අද පවතින අධික ජීවන වියදම නිසා ජනතාවට දිනෙන් දිනම ජීවත්වීමේ ගැටලුව දැඩි සේ බලපාන්නට පටන්ගෙන තිබේ. අද බොහෝ දෙනා ණය මත යැපෙන ආර්ථිකයකට අවතීර්ණ වෙමින් සිටිති. අයවැය දෙපැත්ත සමබර නොවීම එයට හේතුවයි. ප්‍රධාන හේතුව මසකට ලැබෙන ආදායමට වඩා දෙගුණයක් පමණ අත්‍යවශ්‍ය ආහාරවලට පමණක් වැය කරන්නට සිදුවීමය. 20 වැනි සියවසේ මුල් භාගයේදී මධ්‍යම පාන්තික පවුලක් ආහාර සඳහා වැය කර තිබුණේ සිය මාසික ආදායමෙන් 35% - 40% අතර මුදලකි. එහෙත් අද වනවිට මුළු ආදායම ද ඒ සඳහා නොසැලකේ.
ආහාරවලට පමණක් නොව තවත් මූලික අවශ්‍යතා රැසකට පුද්ගලයකුට වැය කරන්නට සිදුව තිබේ. බෙහෙත්, ඇඳුම් පැළඳුම්, ගෙවල් කුලී, සෞඛ්‍ය හා දරුවන්ගේ අධ්‍යාපන වියදම් ඉන් ප්‍රධානය. මෙම අවශ්‍යතා සඳහා ලැබෙන මුදල ප්‍රමාණවත් නොවන විට ණය ගන්නට සිදු වේ. අද වනවිට එකම පන්තියක ජීවත් වන අයට තම ඥාතීන්ගෙන් හෝ මිතුරන්ගෙන් අත මාරුවක් ලබාගත නොහැකි තැනට පත්ව ඇත්තේ ඔවුන් ද “එකම බෝට්ටුවේ“ යන්නන් බැවිනි.
මේ දිනවල බැංකු පොලී අනුපාත ඉහළ ගොස් ඇති නිසා ජනතාවට බැංකු ණය මුදලක් හෝ ලබාගැනීමට අපහසුව ඇත. එසේම බැංකුවලින් ණය ගැනීමේදී සැපිරිය යුතු කොන්දේසි දැඩි වීම නිසා සාමාන්‍ය කෙනකුට රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවලින් ණය ලබාගැනීම දුෂ්කර වී තිබේ. බැංකු ලබා දෙන්නේ පාරිභෝජන ණය නොව ව්‍යාපෘති සහ ව්‍යාපාරික ණයයි. ලංකා බැංකු සේවක සංගමය පසුගියදා නිවේදනය කර තිබුණේ බැංකු පොලී අනුපාත 25% ඉක්මවා ඉහළ ගොස් ඇති නිසා බැංකුවලින් ණය ගන්නා අය අඩු වී තිබෙන බවය. එය බැංකුවල ආදායමටද බලපා ඇත. අද පවතින තත්ත්වය අනුව සාමාන්‍ය කෙනකුට හදිසි ණයක් ලබාගැනීම සඳහා පහසුම ක්‍රමය වනුයේ බැංකු හෝ මුල්‍ය ආයතනවලට තම - රන් භාණ්ඩ උගස් තබා ණය මුදලක් ලබා ගැනීමය. මේ වනවිට රන් මිල ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති නිසා ඉහළ මුදලක් රන් භාණ්ඩ උගස් තබා ලබාගත හැකිය. මේ වනවිට රන් පවුමකට රුපියල් 170,000 කට අධික උගස් මුදලක් ලබාගත හැකිව තිබේ.
මෙලෙස උගස් ගැනීම අද බැංකුවල සහ මුල්‍ය ආයතනවල ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව ඇත. එම ආයතන දැන්වීම් ප්‍රචාරය කරමින් තරගකාරී ලෙස භාණ්ඩ උගස් ගැනීමට පෙළඹී ඇත. උදේ පාන්දර මෙම ආයතන විවෘත කරන විට ඒවා ඉදිරියේ උගස් පෝලිම් ඇති වී තිබෙන අයුරු දැකගත හැකිය. මෙයට ප්‍රධාන හේතුව ජනතාවගේ එදිනෙදා ආහාර හා අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා මුදල් නොමැති වීමය. ඒ නිසා රන් භාණ්ඩ, උගස් තැබීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත. මේ දිනවල බොහෝ අම්මලාගේ කනේ ගෙලේ ආභරණ නැත. සියල්ල උගස් කඩයේය. පොලී ප්‍රතිශතය සාපේක්ෂව ඉහළ මට්ටමක තිබුණද මුදල් අවශ්‍යතාව නිසා ඒ පිළිබඳ සලකන්නේ නැත.
අනෙක් අතට තවත් අය කියන්නේ රිදී රත්රන් ආභරණ පැළඳගෙන යාම සහ නිවෙස්වල තබාගෙන සිටීම අනතුරුදායක නිසා ඒවා බැංකුවේ තබන බවකි. එය නිවෙස්වල තබාගෙන සිටිනවාට වඩා ආරක්ෂාකාරී වේ. මෙලෙස බැංකුවලට ආභරණ බාර දෙන ඇතැම්හු ඒවා උගස් තබා මුදලක් ලබාගෙන වෙනත් ව්‍යාපෘතියකට ආයෝජනය කිරීමට පෙළඹී සිටිති.
බැංකු සහ මුල්‍ය ආයතනවල රන් භාණ්ඩ උගස් තබන බොහෝ අයට අත්ව ඇති ඛේදවාචකය වන්නේ ඒවා නියමිත කාලයට බේරාගැනීමට නොහැකි වීමය. ඒ හේතුවෙන් බැංකුවලට සින්න වෙයි. හදිසි අවශ්‍යතාවලට මුදල් ගත්තද ඒවා බේරාගැනීමේ සැලසුමක් පාරිභෝගිකයාට නැත. පොලී ප්‍රතිශතය ද වැඩි බැවින් බේරාගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවීම නිසා ඒ පිළිබඳ ආශාව අතහැරීමට ඔවුනට සිදුව තිබේ. කාන්තාවන් හූල්ලමින් සිටිනවා විනා වෙනත් විකල්පයක් නැත. මෙයට පෙරදී බේරා නොගත් රන් භාණ්ඩ වෙන්දේසි කිරීම් තිබුණේ වසරකට එක් වරක් පමණි. එසේ වුවද සින්න වෙන රන් භාණ්ඩ ප්‍රමාණය විශාල නිසා අද වසරකට 2 – 3 වරක් මෙවැනි වෙන්දේසි පැවැත්වීමට සිදුව තිබේ. මෙය බැංකු සහ මුල්‍ය ආයතනවල ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව තිබේ.
මේ අතර තවත් අලුත් ව්‍යාපාර කණ්ඩායමක් බිහිවෙමින් පවතී. එය නම් සින්න වෙන රන් භාණ්ඩ බේරා මිලට ගෙන ඉතිරි මුදල් උගස්කරුට ගෙවන ව්‍යාපාරයි. මේවා සිය ගණනින් බිහිවෙමින් පවතී. සතිඅන්ත පුවත්පත්වල පළවන මෙවැනි දැන්වීම් පිළිබඳ ලේඛකයා කළ සමීක්ෂණයකදී අනාවරණය වූයේ මේ උගස් දැන්වීම් 25 – 30 ක පමණ ප්‍රමාණයක් පුවත්පත්වල පළවන බවය. වැඩි වශයෙන් ලිපිනය සඳහන්ව නොමැති මෙම දැන්වීම්වල සඳහන් වන්නේ දුරකතන අංකයක් පමණි. භාණ්ඩ සින්න වන්නට ආසන්න කෙනකුට මෙම තැන්වල පිහිට ලබාගත හැකිය. භාණ්ඩ මුළුමනින්ම බැංකුවට අයිති වන තරම් අනතුරකට ලක්ව ඇති කෙනකුට මෙම ආයතනයක සහායෙන් භාණ්ඩ බේරා යම් මුදලක් හෝ අතට ලබාගන්නට හැකිවීම විශාල සහනයක් ලෙස ඔවුහු සලකති. මෙම බේරුම්කාර ආයතන රජයේ කිසිම තැනක හෝ ලියාපදිංචි කළ ආයතන නොව මෙරු පිපෙනවා මෙන් හදිසියේ මතු වූ ඒවාය. මේවා පිළිබඳ දැන්වීම් පාර දෙපස ගස් ගස්වල, විදුලි කණුවල, බෝක්කුවල පවා ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකිය. මේවායින් සිදුවන්නේ අමාරුවේ වැටුණු පාරිභෝගිකයන් තවත් අගාධයකට ලක් කිරීම මිස සහනයක් හිමිකර දීමක් නොවේ.
මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් බැංකු, මුල්‍ය ආයතන හා උගස් සමාගම් යොදාගෙන කළ විශේෂ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ රට පුරා ලක්ෂ 40ක පමණ ජනතාවක් 2022 වසරේ ඔක්තෝබර් දක්වා වූ මුල් මාස 10 තුළදී පමණක් රුපියල් කෝටි 16,900කට වැඩි වටිනාකමකින් යුත් රන් බඩු ප්‍රමාණයක් බැංකු සහ මුල්‍ය ආයතන ආදියට උගස් කර ඇති බවය. මෙම වසරේ මේ දක්වා උගස් කළ කන කර ආභරණ සහ රන් බඩු ප්‍රමාණය 2021 වසරේදී උගස් කළ භාණ්ඩවලට සාපේක්ෂව විශාල වැඩිවීමක් පෙන්නුම් කරන බව හෙළි වී තිබේ. මෙලෙස රන් භාණ්ඩ උගස් කර මුදල් ලබාගෙන ඇත්තේ වැඩි වශයෙන් මධ්‍යම පාන්තික සමාජයේ අය බව එම සමීක්ෂණයෙන් හෙළි වී ඇත. මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිල විශාල ලෙස වැඩි වී තිබීම නිසා උගස් කරන අයට වැඩි මුදලක් ලබාගැනීමට හැකි වී තිබේ. මේ හේතුවෙන් වැඩි දෙනා උගස් කිරීමට යොමු වී ඇති අතර ණය මුදලක් ලබාගන්නවාට වඩා පහසුවෙන් රන් භාණ්ඩ උගසට තබා මුදල් කර ගැනීමට හැකිවීම නිසා බොහෝ දෙනකු මෙයට යොමුව ඇති බව හෙළි වී තිබේ.
මෙම අධ්‍යයනයේදී ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මේ පිළිබඳ අදහස් දක්වමින් දේශය පුවත්පතට මෙලෙස කරුණු අනාවරණය කළේය.
"මෙම අධ්‍යනයේදී අපි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මුල්‍ය ආයතන 13ක් පිළිබඳ විමර්ශනය කළා. මෙහිදී අනාවරණය වුණේ රන් බඩු වෙළෙඳපොළෙන් 50%කට වැඩි කොටසක් මහජන බැංකුව සහ ලංකා බැංකුව අත්පත් කරගෙන තිබෙන බවයි. එයින්ද ප්‍රමුඛත්වයට පත්ව ඇත්තේ මහජන බැංකුවයි. එය හිමි කරගෙන ඇති කොටස 39% ක්. ලංකා බැංකුව 17%ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව 11%ක්, සම්පත් බැංකුව 10% ක්ද හිමි කරගෙන තිබෙනවා. මේවාට අමතර වශයෙන් තවත් උගස් කටයුතු කරන ආයතන 200ක් පමණ තිබෙනවා. මේ හැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ව්‍යාපාර ලියාපදිංචි කළ කුඩා මුල්‍ය ඒකකද තිබෙනවා. ඒවා බොහෝ විට 10 – 15 පමණ විය හැකියි. මෙවැනි ආයතන නාගරිකව වැඩි අතර ග්‍රාමීය මට්ටමෙන් අඩුයි.
පසුගිය කාලය තුළ උගස් වෙළෙඳපොළ වටිනාකම ඉතාම සීඝ්‍රයෙන් වැඩි වී 2022 වනවිට උපරිමයට පැමිණ තිබෙනවා. 2015 තිබුණේ රුපියල් බිලියන 243 යි. 2016 දී පමණක් රුපියල් බිලියන 236 දක්වා පහළ බැස ඇත.
2017 වසරේ වටිනාකම රුපියල් බිලියන 275
2018 වසරේ වටිනාකම රුපියල් බිලියන 312
2019 වසරේ වටිනාකම රුපියල් බිලියන 369
2020 වසරේ වටිනාකම රුපියල් බිලියන 408
2021 වසරේ වටිනාකම රුපියල් බිලියන 493
2022 වසරේ ඔක්තෝබර් දක්වා වටිනාකම රුපියල් බිලියන 662
මෙම සංඛ්‍යාලේඛන ප්‍රධාන බැංකු 13 සඳහා පමණක් වන අතර සෙසු මුල්‍ය ආයතන හිමි කරගෙන ඇති වටිනාකම රුපියල් බිලියන 687 දක්වා ඉහළ ගොස් ඇත. මෙහිදී අප සමීක්ෂණය කර ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ක පිහිටා ඇති කුඩා මුල්‍ය ආයතන 10ක් සඳහා පමණයි.
මෙහිදී අනාවරණය වී ඇති ප්‍රධාන කරුණ වන්නේ 2022 වසරේ මුල් මාස 10 තුළදී 2021 සම්පූර්ණ වසරකට වඩා බිලියන 169ක ඉහළ යාමක් සිදුව ඇති බවයි. මේ වසරේ ඉදිරි මාස දෙක සලකා බැලූ විට මෙම ශේෂය 700 ද ඉක්මවා ඉහළ යනු ඇතැයි සිතිය හැකියි. මෙම දත්ත අනුව රටේ දරිද්‍රතාව කොතරම් ඉහළ නැග ඇතිදැයි සිතා ගන්නට පුළුවන්. මෙලෙස රන් භාණ්ඩ උගස් කරන්නේ ඇයිද යන්න පිළිබඳවද අපගේ අධ්‍යයනයේදී සොයා බැලුවා. එහිදී අපට ප්‍රධාන කරුණු හතරක් අනාවරණය වුණා.
දරුවන්ගේ පොත්පත්, අධ්‍යාපන භාණ්ඩ මිලට ගැනීම සහ පෞද්ගලික පන්තිවලට ගෙවීම ආදී අධ්‍යයන අවශ්‍යතා
කෘෂිකාර්මික කටයුතු සඳහා - බීජ, පොහොර, රසායන, ශ්‍රමය, යන්ත්‍රෝපකරණ මිලට ගැනීම හා කුලියට ගැනීමට
තම නිත්‍ය ආදායම අහිමි වූ විට මුදල් ලබාගැනීමට
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැති වූ විට ඒවා මිලට ගැනීමට
මෙයට අමතරව සොයාගත හැකිවූයේ ඉහත අවශ්‍යතා වෙනුවෙන් තම ගම්වල ඥාතීන්, අසල්වැසියන්, මුදලාලිලා ආදීන් වෙතද රන් භාණ්ඩ තබා මුදල් ලබාගන්නා බවයි. තවද වර්තමානයේ විශාල ලෙස රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා. මෙයට පෙර රත්රන් පවුමක් අලෙවි වූයේ රුපියල් 60,000 වැනි මුදලකටයි. මේ වනවිට පවුම 180,000 (එක්ලක්ෂ අසූ දහසක්) දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර තවත් ව්‍යාපාරික පන්තියක් බිහි වී තිබෙනවා. සින්න වෙන්නට ආසන්න රන් බඩු උගස් හරවා එම භාණ්ඩ හිමි කරගෙන ඉතිරි මුදල් උගස්කරුට ලබාදීම සිදුවෙනවා. මේ සඳහා මුදල් ඒ ආයතන යොදවනවා. සාමාන්‍යයෙන් රාජ්‍ය සහ බලපත්‍රලාභී බැංකු රන් භාණ්ඩ උගස් කළ විට දෙන මුදල අඩුයි. වෙනත් පෞද්ගලික ආයතනවලින් වැඩි මුදලක් දෙන අතර පොලියද ඉතා ඉහළයි. ඒවාට උගස් තැබූ අයට බේරාගන්න අමාරුයි. බැරූරුම් කරුණ වන්නේ රන් භාණ්ඩ අද තත්ත්වය අනුව නිවෙස්වල තබාගන්න අපහසු වීමයි. ඒවා උගස් තැබූ විට ඒ අවදානම අඩු වෙනවා. ඒ නිසා සමහරුන් නිතර උගස් තියනවා. ආපසු බේරාගන්නවා. මෙතැනදි බලන්නේ මුදල්වලට වඩා භාණ්ඩවල ආරක්ෂාවයි. එයද මෙම වැඩිවීමට බලපානවා.
මෙලෙස විශාල ලෙස රන් භාණ්ඩ උගස් කිරීමට අද රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය බලපානවා. මෙහිදී රජය ජනතාවගේ ආර්ථික තත්ත්වය යළි ගොඩනැගීමට ප්‍රමුඛත්වය දිය යුතුයි. මෙහිදී අනවසර මුල්‍ය ආයතන ගැන සොයා බලා ඒවායින් ජනතාව ආරක්ෂා කරලීම රජයේ ප්‍රමුඛතම වගකීමක්. ඒත් රජය හා මහ බැංකුව ඒ ගැන නොසලකා හැර තිබෙනවා. ප්‍රියමාලිලාගේ වගේ මහා පරිමාණ අනවසර මුල්‍ය ආයතන බිහිවීම සිදුවුවත් මහ බැංකුව ඒවා ගැන සොයා බලන්නේ නැහැ. මෙය ජාතික අභාග්‍යයක්. රටේ ප්‍රතිපත්ති තැනීමේදී මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය දෙපැත්තකට අදින බව පේනවා. මුල්‍ය හා ෆිස්කල් ප්‍රතිපත්ති මේ ආයතන දෙකේම එකට ගමන් කළ යුතුයි. එහෙත් අද එහෙම වෙලා නැහැ.ඉහළ පොලී අනුපාත දමලා රාජ්‍ය වියදම් ඉහළ නැංවූ විට ගැටලුව උග්‍රවෙලා තියෙනවා. රට ස්ථාවර වනතුරු මුල්‍ය අරමුදලින් ණය ගැනීමට හැකි වන්නේ නැහැ."
I යසවර්ධන රුද්රිගූ