2022 දෙසැම්බර් 25 වන ඉරිදා

හිටු කියලා පහළට එන සුරා බදු ආදායම

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 118

නීත්‍යානුකූලව නිෂ්පාදනය කරන මත්පැන්වල මිල ඉහළ යාම නිසා මේ වනවිට ජනතාව අඩු මිලට ගත හැකි විෂ මත්පැන්වලට නැඹුරු වීමට පටන්ගෙන තිබේ. විෂ මත්පැන් හැරුණුවිට වැඩි මත් බවක් ලැබෙන මිල අඩු මත්ද්‍රව්‍යද අත්හදා බැලීමට පටන්ගෙන ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මුලින් ප්‍රචලිතව තිබූ මත් කුඩු වර්ග වෙනුවට අයිස් වැනි අලුත් මත්ද්‍රව්‍ය රට පුරා වසංගතයක ස්වරූපයෙන් ව්‍යාප්ත වීම සිදුවෙමින් පවතී. මෙම අයිස් මත්ද්‍රව්‍ය පාසල් සිසුන් මාර්ගයෙන් දරු පරපුරට යොමුවීම මේ වනවිට ජාතික ගැටලුවක් බවට පත් වී හමාරය. 

මෙම අයිස් හැරුණුවිට මත්ද්‍රව්‍ය කරල්, පෙති, ලොසින්ජර්, සෙල්ලම් බඩු ආදී විවිධ ස්වභාවයෙන් සමාජගත වීම මේ වනවිට වර්ධනය වෙමින් පවතී. එසේම නීත්‍යානුකූල නොවන මත්පැන් නිෂ්පාදනය ද ඉහළ නැග තිබේ. අනුමත මත්පැන් වර්ගවල මිල අසීමාන්තිකව විටින් විට ඉහළ යාම නිසා ජනතාව හොර මත්පැන් කරා යොමුවීම වැඩි වී ඇත. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන අය කෙටි කාලයකදී ඒවාට ඇබ්බැහි වන අතර තමන් භාවිත කළ මත්පැන් මිලදී ගැනීමට ආදායමක් නොමැති වීම නිසා වැඩි දෙනා අඩු මිලට ගත හැකි විවිධ විෂ මත්පැන් කරා යොමුවීමේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතී. මෙම තත්ත්වය නැවැත්වීමට වගකිව යුතු අංශ මෙතෙක් ගත් උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකිව තිබේ.

ව්‍යාජ මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිසා සිදුවන ආර්ථික හානිය වන්නේ සුරා බදු දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන ආදායම නොලැබී යාමය. රටේ ජාතික අයවැය ලේඛනයෙන් වැඩි ආදායමක් අපේක්ෂා කරන්නේ මත්පැන් වලිනි. මත්පැන් නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය දෙන්නේ එය ප්‍රධානතම ආදායම් මාර්ගයක් වී ඇති නිසාය. නීත්‍යානුකූල මත්පැන් වෙනුවට ජනතාව විකල්ප කරා යොමුවන විට රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන ආදායම ඉවතට ගලාගෙන යයි. එසේම විෂ මත්පැන් සහ මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම නිසා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පහළ යන්නේ ඔවුන් විෂ මත්පැන්වලට සහ මත්ද්‍රව්‍යවලට වැඩි වශයෙන් යොමුවීම නිසාය. අද වනවිට මෙය මර්දනය කළ නොහැකි ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇත.

මේ වනවිට පාරිභෝගිකයාට දරාගැනීමට නොහැකි තරමට මත්පැන්වල මිල ඉහළ යාම සුරා බදු දෙපාර්තමේන්තුවේ ආදායමට කුමන ආකාරයට බලපෑමක් ඇතිකර තිබේදැයි සුරා බදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහගෙන් විමසූ විට ඔහු පැවසුවේ දෙපාර්තමේන්තුවේ ආදායම මේ හේතුව නිසා 40% කින් පමණ අඩුව ඇති බවකි. ආදායම වැඩි කිරීමට නම් මත්පැන් අලෙවිය වැඩි කළ යුතුය. එහෙත් දැනට රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව මත්පැන් පරිභෝජනය වැඩි කිරීම දුෂ්කර බව ඔහු පවසයි.

''වෙනත් අවස්ථාවල මත්පැන් මිල වැඩි වුණේ මත්පැන් බදු ඉහළ දැමීම නිසයි. එහෙත් මෙවර මිල වැඩි වුණේ මත්පැන් බද්ද ඉහළ යාම නිසා නෙවෙයි, විටින් විට වැඩි කළ වෙනත් බදු මෙයට හේතු වුණා. වෙළෙඳ බදු, වැට් බදු, සෙස් බදු ආදිය විටින් විට වෙනස් වුණා. නිෂ්පාදන වියදම්, ප්‍රවාහන වැය, බෙදාහැරීම් වියදම් ආදිය ද ඉහළ යාම නිසා සමස්ත පිරිවැය ඉහළ යාම මත්පැන් මිල ඉහළ යාමට බලපෑවා. මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් තිබුණත්, ඔවුන් අතර මිලේ සෑහෙන වෙනසක් නැහැ. ඒ නිසා මිලේ තරගකාරීත්වය බලපානවා අඩුයි. වියදම වැඩි නිසා ඕනෑවට වඩා මිල අඩු කර අලෙවිය වැඩිකර ගන්න කාටවත් හැකියාවක් නැහැ. ඒ නිසා තමා සැම නිෂ්පාදනයකම වාගේ මිල ඉහළ ගොස් ඇත්තේ. මෙම මිල ඉහළ යාම නිසා වැඩි මිල නිෂ්පාදන අලෙවිය අඩු වී තිබෙනවා. මෙයට පෙර මිල වැඩි උසස් මට්ටමේ යැයි සැලකෙන මත්පැන් පාවිච්චි කළ බොහෝ පාරිභෝගිකයන් මිල අඩු මත්පැන්වලට යොමුවීම වැඩි වී තිබෙනවා.

සාම්ප්‍රදායික මත්පැන්වල මිල ඉහළ යාම නිසා ජනතාව විකල්ප උත්තේජනවලට යොමුවීම වැඩි වී තිබෙනවා. දුම්වැටි, බුලත් විට පාවිච්චිය වැඩි කරලා. මත් කුඩු ආදී මත්වෙන විවිධ උත්තේජන භාවිතයට යාම ඉහළ ගිහින්. අයිස් මත්ද්‍රව්‍යවලට යොමුවීම එහි එක් ප්‍රතිඵලයක්. මිල අඩු, පහසුවෙන් ගෙන යා හැකි, පහසුවෙන් සඟවා ගැනීමට පුළුවන්, ලෙහෙසියෙන් මිලට ගන්නට පුළුවන් විකල්පවලට යොමු වෙනවා. අනිත් කාරණය වන්නේ පාරිභෝගිකයා මිලදී ගැනීමට යාම වෙනුවට එම ද්‍රව්‍ය පාරිභෝගිකයා ළඟට එනවා. ඒ නිසා සොය සොයා යන්නට අවශ්‍ය නැහැ. පහසුවෙන් සඟවා ගැනීමට හැකි කුඩා කොටස්වලින් එනවා. ඇතැම් වෙලාවට ණයට සපයන අයත් ඉන්නවා. ඒ නිසා වයින් ස්ටෝර්ස් එකකට ගිහින් මිලට ගන්නවාට වැඩිය මේවා ලෙහෙසි වෙනවා. අයිස් වැනි මත්ද්‍රව්‍ය කුඩා පාසල් දරුවන් අතර ප්‍රචලිත කිරීමද එම හේතු නිසා සිදුවෙනවා. සඟවාගෙන යාමට පුළුවන්. සොයා ගැනීමට අපහසුයි. පාවිච්චි කරන අය මේවාට ඇබ්බැහි වෙන ස්වරෑපයක් තිබෙනවා. ඒ නිසා දිගටම ගන්නට පුරුදු වෙනවා.

හොරට පෙරන මත්පැන්වලට මුලදී නීත්‍යානුකූල මත්පැන් පාවිච්චි කළ අය යොමුවීම වැඩිවෙලා තියෙනවා. එයට හේතුව මිල දරාගන්නට බැරි වීමයි. අනුමත මත්පැන්වල මිල අඩු කිරීමට අපහසුයි. රටේ හැමදේම මිල වැඩි වනවිට මත්පැන් මිලද වැඩි නොවී පැවතීමට බැහැ. මෙම තත්ත්වය වැටලීම් කර මර්දනය කරන්නට බැහැ. ඉල්ලුම නැවැත්වීමයි කළ යුත්තේ. අපේ දෙපාර්තමේන්තුවේ මුළු නිලධාරීන් සංඛ්‍යාව වන 1000න් 600ක් පමණයි මේ වැටලීම්වලට යොමුකර ඇත්තේ. එම සංඛ්‍යාව වැඩි විය යුතු නමුත් එසේ කිරීම දුෂ්කරයි. ඒ නිසා වැටලීම් පුළුල් කිරීම ප්‍රායෝගිකව අපහසුයි.

මත්පැන් බෝතල්වලට ස්ටිකර් සවි කිරීම ව්‍යාජ ලෙස නිෂ්පාදනය කර හොර මත්පැන් අවම කිරීමට හේතු වෙනවා. මෙම ස්ටිකර් හොරට හදන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශය මගින් ටෙන්ඩර් කැඳවීමකින් තමා සැපයුම්කරුවන් තෝරාගන්නේ. මුලදි ව්‍යාජ ස්ටිකර් පිළිබඳ වාර්තා දෙක තුන තිබුණා. එහෙත් ඒ තත්ත්වය ව්‍යාප්ත වූයේ නැහැ. වසර 5ක කොන්ත්‍රාත්තුවක් අනුවයි මෙම සැපයුම්කරු ස්ටිකර් සපයන්නේ. ඒවා අයථා ලෙස පරිහරණය කිරීමට ඇති අවකාශය අවමයි. ස්ටිකර් ඇලවීම නිෂ්පාදනයේ සුරක්ෂිතතාවට හේතු වෙනවා.''

සුරා බදු දෙපාර්තමේන්තුව 2022 වසරේ ගෙවී ගිය මාස 11 තුළ වැටලීම්වලින් සැකකරුවන් 31342 ක් අත්අඩංගුවට ගෙන තිබේ. එයින් කාන්තාවන් 4559 ක් වීම සුවිශේෂය. සුරා බදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ පවසන්නේ ඇතැම් අවස්ථාවල එම තැන්වල අත්අඩංගුවට ගැනීමට ඉතිරි වී ඇත්තේ කාන්තාවන් පමණක් වීම එයට එක් හේතුවක් වන බවය. නිලධාරීන් එම ස්ථානයේ සිටින අය අත්අඩංගුවට ගැනීම සාමාන්‍යයෙන් සිදුවෙන්නකි. එහිදී ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැත. කාන්තාවන්ට යම් අනුකම්පාවක් ලබාගත හැකි යැයි අදහස් කරනවාද විය හැකිය. ඇතැම් විට කාන්තාවන් කොටුකර ගන්නට දී පිරිමින් ඉතිරි වී යළි මත්පැන් පෙරීම ආරම්භ කිරීමටද ඉඩ තිබේ.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොළ අපරාධ පිළිබඳවය. මෙම වැටලීම්වලින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 118ක දඩ මුදල් ලබාගෙන ඇත. අත්අඩංගුවට ගත් මුළු නඩු භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 350 කි. මෙම වැටලීම් කර ඇත්තේ සුරා බදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය, සුරා බදු ස්ථාන 57කින් හා සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකක 5ක් මගිනි. මාස 11 තුළ සිදු කර ඇති මුළු වැටලීම් ප්‍රමාණය 31342 කි.

මෙම මාස 11 තුළ මත්පැන් විකිණීම සඳහා සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිතව කළ විමර්ශනවලින් වැරදි 3640 ක් අනාවරණය කරගෙන තිබේ. එසේම මේ දක්වා මෙම වැරදිවලට ස්ථානීය සමථ ක්‍රියාවලියකින් අය කළ ගාස්තු ප්‍රමාණය රුපියල් මිලියන 127 කි. සමථ අවස්ථාව පිළිබඳ සුරා බදු මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ කියයි.

''මෙහිදී සිදුවන්නේ අධිකරණ ක්‍රියාමාර්ගයට නොගොස් එම අවස්ථාවේදීම සුරා බදු නිලධාරීන්ට ලැබී ඇති බලතල අනුව යම් ස්ථානීය දඩයක් අය කිරීමක්. සුරා බදු වැරදි සඳහා අධිකරණයට යාමේ විශාල කාලයක්ද වැඩි නිලධාරීන් යොමු කිරීමක්ද සිදු වෙනවා. එසේම උසාවි කටයුතුවලට වියදමක්ද යනවා. එම ස්ථානයේදීම සමථ කිරීමකට යොමු කළ විට එම වරදේ ස්වභාවය, නිෂ්පාදනවල ප්‍රමාණය අනුව යම් ගාස්තුවක් ගෙවීමට සිදුවෙනවා. මේ පිළිබඳ ඇතැම් අය විවේචනය කළත් එහිදී අයථා ක්‍රම සිදුවන බවක් කියන්නට බැහැ. සමථ ක්‍රියාවලියකට යාම නීත්‍යානුකූලයි. එහිදී වැරදිකරුට දඬුවම් කිරීම මෙන්ම අපේ දඩ ආදායම ද ඉහළ නංවා ගැනීමට හැකි වෙනවා.''

මත්පැන් බෝතල්වල විශ්වාසය සුරක්ෂිත කිරීම සඳහා ඒවා මත අලවන ස්ටිකර් පිළිබඳවද විවිධ චෝදනා එල්ල වේ. කැබිනට් මණ්ඩලයේම සාමාජිකයකු වන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගියදා පැවසුවේ මෙම ස්ටිකර් ඇලවීමේදී සිදුවන අක්‍රමිකතාව නිසා රජයට වසරකට රුපියල් බිලියන 60 ක පමණ පාඩුවක් සිදුවන බවය. සැපයුම්කරු වන ඉන්දීය සමාගම ලොව රටවල් තුනක් මගින් අසාදු ලේඛනගත කළ සමාගමක් වන අතර, ඒ පිළිබඳ චෝදනා රුසක් එල්ල වූ එකක් බවද ඔහු පෙන්වා දුන්නේය. මෙම සමාගමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක්ද පවතින බව ඔහු කීවේය. සමාගම සුරා බදු දෙපාර්තමේන්තුවට ස්ටිකර් ලක්ෂයක් දෙනවා නම් ව්‍යාජ ලෙස සකස් කළ ස්ටිකර් කෝටි දෙකක් පෞද්ගලික අංශයට දෙන බව ඔහු කීවේය.
මන්ත්‍රී බුද්ධික පතිරණ පෙන්වා දුන්නේ සුරා බදු දෙපාර්තමේන්තුව හරහා වසරකට රුපියල් බිලියන 150ක් පමණ අහිමි වන බවය. මත්පැන් බෝතල් මත අලවන ස්ටිකර් කේතය හා කෘත්‍රිම රා නිෂ්පාදනයේ අක්‍රමිකතා මගින් මේ වංචාව කරන බව ඔහු අවධාරණය කරයි. සුරා බදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් මෙයට වගකිව යුතු යැයි ඔහු කියයි. ඔහු පවසන්නේ මෙය සංවිධානාත්මකව කරන දෙයක් බවට සැක කළ හැකි බවයි.

''මත්පැන් බෝතල් මත අලවන ස්ටිකරයේ කේතය බලාත්මක කරලා නැහැ. එය ජංගම දුරකතනයකින් කියවන්න බැහැ. එහෙම කරලා තියෙන්නේ හොර ස්ටිකර් ගෙන්වන්න තියෙන වුවමනාවට. මෙවැනි හොර ස්ටිකර් පාවිච්චි කරලා අහුවුණාම ස්ථානීය දඩයක් කියන දඩයක් ගහලා ඒ ක්‍රමවේදයට සිද්ධිය සමතයකට පත් කර ගන්නවා. මෙම ස්ටිකර් නිපදවන සමාගමේ කොන්ත්‍රාන්තුව ළඟදී අවසන් වෙන්න යන නමුත් මේ නිලධාරීන් නැවතත් ස්ටිකර් සැපයීම ඒ සමාගමට දෙන්න යනවා. එහෙම කරන්නේ ඔවුන් සමඟ එකතුවෙලා මෙම ජාවාරම දිගටම කරන්න පුළුවන් නිසයි.''

I යසවර්ධන රුද්රිගූ