"ජිවිතය ගැන තමන්ට තවදුරටත් බලාපොරොත්තු සහගත විය හැකි යැයි සිතන විට, ඒ ප්‍රිතීයෙන් ඔහු ඉපිලෙන විට, දරුවෙකුගේ මුවගින් නැඟෙන සිනහවෙන් මම සැමවිටම උද්දාමයට පත්වෙමි. අපි ලියෝ මෙසී පදනම නිර්මාණය කිරීමට තීරණය කළේ එබැවිනි, දරුවන් සතුටු කිරීම උදෙසා මම, පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස දිගටම කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය හා කැපවීම හා සමාන උද්‍යෝගයකින් යුතුව දිගටම සටන් කරමි."
මේ ප්‍රකාශය කළේ 2022 පාපන්දු ලෝක කුසලානය දිනාගත් ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලයනල් මෙසී නැතිනම් ලියෝගේය. ලෝකයේ ඉහළම ආදරය දිනාගත් අපේ කාලයේ සුපිරි පාපන්දු තරුව වන ලයනල් මෙසිගේය. ඔහු මේ කාලයේ ක්‍රීඩාව තුළින් බරසාර ලෙස මුදල් උපයන්නෙකි. ඒ හා සමානවම ඒ මුදල් සරුසාර ලෙස වියදම් කරන්නෙකි. මේ මුදලින්ද බරපතළ කොටසක් ඔහු වෙන්කර ඇත්තේ ලෝකයේ දුක්විඳින දරුවන් වෙනුවෙන් වීම ඔහුගේ ජනකාන්ත දිදුලන ප්‍රතිරූපය තවත් බබළවන අපූරුවකි.
ෆෝබ්ස් සඟරාවට අනුව 2021 මැයි සහ 2022 මැයි අතර ඔහු ඩොලර් මිලියන 130ක් ගෙදර ගෙන ගියේය. මෙසිගේ Paris Saint- Germain කණ්ඩායමේ වැටුප පමණක් වාර්ෂිකව ඩොලර් මිලියන 35ක් වේ. එයින් අදහස් කරන්නේ ඔහු සතියකට ඩොලර් 738,000ක් හෝ දිනකට ඩොලර් 105,000ක් හෝ පැයකට ඩොලර් 8,790ක් උපයා ගන්නා බවයි. ඔහු ඉකුත් ගිම්හානයේදී ප්‍රංශ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ගිවිසුම අත්සන් කරන විට පමණක් ඩොලර් මිලියන 25ක එකතුවීමේ ගාස්තුවක් ලබාගත් බව ඊවිනිං ස්ටෑන්ඩර්ඩ් වාර්තා කළේය.
ෆෝබ්ස් සඟරාවට අනුව, මෙසී පිටියේ සහ ඉන් පිටත ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඩොලර් බිලියන 1.15ක් උපයා තිබේ. මෙසි හැර දැනට ක්‍රියාකාරී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනෙකු පමණක්, එනම් ලෙබොර්න් ජේම්ස්, ක්‍රිස්ටියානො රොනාල්ඩෝ, මෙන්ම ටයිගර් වුඩ්ස්, රොජර් ෆෙඩරර් සහ ෆ්ලොයිඩ් මේවෙදර් සිය වෘත්තීය ඉපැයීම්වලින් මෙලෙස ඩොලර් බිලියන 1ක් ඉක්මවූ ඉහළම ආදායම් ලබා ඇත.
මෙලෙස ලෝකයේ හොඳම උපයන්නන් අතර මුල් තැන ගත් මෙසී, ඔහුගේ මේ ධනය බෙදාදීමේදී ද ඉතා ත්‍යාගශීලී වූ ආකාරය දැන් එළිදරව් වී තිබේ. ඔහු බොහෝවිට දරුවන් ඉලක්ක කරගත් පුණ්‍ය ප්‍රයත්නවල නියැලී ඇත. එය ඔහුගේ ළමා කාලය තුළ ඔහු මුහුණ දුන් වර්ධක හෝර්මෝන ආශ්‍රිත සෞඛ්‍යමය දුෂ්කරතාවල මතකය සහ එයට ලැබුණු ප්‍රතිචාර හේතුවෙන් පැන නැගුණු නැමියාවකි. වයස අවුරුදු 13දී ආර්ජන්ටිනාවේ තරුණ ලයනල් මෙසීගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙවන බවට Barcelona ක්‍රීඩා සමාජය සිය පාපන්දු ඉතිහාසයේ හොඳම කොන්ත්‍රාත් ගනුදෙනුව සිදුකළේ තුවායක් මත අත්සන් තබමිනි. 2007දී මෙසී බොස්ටන්හි මාරාන්තික රෝගී දරුවන් සඳහා වූ රෝහලකට ගිය සංචාරයකින් පසු, ඔහුගේ ඉපැයීම්වලින් කොටසක් නැවත සමාජයට ආයෝජනය කිරීමට ඔහු තීරණය කළ ශෝචනීය අත්දැකීමක්ද ඔහුට ලැබුණි. ඒ අනුව 2004 සිට UNICEF සමඟ එක්ව කටයුතු කළ ඔහු 2007දී එය හා පිහිටුවන ලද ලයනල් මෙසී පදනම ලොවපුරා සිටින අවදානමට ලක්විය හැකි දරුවන්ට බොහෝ උපකාර කරන්නකි. ඔහුගේ පදනම හරහා මෙසී නව වෛද්‍ය පර් යේෂණ ප්‍රදාන සහ වෛද්‍ය පුහුණුව සඳහා මුදල් ලබා දී ඇත. ආර්ජන්ටිනාව, ස්පාඤ්ඤය සහ ලෝකයේ වෙනත් තැන්වල වෛද්‍ය මධ්‍යස්ථාන සහ ව්‍යාපෘති සංවර්ධනය සඳහා ආයෝජනය කර ඇත. UNICEFට අනුව, සිරියාවේ යුද්ධයෙන් අනාථ වූ ළමුන් 1,600 ක් සඳහා පන්ති කාමර තැනීමට පදනමට උපකාර කිරීම සඳහා 2017 දී මෙසී ඔහුගේම මුදල් පරිත්‍යාග කළ අතර 2019 දී මෙම පදනම කෙන්යාවේ පුරවැසියන් සඳහා ආහාර සහ ජලය සැපයීම සඳහා ඩොලර් 218,000 ක් පරිත්‍යාග කළ බව වාර්තා විය.
මෙසී 2010 මාර්තු මාසයේ සිට යුනිසෙෆ්හි සුහදතා තානාපතිවරයෙක් ලෙස සේවය කරයි, හයිටි භූමිකම්පාවෙන් පසු ඒ රටේ දරුවන්ගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ඒ වෙත ගිය ඔහු සංවිධානය සඳහා ඔහුගේ පළමු ක්ෂේත්‍ර මෙහෙවර සම්පූර්ණ කළේය. ඔහු එතැන් සිට HIV වැළැක්වීම, අධ්‍යාපනය සහ ආබාධිත දරුවන් සමාජගත කිරීම ඉලක්ක කරගත් UNICEF ව්‍යාපාරවලට සහභාගී වී ඇත. ඔහුගේ පුතාගේ පළමු උපන් දිනය සැමරීම සඳහා, 2013 නොවැම්බර් මාසයේදී, මෙසී සහ තියාගෝ අඩුපාඩු සහිත ළමුන් අතර මරණ අනුපාතිකය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වූහ.
2016 ජූනි 7 වැනිදා, මෙසී තමන් La Razon පුවත්පතට එරෙහිව පැවැරු අපහාස නඩුවක් දිනාගත් අතර ඔහුට වන්දි වශයෙන් යුරෝ 65,000ක් ප්‍රදානය කරන ලදී, ඔහු එම මුළු මුදලම Medecins Sans Frontieres පුණ්‍යායතනයට පරිත්‍යාග කළේය. මෙසී කොරෝනා වයිරසයේ ව්‍යාප්තියට එරෙහිව සටන් කිරීම සඳහා යුරෝ මිලියන 1 (ඩොලර් මිලියන 1.1) වටිනා පරිත්‍යාගයක් කළේය. මෙය ස්පාඤ්ඤයේ බාර්සිලෝනාහි ක්ලිනික් බාර්සිලෝනා රෝහල සහ ඔහුගේ උපන් ආජන්ටිනාව අතර බෙදී ගියේය. මීට අමතරව, Messi ඔහුගේ සෙසු FC Barcelona කණ්ඩායමේ සගයන් සමඟ එක්ව 2020 කොරෝනා වයිරස් හදිසි අවස්ථාවලදී සිය වැටුප් වලින් 70%ක් කප්පාදු කරන ලෙස ඉල්ලා තිබුණි මේ නිසාම එම සියලුම සමාජ ශාලාවල සේවකයන්ගේ වැටුප් සම්පූර්ණයෙන්ම ලබාදීමට හැකිවිය.
මෙසී, පෙලේගේ වාර්තාවක් බිඳ හෙළමින් බාසිලෝනා වෙනුවෙන් ඔහුගේ 644 වැනි ගෝලය ලබාගන්නා විට පැළඳ සිටි ඔහුගේ ඇඩීඩාස් සපත්තු Museu Nacional d’Art de Catalunya කෞතුකාගාරය වෙත පරිත්‍යාග කරන්නට යෙදිණි. පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට සඳහා වූ පුණ්‍යායතනයක් සඳහා උපකාර කිරීමට කෞතුකාගාරය විසින් පසුව මේ සපත්තු වෙන්දේසි කරන ලද අතර එය පවුම් 125,000 කට අලෙවි කරන ලදී.
මේ හැර ඔහු විශ්මයජනක දේපල රාශියකටද හිමිකම් කියයි. Messi සතුව Ferrari F430 Spyder රථයක් තිබේ. ඔහු 2016 වසරේදී ඩොලර් මිලියන 37කට 1957 Ferrari 335 Sport Spider Scaglietti මෝටර් රථයක් මිලදී ගෙන ඇති බවට තවත් කටකතා පැතිර ගියේය. කෙසේ වුවද මෙසී තම මුදල් සුඛෝපභෝගී මෝටර් රථ සඳහා වියදම් කිරීමට කැමතිය, මෙසීගේ ආකර්ෂණීය මෝටර් රථ එකතුවට ඩොලර් මිලියන 2ක Pagani Zonda Tricolore, Ferrari F430 Spyder, Dodge Charger SRT8 සහ Maserati Gran Turismo ඇතුළත් වේ.
මෙසීගේ දේපලවලින් වඩාත්ම සුඛෝපභෝගී වන්නේ බාර්සිලෝනා නගරයට ආසන්නයේ පිහිටි ඔහුගේ ඩොලර් මිලියන 7ක මන්දිරයයි. එය කැස්ටල්ඩෙෆෙල්ස් හි පියාසර තහනම් කලාපයක් ආසන්න ප්‍රදේශයක පිහිටා ඇත. මෙම දේපලට පෞද්ගලික තටාකයක්, ගෘහස්ථ ව්‍යායාම ශාලාවක්, රඟහලක්, ස්පා මධ්‍යස්ථානයක්, මෙසී තම බල්ලා වන “හල්ක්“ සමඟ සෙල්ලම් කිරීමට යොදාගන්නා පාපන්දු පිටියක් මෙන්ම කැටලන් කඳුකරයේ සහ ඒ අසල වෙරළ තීරයේ සිත් ඇදගන්නාසුළු දසුන්ද සහිත පුළුල් ප්‍රදේශයක් ඇතුළත් වේ.
මේ හැර මෙසීට ඔහුගේ උපන් නගරය වන ආර්ජන්ටිනාවේ රොසාරියෝහි පරිසර නිවසක් ලෙස භාවිතා වන මන්දිරයක් සහ ෆ්ලොරිඩාවේ ශාන්ත අයිල්ස් බීච්හි සුඛෝපභෝගී තට්ටු නිවාසයක සම්පූර්ණ මහලක්ද ඔහු සතුය. ඒ සඳහා ඔහු 2021දී ඩොලර් මිලියන 7.3ක් ගෙවා ඇත. ඒ වගේම හෝටල් ගණනාවක හිමිකාරිත්වයද ඔහු සතුය. 2017 සිට, Ibiza, Majorca සහ Barcelona හි නිවාඩු නිකේතන සහිත සුවිශාල Majestic Hotel Group විසින් මෙහෙයවනු ලබන MiM හෝටල් ජාලයට Messi හිමිකම් කියයි. 2021 දී, මේ හෝටල් දාමය සිය පළමු ශීත නිකේතනයද පිරනීස් කඳුවැටි අද්දර අරන් නිම්නයේ විවෘත කළේය. ෆෝබ්ස් සඟරාවට අනුව මේ නව තරු හතරේ හෝටලය කාමර 141 කින් සමන්විත වන අතර ස්පා, ගෘහස්ථ පිහිනුම් තටාකයක්, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක් සහ කඳුකර මාර්ගෝපදේශ සේවා ඇතුළත් වේ.
I සුගත් පී. කුලතුංගආරච්චි