ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ ආර්ථික අගාධයකය. ජනතාව දරිද්‍රතාවයේ පත්ලටම වැටී තිබේ. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන, දරුවන්ගේ පාසල් උපකරණ, ප්‍රවාහන ගාස්තු, විදුලි බිල, ජල බිල ආදි සියල්ලම අහස උසට නැගලාය. විදුලිය නැත. කර්මාන්ත වැසිලාය. රැකියා නැත, රටේ දරුවන්ගෙන් පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන අතර ආදායම් කිසිවක් වැඩි වන්නේ නැත. ජනතාව දිනෙන් දින දිළින්දන් බවට පත්වෙමින් සිටිති. දේශපාලකයන් අතර කඹ ඇදිලිය. ආණ්ඩුව දිනෙන් දින ජනතාව මත බදු පටවමින් රජයේ ආදායම වැඩි කර ගන්නට කටයුතු කරමින් සිටී. සැම තැනකම නාස්තිය හා දූෂණය පැතිර තිබේ.
මෙවැනි වාතාවරණයක් යටතේ දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය සහ ආසියාවේ වේගවත්ම උද්ධමනය මගින් ආර්ථිකය අඩපණ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් ගැඹුරු අවපාතයකට ඇදවැටීමට ඉඩ ඇතැයි බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
බ්ලූම්බර්ග් ආර්ථික විද්‍යාඥයන්ගේ සමීක්ෂණයකට අනුව 2021 වසරේ ජුලි සහ සැප්තැම්බර් අතර කාලයට සාපේක්ෂව 2022 වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය 10%කින් පමණ පහත වැටී තිබේ. ගෙවුණු අප්‍රේල් සිට ජූනි දක්වා කාලය තුළ මෙරට ආර්ථිකයේ පහත වැටීම 8.4% පමණ වෙතැයි ඔවුහු සඳහන් කරති.
අධික උද්ධමනය සහ විශ්වාසනීයත්වය දුර්වලවීම පරිභෝජනය අවම වීමට හා ඉල්ලුම පහත වැටීමට බලපා ඇතැයි දකුණු ආසියාව පිළිබඳ බ්ලූම්බර්ග් ආර්ථික විද්‍යාඥයකු වන අන්කූර් ශුක්ලා ප්‍රකාශ කර තිබේ.
දශක ගණනකට පසු දරුණුතම ආර්ථික කඩාවැටීමකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව, විරෝධතා සහ ඉන්ධන හිඟය හේතුවෙන් භූමියේ විවිධ ක්‍රියාකාරකම් ඇනහිට තිබියදී පවා එම කාර්තුව තුළ තවදුරටත් කඩාවැටීම වළක්වා ගැනීමට උත්සාහ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික කොන්දේසිවලට අනුව ශක්තිමත් මූල්‍ය හා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බලධාරීහු පියවර ගත්හ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අනෙකුත් ණයහිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බවට ශුභවාදී හැඟීමක් මේ වන විට ඇති කර තිබේ. චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකය මෙම මාසය තුළ හිමිවුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීමට අවශ්‍ය වාණිජ සහ ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමඟ ගිවිසුම් ඇතිකර ගැනීම ජනවාරි මාසයේ සිට ආරම්භ විය හැකිය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය මාසයේ ප්‍රකාශ කළේ, ක්ෂය වී ඇති විදේශ විනිමය සංචිතය නැවත පිරවීමට සහ මූල්‍ය ස්ථාවරත්වය ඇතිකර ගැනීමට මෙම සහතිකය උපකාරී වනු ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩකටයුතු අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අවදානම අවම වන අතර ඒ සමඟ පොලී අනුපාතිකයද පහත වැටෙනු ඇතැයිද ආදායම් ගලා ඒම තුළින් මුදල් ඒකකයට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයිද CT CLSA Securities Pvt ආයතනයේ සංජීව ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා රුපියල මැයි මාසයේ සිට ස්ථාවර වී ඇති නමුදු මේ වසරේ එය ඩොලරයට සාපේක්ෂව 80% කින් පහත වැටී ඇත. 2022 දී ව්‍යාපාර වස්තු 28% කින් පහත වැටී තිබේ.
දැඩි ප්‍රතිපත්ති සහ ගෝලීය භාණ්ඩ පිරිවැය පහත වැටීම මධ්‍යයේ පාරිභෝගික භාණ්ඩ මිලද යම් පමණකින් පහත වැටෙමින් ඇති බවක් පෙන්නුම් කරයි. ජූලි සහ සැප්තැම්බර් අතර කාලයේ භාණ්ඩ මිල ප්‍රතිශතය 69.8%ක් ලෙස වාර්තා විය. මහ බැංකුවට ණය ගැනීමේ පිරිවැය 15.5% දක්වා ඉහළ නැංවීමට බල කෙරිණි. එතැන් සිට, ශ්‍රී ලංකාවේ උද්ධමනය මන්දගාමී වී ඇති අතර ලබන වසරේ එය පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර 2022 වසරේ තෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය 11.8% කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය සතියේ එළිදක්වන ලද වාර්තාවකින් අනාවරණය කර තිබේ. එම ආයතනය මගින් නිකුත් කරන ලද වාර්තාව අනුව 2021 ජූලි සිට සැප්තැම්බර් දක්වා වන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 3,269,510කි. 2022 එම කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,884,018කි. එය 11.8%ක පහත වැටීමකි. කෘෂි කර්මාන්තය 8.7% කින්ද, කර්මාන්ත අංශය 21.2%කින් හා සේවා අංශය 2.6,%කින්ද පසුබෑමට ලක්ව තිබේ. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වී වගාව, සත්ව නිෂ්පාදන හා තේ වගාව 20%කින් පමණ පහත වැටී ඇති අතර කර්මාන්ත අංශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය 33%කින් පහත වැටී තිබේ. එම අංශයේ පසුබෑමක් පැවතියද රෙදිපිළි, නිමිඇඳුම් සහ සම්භාණ්ඩ නිෂ්පාදනවලින් 9.3%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
ඔක්තෝබර් මාසය සඳහා වන ජාතික ද්‍රරිද්‍රතා මට්ටම සම්බන්ධයෙන්ද එම දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවට අනුව මෙරට වැසියකුට තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව අවශ්‍ය අවම මුදල රුපියල් 13,810කි. පසුගිය සැප්තැම්බරයේ එය පැවතියේ රුපියල් 13,772ක් ලෙසිනි. දිස්ත්‍රික් පදනම අනුව තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට වැඩිම මුදලක් වැය කිරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවටය. එය එක් පුද්ගලයකුට රුපියල් 14,894කි. අවමය වන රුපියල් 13,204ක මුදල වැය කිරීමට සිදුව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැසියන්ටය.
මේ අතර ලබන වසරේ රජයේ සම්පත් ප්‍රතිව්‍යුහගතකරණය මගින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් උපයා ගැනීමට අපේක්ෂා කරන්නේ යැයි විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කරයි. ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ජනාධිපතිවරයා අදහස් කර ඇති අතර එමගින් උපයා ගැනීමට අපේක්ෂිත ඩොලර් බිලියන 3ක මුදල ලබාගත හැකි වුහොත් භාණ්ඩාගාරය සහ මුදල් සංචිත ශක්තිමත් වනු ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබේ. ලබන වසරේ මුල් කාර්තුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ වෙනත් බහු පාර්ශ්වික ආයතන මගින් අපේක්ෂා කර ඇති සහය හිමි වුවහොත් ආර්ථිකය යළි වර්ධනය වනු ඇති බවද ඔහු පවසා තිබේ.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා