2022 දෙසැම්බර් 18 වන ඉරිදා

මහදවල් සිදුවන පුරාවස්තු මංකොල්ලය

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 650

''දැන් බලන්න රටේ මිනීමැරුම් අපරාධ වැඩියි. හොරකම් දූෂණ හැමතැනම. ඒ වගේම තමයි ඉතින් පුරාවස්තු විනාශයත්. පසුගිය අවුරුදු කීපය තුළ පුරාවස්තු විනාශ කිරීම් වැඩිවෙලා තිබෙන බව ඇත්ත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැම ගල්කණුවක් ගානෙම, පුරාවස්තු තිබෙන හැම කැලෑවකටම මුරකරුවන් දාන්න බැහැනේ. ඒක ප්‍රායෝගික වැඩක් නොවේ. තව මුරකරුවො 100ක් බඳවා ගත්තත් වැඩක් වෙන්නේ නෑ. මම නම් දකින්නේ සමාජයේ සාරධර්ම වැනසිලා මුදල් මත යැපෙන්න පටන් අරන්. ඉතින් සමහරු පුරාවස්තු දකින්නෙත් අපේ රැකගත යුතු ජාතික උරුමයක් විදිහට නොවෙයි. ඒකත් විකුණලා කීයක් හරි හොයාගන්නයි.''

අප සමඟ එලෙස පැවසුවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගයි. ඔහු එලෙස අදහස් දැක්වූයේ පසුගියදා පුරාවස්තු විනාශය ඉහළ ගොස් ඇති බව සඳහන් කරමින් නිකුත් වූ විගණන වාර්තාව ගැන අප කළ විමසීමකදීයි.  

ඉතාමත් වටිනා පුරාවස්තු 777ක් 2019  සිට 2021 දක්වා වසර තුනේදී සොරකම් කර හෝ විනාශ කර හෝ ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම ගවේෂණ   වාර්තාවක සඳහන් වේ. එම වාර්තාව සැකසීම සඳහා විගණන නිලධාරීන් පුරාවස්තු සහිත ප්‍රදේශ නිරීක්ෂණය කිරීමටද ගොස් තිබේ. ඊට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාශියකගෙන්ද විස්තර ලබාගෙන ඇත.

විගණන වාර්තාවට අනුව රටේ පුරාවස්තු වැඩිම ප්‍රමාණයක් විනාශ කර හෝ සොරකම් කර හෝ ඇත්තේ පසුගිය 2021 වසරේදීය. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 383ක් ලෙසිනි. මීට අමතරව 2020 වර්ෂයේදී පුරාවස්තු සොරකම් හෝ විනාශ කිරීම් 121ක් වාර්තා වී තිබූ බව පවසන විගණන අංශ 2019 වර්ෂයේදී පුරාවස්තු සොරකම් හෝ විනාශ කිරීම් 273ක් සිදුව ඇතැයිද සඳහන් කර තිබේ.

ජාතික විගණන කාර්යාලය පුරාවිද්‍යා ප්‍රධානීන්හට නිර්දේශ කර ඇත්තේ පුරාවස්තු සොරකම් හෝ විනාශ කිරීම්වල වර්ධනයක් පෙනෙන්නට ඇති හෙයින් මේ සිද්ධීන් වැළැක්වීමට වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි. පුරාවස්තු පනත උල්ලංඝනය කිරීමේ අවස්ථා 232කට සම්බන්ධ පසුගිය වසරේදී අධිකරණයේ නඩු පවරා තිබෙන අතර එම නඩුවලින් 122ක් අවසන් කර දඩ වශයෙන් අය කරගෙන තිබූ මුදල රුපියල් හාර කෝටියකට ආසන්න වේ. වර්ෂ 2019 දී නිකුත් කළ විගණන වාර්තාවට අනුව 2018 වර්ෂයේදී පුරාවස්තු පනත කඩකළ වැරදි 203ක් වාර්තා වන අතර මේ නඩුවලට අදාළ වැරදිකරුවන් සංඛ්‍යාව 565ක් වේ. 

විගණන වාර්තාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන ඔවුන් අවධානය යොමුකිරීමට හේතුව ගැන මෙසේ සඳහන් කර තිබේ. ''විශිෂ්ට ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව එම ඓතිහාසික උරුමයන් සඳහා මතු පරපුර වෙත දායාද කළ යුතුව තිබේ. වර්තමානයේදී සිදුවන සාමාජික ආර්ථික හා වෙනත් අනීතික ක්‍රියා නිසා මෙන්ම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැනි විවිධ ක්‍රියාදාමයන් හේතුවෙන් මෙම උරුමයන්හි පැවැත්මට තර්ජන මතුවී ඇත.''

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අප සමග අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේද පැවසුවේය. 

''ඉංග්‍රීසි රට පාලනය කළ කාලයේ සුද්දෙක් ලියපු පොතක තිබෙනවා ඒ කාලෙ අනුරාධපුරයේ තිබුණු පිංපෙට්ටි රුකබලාගන්න කිසිම මුරකාරයෙක් නොසිටි බවත් ඒවා කිසිම අතවරයකින් තොරව ආරක්ෂා වූ බවත්. අද පන්සල් ඇතුළෙ තියෙන පිං පෙට්ටි පවා කඩනවා අහන්න ලැබෙනවා. අපි පුරාවස්තුවල අගය ගැන පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ලංකාව පුරා පවත්වනවා. නමුත් මේ අපරාධවලට වගකිවයුත්තො වෙන්නේ එම අධ්‍යාපනයක් ලැබූ ජනතාව නොවෙයි. තක්කඩියෝ, කුඩුකාරයෝ වගේ පුද්ගලයන්. සල්ලිවලට මුල් තැන දෙන ජාවාරම්කාරයන්. මේක අද සමාජ පරිහානියේම පැතිකඩක් විදිහටයි මම නම් දකින්නේ. මේ නිසා වඩාත් වැදගත් වන්නේ සමාජයේ අපේ උරුමය රුකගැනීමේ වැදගත්කම ගැන ආකල්පමය වෙනසක් ඇතිකිරීමයි. අපේ නිලධාරීන් තම උපරිම මට්ටමෙන් පුරාවස්තු ආරක්ෂා කිරීමට කැපවී සිටිනවා.''

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙන්කරන ප්‍රතිපාදන සලකා බලන විට එය ප්‍රමාණවත් නොවේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කළ 1890 සිට 2018 දක්වා රටේ දිස්ත්‍රික්ක 25ට අදාළව ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කළ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක සංඛ්‍යාව 2712කි. වෙන්කළ පුරාවිද්‍යා තහනම් ඉඩම් 227කි. පුරාවිද්‍යා රක්ෂිත 174කි. පොළොන්නරුව, අනුරාධපුර වැනි පැරණි රාජධානි පැවති දිස්ත්‍රික්කවල පවා තවත් විශාල පුරාවස්තු සංඛ්‍යාවක් රක්ෂිත ස්මාරක ලෙස ගැසට් කර නැත. පුරාවස්තුවලට වන අකටයුතුකම් මැඩපැවැත්වීමට පුරාවස්තු ආඥා පනත මුලින්ම සම්මත වුණේ 1940දීයි.  දැනට ක්‍රියාත්මක  වන්නේ 1998 සංශෝධිත පුරාවස්තු පනතයි. විගණන කාර්යාලය පවසන්නේ මෙම පනත සංශෝධනය කළද එම සංශෝධනය තුළින් පුරාවිද්‍යා උරුමයන් මනා කළමනාකරණය සඳහා ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන නැති බවයි. නොසිතන තරම් වේගයකින් පුරාවස්තු විනාශය සිදුවෙමින් පවතිතැයිද පුරාවස්තු විනාශ කිරීම් පිළිබඳ නඩු දහයකට පමණ දිනපතා අස්සන් කිරීමට සිදුව ඇතැයිද පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පසුගියදා පවසා තිබුණි. 

පුරාවිද්‍යා ආඥා පනතේ පළමු කොටසේ දෙවැනි වගන්තිය වන්නේ “යම් පුද්ගලයකුට අයිති වූ ඉඩමක හෝ ඉඩමක් මත තිබී යම් පුරාවස්තුවක් හමුවූ පමණින්ම එම පුරාවස්තුව එම තැනත්තාගේ දේපලක් නොවිය යුතු අතර එය එම පුද්ගලයාට අයිති වස්තුවක් වශයෙන් සළකනු නොලැබිය යුතුය.” යන්නයි. පුරාවිද්‍යා ආඥා පනතේ 24 වැනි වගන්තිය අනුව “රජයේ ඉඩමක පිහිටි යම් පැරණි ස්මාරකයකින් හෝ යම් ආරක්ෂිත ස්මාරකයකින් ඔබ්බේහි නියමිත දුර ප්‍රමාණයක් (මීටර් 400) ඇතුළත යම් ඉඩමක ගොඩනැගිලි ඉදිකිරීමේ, පතල් කැනීමේ, ගල් කැඩීමේ හෝ පිපිරවීමේ කටයුතු පවත්වාගෙන යෑම තහනම් කළ හැකිය.'' 1998දී සංශෝධනයෙන් දඩමුදල රුපියල් 50,000 දක්වා වැඩි වූ අතර සිරගත කාලය අවුරුදු 2ත් 5ත් අතර දක්වා වෙනස් වීය. 2005දී මෙය නැවත සංශෝධනයට බඳුන් වී දඩ මුදල 250,000 දක්වා වර්ධනය විය. එමෙන්ම පුරාවස්තු විනාශ කරන්නන්ට ඇප ලබා නොදී සිටිය හැකිය.

එමෙන්ම විගණන කාර්යාලය අවධාරණය කරන තවත් කරුණක් නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1890 පිහිටුවුවත් ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීමට වසර 118ක් ගතවී ඇති බවයි. නමුත් එහි සඳහන් අරමුණු ඉටුකර ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවධානය යොමුකර නැති බවත් 2019 විගණන වාර්තාවේ දැක්වේ. පුරාවිද්‍යා පනතේ ඇතුළත් වගන්ති දෙස බැලීමේදී පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ පුරාවස්තු විනාශය අවම කර ගැනීම සඳහා ඉමහත් පිටුවහලක් මෙම ආඥා පනත මඟින් සිදුවන බවකි. නමුත් පුරාවස්තු ආරක්ෂාවට හා විනාශයට වක්‍ර ලෙසින් හානි පැමිණවීම සඳහා ඇතැම් වගන්ති ලිහිල් භාවයකින් යුක්ය. එමෙන්ම දඩ මුදල වැඩිකළත් එයත් අද මිල ගණන්වලට අනුව නොගැලපේ. පුරාවස්තු හොරකම් පිටුපස බොහෝවිට සිටින්නේ දේශපාලන බලයක් ඇති ජාවාරම්කාර පිරිස් බව ඒවාට අදාළ ප්‍රවෘත්ති විමසන විට පෙනේ. පසුගිය කාලයේ පුරාණ ස්මාරක වැනසීමට මහ ඇමතිවරු සහ ඇමතිවරු පවා සම්බන්ධ වූ බවට චෝදනා එල්ල විය. නමුත් ඒවාට ලැබුණු දඬුවමක් නැත. සාපෙක්ෂ වශයෙන් බලන කළ ශ්‍රී ලංකාවේ පුරාවස්තු විනාශය අවම කර ගැනීමට මෙම පුරාවස්තු පනත මඟින් ලබා දී ඇති නීතිරීති යම් මට්ටමක පැවතුණත් මෙහි ඇති දුර්වල වගන්ති සොයා බලා තවදුරටත් විධිමත් කරන්නේ නම්  දිනෙන් දින සිදුවන පුරාවස්තු විනාශය අවම කර ගැනීමට යම් පිටිවහලක් වනු නිසැකය.

පසුගිය අවුරුදුවල නැගෙනහිර පළාතෙන් පුරාවස්තු විනාශයන් විශාල වශයෙන් වාර්තා විය. අක්කරපත්තුව - ආලියඩිවේම්බු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ඵෙතිහාසික දාගැබක් ඩෝසර් කර විනාශ කළේ 2012 වසරේදිය. 2012 වසරේ සැප්තැම්බර් මස සාගම මොට්ටයාගල පාමුල තිබූ ඉපැරැණි ගරා වැටුණු චෛත්‍යයක් එම ස්ථානයේ ගොවිතැන් කටයුතු කරන පුද්ගලයකු විසින් ඩෝසර් කර දමා විනාශ කෙරිණි. වරදකරු වූ ඊට සම්බන්ධ පුද්ගලයාට ගෙවීමට සිදුවූයේ රු.50000ක් පමණි. ඉන් අනතුරුව, පුරාවිද්‍යා බලධාරීන් විසින් එම ස්ථානය මිනුම් කර, මායිම් ගල් කණු සිටුවා පුරාවිද්‍යා ස්ථානයක් බවට නම්කර, ඇතුල්වීම තහනම් කර, දැන්වීම් පුවරු සවිකෙරිණි.   අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද පසුගිය කාලයේ පුරාවස්තු විනාශ කිරීම් වාර්තා විය.

පසුගිය 15දා වාර්තා වුණේ මහනුවර කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රජ මාලිගා භූමියේ තිබූ සඳගල නම් පුරාණ කළුගල් ස්මාරකය ගලවාගෙන ගොස් ඇති බවයි. එය රජ මාලිගා භූමියේ තිබූ එකම කැටයමක් සහිත පුරාවස්තුව විය. අඩි 3ක් උස එහි පළල අඩි තුනකි. ගලේ වක්‍රයක් කපා මතුකර තිබුණි.

මෙහිදී සිතිය යුතු ප්‍රධාන කරුණක් නම් පුරා වස්තුවක් අහිමි වුවහොත් ඒ සඳහා ආදේශකයක් නොමැති වීමයි. පුරාවස්තුවක් යළිත් කිසිදින තැනීමට නොහැකිය. යම් වස්තුවක් අහිමිවීමත් සමඟ අහිමිවන්නේ ඉතිහාසයේ එක්තරා පරිච්ජේදයකි. පුරාවස්තුවලට දිනෙන් දින වන හානිය නිසා අපේ අනන්‍යතාවටත් විශාල හානියක් සිදුවිය හැකිය. මෙතරම් විශාල තාක්ෂණික දියුණුවක් ඇති යුගයක අපේ උරුමය විනාශ කරන්නේ ඇයිද යන ගැටලුව මතුව තිබේ. බොහෝවිට මේවා පසුපස නූගත් දේශපාලනඥයන්ද සිටීම ගැන අසන්නට ලැබේ.

පුරාවස්තු විනාශය වැළැක්වීමේ විශේෂ ඒකකයක්ද පසුගිය කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පිහිටුවීමට මුල් වුණේ සීඝ්‍ර පුරාවස්තු විනාශයයි, මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි හා තොරතුරු මත පැය 24 පුරාම ක්‍රියාත්මක මෙම පොලිස් ඒකකය පොලිස් මූලස්ථානයෙහි අපරාධ කොට්ඨාශය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වේ. එසේ වුවත් පුරාවස්තු වනසන්නන් නිදන් හොරුන් පාඩුවේ හොරකම් කරගෙන යති. මාධ්‍යවල අපිත් ඒවා ගැන ලියමු.

I කුසුම්සිරි විජයවර්ධන