ සඳහන් කළාය.

"අපේ දරුවා උසස් පෙළ හොඳින් සමත් වුණත් ලංකාවේ විශ්වවිදයාලයකට ඇතුළත් කරන්න අපි ටිකක් බය වුණා. ඒ ඇතැම් විශ්වවිද්‍යාලවල යම් යම් දේශපාලන පක්ෂවලට සම්බන්ධ ශිෂ්‍යයන් විසින් සිදුකරන අඩන්තේට්ටම් හේතුවෙන්. ඔවුන් දරුවන්ට නවකවදය දෙමින්  ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරවලට බලහත්කාරයෙන් සම්බන්ධ කර ගනිමින්. ඇතැම් විට අමානුෂික අන්දමින් සලකන හැටි අප දැක තිබුණා. දරුවෝ මහ මග ජල ප්‍රහාරවලට, කඳුළුගෑස් ප්‍රහාරවලට ලක්වුණා. පළමු වසරේ සිසුන්ට සිසුවියන්ට හරියට ඇඳුමක් අඳින්න දෙන්නේ නැහැ. සපත්තු දෙකක් දාන්න දෙන්නේ නැහැ, ගෑනු ළමයකුට කරාබු ජෝඩුවක් දාන්න බැහැ. දරුවන්ට අධ්‍යාපනය ලබන්නට ඇති අවස්ථා ඔවුන්ගේ දේශපාලන මතවාදය වෙනුවෙන් උදුරාගත්තා. ඇතැම් විශ්වවිද්‍යාලවල අවුරුද්දෙන් බාගයක් උද්ඝෝෂණ, ස්ට්‍රයික්, අපට අවශ්‍ය වුණේ නැහැ අපේ දරුවන් දේශපාලන පක්ෂවල අතකොළු වෙනවා දකින්න. ඒ නිසා අපි අසීරුවෙන් හරි අපේ දරුවා විදේශ විශ්වවිද්‍යාලයකට යැව්වා. එහිදී ඇයට නවීන තාක්ෂණ විෂය හදාරන්නට අවස්ථාව ලැබුණා. ඒ රටවල විශ්වවිදයාල හැමදාම ඇරලා. හැමදාම අධ්‍යාපනය දෙනවා. ඔය පිකටින් ස්ට්‍රයික් කිසිවක් නැහැ. ඇය ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු කරලා දැන් ඒ රටේම උසස් රැකියාවකුත් කරනවා. මෙහේ හිටියනම් බොහෝවිට තාමත් රැකියා නැති උපාධිධාරීන්ගේ ලැයිස්තුවේ ඉන්න වෙයි." යනුවෙන් සඳහන් කළාය.

දරුවන් විදෙස් අධ්‍යාපනය ලබන්නට යොමුවීම සම්බන්ධයෙන් අපට අදහස් දැක්වූ  සබරගමුව විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රවීන්ද්‍ර පල්ලියගුරුගේ කියා සිටියේ මිනිසුන් තුළ ඇති සිහින ජයගැනීමේ අපේක්ෂාව මේ සඳහා පෙළඹවීම් කරන බවටය. "දේශපාලන විද්‍යාවේදී සාපේක්ෂ ප්‍රහීනතා න්‍යාය කියලා. එක්තරා න්‍යායයක් තිබෙනවා. ඉන් කියවෙන්නේ ඉහළ තලයක පවතින අපේ අපේක්ෂාවන් පිළිබඳවයි. අපිට අපේක්ෂා රැසක් තිබෙනවා හැමවිටම අපේ අපේක්ෂා පවතින්නේ සාධන මට්ටමට ඔබ්බෙන්. පෙර පාසල් මට්ටමේ සිටම ඒ අපේක්ෂා වර්ධනය වෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ බොහෝ විට හුරු කරන්නේ වයිට් කොලර් ජොබ්ස් නැත්නම් සුදු කරපටි රැකියාවක නිරත විය යුතුය යන ආකල්පයයි.. වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් නැතිනම් ගණකාධිකාරිවරයෙක් වැනි උසස් යැයි පිළිගත් රැකියාවක් ලබා ගත යුතුය යන ආකල්පය ඇති කර තිබෙනවා. අධ්‍යාපනය ලැබීමෙන් පසු විශාල නිවසක්, මොටර් රථයක්, විශාල වැටුපක් ලැබිය යුතුය. එමෙන්ම විවෘත ආර්ථිකය විසින් නිර්මාණය කළ නව සංස්කෘතියට පිවිසිය යුතුය යන  හීන හිස තුළ කැරකෙනවා. එම සිහින අත්පත් කර ගැනීමට අපේ ආර්ථිකය ශක්තිමත් නැහැ. ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍ය මගින් විශ්වාසයක් ගොඩ නඟා තිබෙනවා සැබෑ ජීවිතය පවතින්නේ විදේශවල කියලා. අපේ රටේ පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය තුළ නිර්මාණශීලිත්වයෙන් යුතු දරුවන්ට යමක් කිරීමේ හැකියාව අවමයි. අපේ රටේ දරුවන්ගෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නට අවස්ථාව සැලසෙන්නත් සුළු පිරිසකට පමණයි. එම අවස්ථාව නොලැබෙන දරුවන්ගෙන් හැකියාව ඇති අය විදේශ විශ්වවිද්‍යාලයක හෝ අධ්‍යාපනය ලබා තම සිහින ජය ගන්නට පෙළඹෙනවා.

අපේ රටට වඩා විදේශයක අධ්‍යාපනය සහ සමාජ ජීවිතය හොඳයි කියන ආකල්පය බොහෝ විට ඇති කර තිබෙන්නේ ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගිනුයි. අධ්‍යාපනය සඳහා විදේශගතවන පිරිසෙන් වැඩි දෙනෙක් ඒ රටවලම රැකියා සොයා ගෙන ඔවුන්ගේ සිහින සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරනවා. ඇත්තෙන්ම මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය මහචාර්යවරු යම් අධ්‍යයනයක් කළ යුතුයි. රජයේ නියාමනය යටතේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට හොඳ ආයතන පද්ධතියක් නිර්මාණය වනවා නම් හෝ අපේ විශ්වවිද්‍යාලවල පවතින අවස්ථා තවදුරටත් පුළුල් වනවා නම් දරුවන්ට විදේශගත වීමට අවශ්‍ය වන්නේ නැහැ. ඇතැම් විදේශ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන අපේ දරුවන් ඉතා දුෂ්කර තත්ත්වයනට මුහුණ දෙමින් අධ්‍යාපනය ලබන අයුරු අපට දැනගන්නට ලැබී තිබෙනවා. 

වෘත්තීය අවශ්‍යතා යුගයෙන් යුගයට වෙනස් වෙනවා. එලෙස වෙනස් වන රටාව හඳුනාගෙන අපේ න්‍යායාත්මක ශාස්ත්‍රීය පදනමද රැකගනිමින් ඒ අනුව උපාධිධාරීන් බිහි කිරීමට හැකි වන පරිදි විෂයමාලා නවීකරණය විය යුතුයි. සබරගමුව විශ්වවිද්‍යාලය  ශිෂ්‍යන්ගේ අභිවෘද්ධිය සඳහා වන විවිධ පාඨමාලා සංවර්ධනය කරමින් සිටිනවා. විශ්වවිද්‍යාවල පහසුකම් තවදුරටත් පුළුල් විය යුතුයි. එමෙන්ම ශිෂ්‍යයන්ට යම් ආකාරයක ණය පහසුකම් සපයා දී අධ්‍යාපන කටයුතු අපේ රටේම කළ හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතුයි." යනුවෙන් ප්‍රකාශ කළේය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා