2022 දෙසැම්බර් 25 වන ඉරිදා

මේක නියම වැඩක්: අපේ වෙඩින් ප්‍රී ෂූට් එකත් දියත්මා බෝට්ටුවේ තමයි...

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 188

මීට දින කිහිපයකට පෙර බත්තරමුල්ල දියවන්නා ඔය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ  නව බෝට්ටු සේවය මේ වනවිට විශාල ජනතා ආකර්ශනයක් දිනාගැනීමට සමත් වී තිබේ. විශේෂයෙන් නත්තල් සමය හා වසර අවසාන උත්සව සමය හේතුකොට ගනිමින් විනෝදය උදෙසා මෙම බෝට්ටු සේවයේ ගමන් කරන පිරිස වැඩි වෙමින් පවතී. එමෙන්ම මේ දිනවල මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් වැඩි දෙනකු මෙම බෝට්ටු සේවාව හරහා විශාල වින්දනයක් ලබන බව කිව යුතුය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් අනුව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මෙම විනෝදාත්මක බෝට්ටු සේවය ආරම්භ කර ඇත.

'දියත්මා ලෙෂර් බෝට්ටු සේවය' (Diyathma leisure boat service) ලෙස නම්කර ඇති මෙම බෝට්ටුව දිගින් මීටර් 13ක් වන අතර පළල මීටර් 4කින් යුක්තය.

'දියත්මා' බෝට්ටු සේවය ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර තිබුණේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක විදෙස් සංචිත වැඩිකර ගැනීමට නම් මෙරටට පැමිණෙන සංචාරකයන් රට තුළ වැඩි කාලයක් රඳවා ගැනීමේ වැඩපිළිවෙළක් සැකසිය යුතු බවය. සංචාරකයන්ට විනෝදාස්වාදය සැපයීමට මෙවැනි මගී බෝට්ටු සේවා ඉතා වැදගත් බවත් කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි අභ්‍යන්තර ජල මාර්ගවලද මෙවැනි විනෝදාත්මක සේවා සපයන බෝට්ටු සේවයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

දියත උයන දෙස් විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන පෙදෙසකි. විශේෂයෙන් සවස් කාලයේදී තම පවුලේ සාමාජිකයන්, යාළුවන් මෙන්ම පෙම්වතුන් පෙම්වතියන් සමඟ නිදහසේ කාලය ගත කිරීමට දියත උයනට පැමිණෙන පිරිස මේ නිවාඩු සමයේදී වැඩිවීමක් පෙන්නුම් කරයි. මේ නිසාම බත්තරමුල්ල දියවන්නා ඔය ආශ්‍රිතව ආරම්භ කළ මෙම බෝට්ටු සවාරියට විශාල ඉල්ලුමක් පවතී.

''ලබන අවුරුද්දේ අපේ වෙඩින් එක තියෙනවා. ඉතින් දියතේ අලුතින් බෝට්ටු සේවයක් ආරම්භ කරල කියල අපිට ආරංචි වුණා. ඒ බෝට්ටු සේවාව බලන්න තමයි අපි දියතට ආවේ. වැඩේ නියමයි. හොඳ ගමනක්. ඉතින් ලබන අවුරුද්දේ තියෙන අපේ වෙඩින් එකේ 'pre shoot' එක මේ 'දියත්මා' බෝට්ටුවේ ගන්නයි අපි දෙන්නා හිතාගෙන ඉන්නේ.'' යැයි හෝකන්දර මනෝජ් අමරසිංහ දේශයට අදහස් දක්වමින් පැවසීය.

'දියත්මා' බෝට්ටු සේවය උදෑසන 9 සිට සෑම පැයකට වරක් දියවන්නා ඔය ආශ්‍රිතව ගමන් කරයි. මෙය මිනිත්තු හැටක පමණ අපූරු සංචාරයකි. මෙම ගමන සඳහා එක් අයකුගෙන් රුපියල් තුන්සියයක් අය කරන අතර ළදරු පාසල් දරුවන් ඇතුළු කුඩා දරුවන් සඳහා අය කරන මුදල රුපියල් සියයකි. එක් ගමනක් සඳහා මගීන් පනස් පස් දෙනකු සඳහා ආසන පහසුකම් සහිතය.

''අපි බෝට්ටුවේ ගියා. නියම ගමනක්. ළමයිනුත් ආසාවෙන් මේ ගමන ගියේ. කොහොමටත් මාසයකට සැරයක් විතර අපි දියත උයනට අපේ දරුවන්ට එක් කරගෙන එනවා. මෙතනට ආවට පස්සේ තමයි මේ අලුත් බෝට්ටු සේවය ගැන අපිට අහන්න ලැබුණේ. ඉතින් අපිත් ගමන ගියා. විනාඩි හතළිස් පහක් විතර හොඳ ගමනක්. මීට පෙරත් මෙතනින් බෝට්ටු සේවාවක් පටන් ගත්තා. හැබැයි දැන් වෙද්දි ඒ සමහර බෝට්ටු සේවාවන් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒ නිසා 'දියත්මා' බෝට්ටු සේවයත් අතරමග නතර නොකර දිගටම පවත්වාගෙන ගියොත් හොඳයි.'' යැයි ඒ.පී. අරුණ මහතා පැවසීය.

'දියත්මා' බෝට්ටුව වෙන්කර ගැනීමේ පහසුකම ද සහිතය. සම්මන්ත්‍රණ, සාකච්ඡා, සුහද හමු මෙන්ම ඡායාරෑප ගැනීම සඳහා ද මෙම බෝට්ටු සේවය වෙන්කර ගැනීමේ අවස්ථාව උදා වී තිබේ. එහිදී උත්සව සඳහා අවශ්‍ය ආහාරපාන පිටතින් රුගෙන පැමිණිය යුතු අතර 35 දෙනකු සඳහා බුෆේ එකක් තැබීමට පහසුකම් ද මෙහි පවතී. එවැනි අවස්ථාවක් සඳහා බෝට්ටුව වෙන්කර ගැනීමේදී පළමු පැය සඳහා රුපියල් තිස්දහසක් අය කරනු ලබයි. ඊට වැඩිවන පැයකට රුපියල් දස දහසක් බැගින් අය කෙරේ. මුළුමනින්ම වායු සමීකරණය කර ඇති මෙම බෝට්ටුව තුළ විදුලිය, ශීතකරණ පහසුකම් ද සලසා ඇත. මීට අමතරව උත්සවයට අවශ්‍ය පිටතින් ඇණවුම් කරන ආහාරපාන මෙහි ඇති කුඩා බෝට්ටුවක් මගින් දියඹේ නතර කර ඇති 'දියත්මා' බෝට්ටුව වෙත නොමිලේ ගෙන ගොස් දීමට පහසුකම් ද සලසා තිබේ.

මෙය දියත උයන ආශ්‍රිතව පිහිටා ඇති බත්තරමුල්ල දියවන්නා ඔය ආශ්‍රිතව ගමන් ගන්නා බෝට්ටු සේවයකි.

මීට පෙර දියත සිට වැල්ලවත්ත දක්වා ආරම්භ කරන ලද බෝට්ටු සේවය මීට මාස ගණනකට පෙර නතර කෙරුණද එය නැවතත් දිනපතා ගමන් ආරම්භ කර ඇති බව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සඳහන් කරයි. ඒ අනුව හීනටිකුඹුර සිට වැල්ලවත්ත තෙක් එම මගී බෝට්ටු සේවය මගින් ගමන් පහසුකම් සලසා ඇත. එක් ගමන් වාරයකදී රුපියල් තුන්සියයක මුදලක් අය කරන අතර එක් බෝට්ටුවක මගීන් දොළස් දෙනකු සඳහා ඉඩකඩ පවතී.

I දිශානි ජයමාලි කරුණාරත්න