2022 දෙසැම්බර් 25 වන ඉරිදා

සුපිරි නැව්වලින් කොළඹට බැස්ස සුපිරිම සංචාරකයෝ

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 226

දූපත් රාජ්‍යයක වෙසෙන මිනිසුන් ලෙස නැව්වලින් පැමිණි මිනිස්සු පිළිබඳ විවිධාකාර වූ කතා සිය ගණනක් අපි අසා ඇත්තෙමු. අප රටට ඈත අතීතයේ සිටම විදේශිකයන් පැමිණියේ නාවික මාර්ග භාවිතා කරමිනි. ආක්‍රමණිකයන්, දේශ ගවේෂකයන් මෙහි පැමිණි වාර අනන්තය.

වර්තමානයේ අප නාවික මාර්ග වැඩි වශයෙන් භාවිතා කරනුයේ ආනයන අපනයන ක්‍රියාවලිය සඳහා පමණි. එහෙත් එය එසේ විය යුතු නොවේ. නාවික මාර්ග ඔස්සේ සංචාරක නෞකා මේ රටට ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් අප සතුය.
එම හැකියාව කොතරම් ප්‍රබලදැයි ගෙවී ගිය වසරේ අවසාන කාර්තුව තුළ දී අපි දුටුවෙමු. එම නිසාම ශ්‍රී ලංකාව හා බැඳුණු සංචාරක නෞකා පිළිබඳව සංවාදයක් නිර්මාණය කිරීමට අපි උත්සාහ දරමු. මේ අනාගතය සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය උදෙසා ගොඩනගා ගත යුතුම සංවාදයකි.

එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් නම් සමාගමේ කළමනාකරණයෙන් පසුගිය නොවැම්බර් මාසයේදී සුඛෝපභෝගී මගී නෞකා දෙකක් ශ්‍රී ලංකාවට පැමිණි‍යේය. ඒ ඔස්සේ 4,000කට අධික මගීන් සහ කාර්ය මණ්ඩල පිරිසක් මෙරට සංචාරයේ නිරත වූහ. සැබවින්ම එය සුවිශේෂී තත්ත්වයකි. මෙරට සංචාරක කර්මාන්තයට සංචාරක නැව්වලින් ලබාගත හැකි දායකත්වය මේ හරහා පැහැදිලි විය.

කොවිඩ් වසංගතයෙන් පසු මෙරටට පැමිණි පළමු ශීත සෘතු මගී නෞකාව වූයේ Viking Mars නෞකාවයි. එක්සත් ජනපදයේ සුඛෝපභෝගී මගී නෞකාවක් වූ මෙම නෞකාව නොවැම්බර් 18 වැනිදා කොළඹ වරායට සේන්දු විය. දෙදිනක් කොළඹ වරායේ නැංගුරම් ලා තැබූ නෞකාවේ මගීහු මෙරට සංචාරක ගමනාන්ත කිහිපයක සංචාරය කළහ. ඒ අනුව මෙම නෞකාවේ පැමිණි සංචාරකයන් කොළඹ, මහනුවර, පින්නවල, ගාල්ල යන නගරවල සංචාරයේ නිරත වූ අතර මුතුරාජවෙල සහ මාදු ගඟ ආශ්‍රිතව බෝට්ටු සවාරිවලටද එක්ව සිටියහ.

මේ අතර ''Mein Schiff 5” නම් සුඛෝපභෝගී මගී නෞකාවද ඉකුත් නොවැම්බර් 30 වැනිදා සංචාරකයන් 2000ක් සමඟ කොළඹ වරායට සේන්දු වී තිබුණි. මෙම නෞකාව මෙරටට පැමිණ තිබුණේ පළමු වරටයි. මෙම නෞකාවේ පැමිණීම පිළිබඳ මෙරට මාධ්‍ය සියල්ලම පාහේ ඉහළ අවධානයක් යොමුව තිබුණි.

කොළඹ වරායෙන් අනතුරැව හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණි ‘Mein Schiff 5’ නමැති සුඛෝපභෝගී මගී නෞකාවේ සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය වූයේ, යාල ජාතික වනෝද්‍යානය, උඩවලව වනජීවී උද්‍යානය සහ ඓතිහාසික මුල්කිරිගල රජමහා විහාරයටයි.

මෙම නෞකාවේ ආගමනයත් සමඟ යාල - උඩවලව වනෝද්‍යාන සංචාරකයන්ගෙන් පිරීගිය බව කියැවුණි. මෙම නෞකාවේ සංචාරකයන් හේතුවෙන් දකුණේ බොහෝ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයේ නියුතු ප්‍රජාවට වාසි සැලසුණු බවද වාර්තා විය. වසංගතය සහ ආර්ථික අර්බුදයෙන් පසුව එකවර මෙතරම් සංචාරක පිරිසක් පැමිණීම සංචාරක කර්මාන්තයේ නියුතු වූ ප්‍රජාව තුළට විශාල සතුටක් ඇති කළ බවද පැහැදිලි විය. කෙසේ වෙතත් අප මෙහිදී පැහැදිලි කළ යුත්තේ අප රට නාවික ගමනාගමනය අතින් ඉතා සුවිශේෂී ස්ථානයක පසුවෙන බවයි. මැදපෙරදිග, ඉන්දියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරැව හරහා ගමන් කරන බොහෝ සංචාරක නෞකා කොළඹ සහ හම්බන්තොට වරායන් වෙත ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් අප සතුව පවතී. එහෙත් ගැටලුව වී ඇත්තේ එය මේතාක් ප්‍රමාණවත් පරිදි සිදුවූවාද යන්නයි.

මෙම දෙසැම්බරයේද මගී නෞකා කිහිපයක පැමිණීම කැපී පෙනුණි. දෙසැම්බර් තුන්වැනිදා මගීන් 480ක් සහ කාර්ය මණ්ඩලය 400ක් රුගත් Azamara Quest නම් මගී නෞකාව කොළඹ වරායට සේන්දු විය. මෙම නෞකාවෙන් පැමිණි බොහෝ සංචාරකයන් යුරෝපීය ජාතිකයන් වූ අතර කොළඹ වරායෙන් අනතුරැව දෙසැම්බර් 4 වැනිදා දිනයේදී එය හම්බන්තොට වරාය වෙත ළඟා වී තිබුණි.

මෝල්ටාවේ ධජය යටතේ ලියාපදිංචි කර තිබූ මෙම නෞකාව ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට පැමිණි අතර ශ්‍රී ලංකාවෙන් පසු ඉන්දුනීසියා බලා පිටත්ව ගියේය.

එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගමේ කළමනාකරණයෙන් මෙලෙස නෞකා කිහිපයක් මෙරට පැමිණීම සංචාරක කර්මාන්තය කෙරෙහි සාධනීය බලපෑමක් වූ බව සඳහන් කළ යුතුය. සංචාරක අමාත්‍යාංශය අනාවරණය කරන අන්දමට සංචාරක නැව් ආකර්ෂණය කර කරගැනීම වෙනුවෙන් ලොව ප්‍රමුඛ පෙළේ ලාභදායී සුඛෝපභෝගි මගී නැව් ව්‍යාපාරයක් වන Blue Chip වැනි සමාගම් සමඟද හවුල්කාරීත්වය ගොඩනඟා ගැනීමට මෙරට සංචාරක කර්මාන්තය බලධාරීන් උත්සාහ දරමින් සිටිති.
පසුගිය 18 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ධනවත් සංචාරකයන් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට සේන්දු විය. ඇමරිකාවේ ධනවත්ම සංචාරකයන් 108 දෙනෙකු රුගත් තවත් අධි සුඛෝපභෝගී මගී නෞකාවක් වන “Ocean Odyssey” නෞකාව මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබිණි. එය මෙරටට සේන්දු වූ සිව්වැනි මගී නෞකාව විය.

''Ocean Odyssey” නෞකාව ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට සේන්දු වූ අතර දෙසැම්බර් 19දා ත්‍රිකුණාමලය වරායට යාත්‍රා කළේය. මෙම නෞකාවේ පැමිණි සංචාරකයන් කොළඹ වරායෙන් බැස කොළඹ, කුරැණෑගල හබරණ, සීගිරිය, ත්‍රිකුණාමලය අවට සුඛෝපබෝගී බස් රථවලින් දින දෙකහමාරක් පමණ සංචාරය කිරීමෙන් අනතුරැව දෙසැම්බර් 21වැනි දින ත්‍රිකුණාමලය වරායෙන් යළි නෞකාවට ගොඩවූහ.

දැනට ලැබී ඇති දත්ත අනුව මේ වසර නිමාවීමට පෙර තවත් එක් මගී නෞකාවක් හෝ හෝ මෙරටට පැමිණීමට නියමිතය. ඒ අනුව 2022 වසරේ ශීත සෘතුවේ මගී නෞකා පහක සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීමට රටක් ලෙස අප සමත් වනු ඇත. මේ අතර සුඛෝපභෝගී මගී නෞකා 17ක් ලබන වසරේදී ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිතව ඇතැයි කොළඹ වරාය ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් ඒත් දැනට තහවුරැ කර ඇති ප්‍රමාණය පමණි. සුඛෝපභොගී මගී නෞකා අතර ලොව විශාලතම සහ වඩාත් ජනප්‍රියතම මගී නෞකාවක් වන Queen Mary 2 නෞකාවද එළඹෙන 2023 වසරේ මෙරටට පැමිණෙනු ඇතැයි කියැවේ.

සැබැවින්ම මෙම සංචාරක නෞකා පැමිණීම පිළිබඳ තොරතුරැ සංචාරක කර්මාන්තය කෙරෙහි ඉතා සතුටුදායකය. එහෙත් COVID19 වසංගතයට පෙරාතුව ඉතාමත් හොඳ සුඛෝපභෝගී මගී නෞකා පැමිණීමක් මෙරට වෙත සිදුවෙමින් පැවති බව අප සිහිපත් කළ යුතුය. එහිදී 2019 වසරේදී පමණක් එවැනි නෞකා 54ක් මෙරටට පැමිණ ඇති අතර, 2018 වසරේදී නෞකා 42ක් පැමිණ තිබේ.

ඒ අනුව මෙරට සංචාරක නෞකා ආකර්ෂණය කර ගැනීම සම්බන්ධ තවත් බොහෝ ප්‍රවර්ධන වැඩසටහන් අප විසින් සිදුකළ යුතු බව පැහැදිලි වේ. අප දූපත් රාජ්‍යයේ පිහිටීම සැබැවින් ඊට කදිම රැකුලකි. සිදුකළ යුතුව ඇත්තේ උත්සාහ දැරීමයි.

I චමිඳු නිසල් ද සිල්වා