උසාවි නියෝගයක් නිසා පාලන මිල අහෝසි වීමෙන් බිත්තර මිල නොසිතූ ලෙස ඉහළ යාම නිසා උත්සව සමයේ පාරිභෝගික ජනයා දැඩි අසීරුතාවයකට මුහුණ පා සිටිති. රු. 50/- ක ස්ථාවර මිලක පැවති බිත්තරයක් සතියක කාලයක් තුළ රු. 7-15 අතර ප්‍රමාණයක වැඩිවීමක් නිසා අද වන විට රු. 57 - 65 අතර විවිධ මිල ගණන් යටතේ අලෙවි වනු දැකිය හැකිය. බිත්තර මිල ඉහළ යාම දෛනික බිත්තර පරිභෝජනයට පමණක් නොව කොත්තු, රයිස්, බිත්තර ආප්ප ආදී ආපන ශාලා නිෂ්පාදනවලට ද බලපා ඇත. උත්සව සමයේ වැඩි ඉල්ලුමක් පවතින කේක් ඇතුළු බේකරි නිෂ්පාදනවලට බිත්තර අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන බැවින් බිත්තර මිල වැඩිවීම හොඳටම දැනී ඇත.
සෑම වර්ෂයකම දෙසැම්බර් මාසය වන විට බිත්තර මිල උපරිම සීමාවට ළඟා වන අතර මසකින් බිත්තර මිල අඩකින් පහත වැටීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. උත්සව සමයේ බිත්තර සඳහා ඇතිවන අධික ඉල්ලුම මිල වැඩිවීමට ප්‍රධාන හේතුවකි. එහෙත් මෙවර බිත්තර මිල ඉහළ යාම අසාමාන්‍ය අයුරින් සිදුවීම නිසා පාරිභෝගික ජනතාව පමණක් නොව විවිධ කර්මාන්තකරුවන් ඇතුළු ව්‍යාපාරිකයෝ ද අසීරුතාවලට මුහුණ පා සිටිති.
රු. 26/- ක හා රු. 12/- ක මිලක් අතර දෝලනය වූ බිත්තර මිල උපරිම අගය මෙන් දෙගුණය පසු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික මිල වාර්තා අනුව 2021 දෙසැම්බර් මස 24 වැනි දිනට බිත්තරයක මිල රු. 24/- හා රු. 26/- ක්ව පැවති අතර එම වාර්තාව අනුව 2022 දෙසැම්බර් 21 දිනට බිත්තරයක මිල රු. 55/- ක් හා රු. 57/- අතර වාර්තා වී ඇත. නමුත් අද වන විට ඇතැම් ස්ථානවල බිත්තරයක් රු. 65/- කට අලෙවි වන බවත් වාර්තා වෙයි.
මේ වර්ෂයේ දෙවැනි කාර්තුවේ පැවති ආර්ථික අවපාතය හා රුපියල බාල්දුවීම හේතුකර ගනිමින් බිත්තර මිල හිතුමතේ ඉහළ දැමීමට ව්‍යාපාරිකයන් කටයුතු කළ බැවින් බිත්තර සම්බන්ධයෙන් පාලන මිලක් නියම කිරීමට රජයට සිදු විය. ඒ අනුව බිත්තර මිල රු. 43/-ත් හා රු. 45/-ත් අතර මිලකට අලෙවි කිරීමට රජය නියම කළ නමුත් එම පාලන මිල නැවත සමාලෝචනය කිරීමට විෂයය භාර අමාත්‍යවරයාට සිදු විය. ඒ අනුව බිත්තරයක් රු. 50/- කට අලෙවි කිරීමට අනුමැතිය ලැබිණි. කෙසේ නමුත් පනවා තිබූ පාලන මිල සම්බන්ධයෙන් සමස්ත ලංකා වෙළඳුන්ගේ සංගමය විසින් අධිකරණමය ක්‍රියාමාර්ගයකට එළඹීම නිසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා තිබූ මිල පාලන ගැසට් නිවේදනය 2023 පෙබරවාරි මස දක්වා අත්හිටුවනු ලැබුණි. ඒ ඉකුත් 15 වැනි දින අභියාචනාධිකරණය පැනවූ අතුරු තහනමක් මගිනි.
උත්සව සමයේ ඉහළ බිත්තර ඉල්ලුමක් වෙළෙඳපොළේ පැවතිය ද තොග වශයෙන් බිත්තර සැපයීම අඩාල වී ඇත. කොළඹ නගරය තුළ විශාල බිත්තර හිඟයක් පවතින අතර බේකරි සහ කේක් නිෂ්පාදන සමාගම් ද බිත්තර හිඟය නිසා දෛනික නිෂ්පාදන සිදු කිරීමට නොහැකිව දැඩි අසීරුතාවන්ට මුහුණ පා ඇතැයි බේකරි හිමියෙක් පැවසීය. දෛනිකව ඩීමෝ බට්ටා රථයක තබා කොළඹ නුවර මාර්ගයේ වසර පහකට වැඩි කලක් තිස්සේ බිත්තර අලෙවි කළ වෙළෙඳ මහතෙක් දින දෙකක් තිස්සේ බිත්තර තොග සපයා ගත නොහැකිව පිදුරු ඇතුළු උත්සව සැරසිලි භාණ්ඩ විකිණීමට යොමු වී සිටියි.
• ගැසට් එකෙන් බිත්තරේ හිර කළා
සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතාට අනුව බිත්තර හිඟයේ සම්පූර්ණ වගකීම රජයට පැවරෙයි. “කිකිළියෙක් දවසකටම දාන්නේ එක බිත්තරයක්. නත්තල් කාලෙට එක බිත්තරයකට තුන් දෙනෙක් පොරකනවා. එතකොට ඒ තරගය සමනය කරන්නෙ කූල් රෑම් පද්ධතියකින් බිත්තර ගෙඩිය ආරක්ෂා කරගෙන අවශ්‍ය මොහොතේ වෙළෙඳපොළට දෙන හින්දයි. මේ සැරේ අපිට ඒක කරගන්න බැරිව ගියා. මොකද ගැසට් එක ගහලා බිත්තරය හිර කෙරුවා. මීට දින හතළිස් අටකට කලින් මගේ ස්ටෝරුව වැටලුවා. මං ළඟ තිබුණෙ බිත්තර හැත්තැ පන්දහසයි. මගෙ ධාරිතාව තියෙනවා බිත්තර ලක්ෂ 60ක් ගබඩා කරන්න. ඒ වෙද්දි නීතියක් දාලා තිබුණා බිත්තර 50000කට වැඩිය කූල් රෑම් එකේ තියාගන්න බෑ කියලා. ඒ නිසා මේ ඉල්ලුමට හරියන්න බිත්තර සපයගන්න අපහසු වෙලා තියෙනවා. මේක හරියට වතුර ටැංකියක ප්ලාස්ටික් බෝලේ ඇතුළෙ තියල හිර කරගෙන ඉඳල අත ඇරියා වගේ. දැන් බෝලෙ උඩට ආවා. ඒ හින්දා අද වෙනකොට වෙළෙඳපොළේ එක බිත්තර ගෙඩියක්වත් නෑ ගන්න.”
බිත්තර මිල ඉහළ යාම සහ රජය ගත් ඇතැම් වැරදි තීන්දු තීරණ බිත්තර හිඟයට බලපෑ බව පෙන්වා දෙන කුඩා පරිමාණයේ බිත්තර නිෂ්පාදකයකු වන අමරසිංහ මහතා පෙන්වා දෙන්නේ ඉන්දියාවෙන් බිත්තර ගෙන්වන බවට තර්ජනය කරමින් බිත්තර නිෂ්පාදකයන් අධෛර්යමත් කිරීමේ ප්‍රතිවිපාක නුදුරේදීම රජයට දැක බලාගත හැකි බවයි. “මේ වෙනකොට බිත්තර නිෂ්පාදනය කළ මධ්‍යම හා සුළු පරිමාණ ගොවියෝ කර්මාන්තයෙන් ඉවත් වෙලා. කුකුළු කොටු පාළුවෙලා. සත්තු දමලා පටන් ගත්තොත් ඵලදාව ගන්න තව මාස හතක් අටක් ඉන්න වෙනවා. ඒ වෙනකොට වෙළෙඳපොළේ තත්ත්වය කොහොම තියේවිද කියන්න බෑ. ඒක නිසා මේ වැඩේට අතගහන්න බෑ. කවුරුත් බිත්තර මිල ගැන කතා කළාට සතුන්ට දෙන කෑම ගැන කතා කරන්නෙ නෑ. බෙහෙත් මිල ගැන කතා කරන්නෙ නෑ. ප්‍රවාහන වියදම්, වතුර බිල්, කරන්ට් බිල් ගැන කතා කරන්නෙ නෑ. ඒ නිසා මේ අවදානම් රස්සාවට වඩා හොඳයි කුලී වැඩක් කරනවා.*
• බිත්තර වෙළෙඳුන් කෘත්‍රිම හිඟයක් මවලා
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතාට අනුව වෙළෙපොළේ කිසිදු බිත්තර හිඟයක් නොපවතී. ඔහු පෙන්වා දෙන්නේ බිත්තර වෙළෙඳුන් විසින් කෘත්‍රිම හිඟයක් මවා ඇති බවයි. බිත්තර නිෂ්පාදන මිල සාධනීය ලෙස අඩු වී ඇති නිසා රජය පනවා තිබූ පාලන මිලටත් වඩා අඩු මිලකට බිත්තර අලෙවි කළ හැකි බව ඔහු පවසයි. උත්සව සමයේ බේකරි, හොටෙල්, කේක් සහ රසකැවිලි නිෂ්පාදනය සඳහා අමතර තොග මිලදී ගනු ලබන නිසා බිත්තර මිල ඉහළ යන බවත් එම ඉල්ලුමට සරිලන තොග බිත්තර නිෂ්පාදකයන් සන්තකයේ පවතින බවටත් සහතික කළ ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ පෙබරවාරි මාසය වන විට බිත්තර මිල පහළ යනු ඇති බවයි.
ඉකුත් 21 වැනිදා මාධ්‍ය හමුකට එක්වෙමින් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා ද මහජනයාගෙන් ඉල්ලා සිටියේ බිත්තරයක් රු. 55/- කට වඩා වැඩි මිලකට මිල දී නොගන්නා ලෙසයි. බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සහ කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයට අනුව බිත්තර වෙළෙඳාමේ නියුතු ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ මාෆියාවක් නිසා මේ හිඟය නිර්මාණය වී ඇත. බිත්තර කර්මාන්තයට සම්බන්ධ එක් එක් සංගම් එකිනෙකාට චෝදනා කරමින් පාරිභෝගිකයා මුලා කරනවා විනා ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කරනු නොපෙනේ.
මීට පෙර අවස්ථා කිහිපයකදී දෙසැම්බර් මස බිත්තර හිඟයක් නිර්මාණය වනු ඇතැයි අප විසින් ද පෙන්වා දුන් අතර ඒ සඳහා විසඳුමක් ලෙස ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ අවස්ථාව ඕනෑ තරම් පැවතියේය. දෙසැම්බර් මාසයට අවශ්‍ය බිත්තර නොවැම්බර් මස ඇණවුම් කර නැව්ගත කර තිබුණේ නම් කිසිඳු හිඟයක් හෝ අසාමාන්‍ය මිල වර්ධනය වීමක් ඇති නොවන්නට ඉඩ තිබුණි. කෙසේ නමුත් ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාවෙන් බිත්තර ඇණවුම් කිරීමට ඉඩ ඇති අතර ඒවා ලැබීමට නියමිත වනුයේ ජනවාරි මස අග භාගයේය. එසේ වුවහොත් බිත්තර කර්මාන්තය තවදුරටත් කඩා වැටීම අපේක්ෂා කළ හැකිය. එවැනි තත්ත්වයක් තුළ ආරක්ෂා විය හැක්කේ දැවැන්ත ව්‍යාපාරිකයන් අතළොස්සකට පමණි.
I සකීෆ් සාම්