අසීමිත අතවරවලට ලක් වූ ශ‍්‍රී ලංකාව එළැඹෙන නව වසර ඉදිරියේ අපේක්ෂා සහගතව සිටී. යටගියාව අමතක කළ යුතු නැත. මෑත අතීතයේ අත්දැකීම් අනාගතයට පාඩමකි. ආර්ථිකය බිඳ වැටිණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය අර්බුදයකට පත්විය. ජන සමාජය වියවුල්සහගත තැනකට පත් වූ අතර ඇතැම් කොටස් නීතිය අතට ගෙන ක‍්‍රියා කළේය. සාමකාමී අරගලය පසුව මහජන විරෝධයක් දක්වා වැඩි දියුණු වූ අතර ප‍්‍රචණ්ඩත්වය මැඩ පැවැත්වීමට උත්සුක නොවීම ඉදිරියේ සිදුවූ ජීවිත හා දේපොළ විනාශය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපයට කැළැලක් විය.
නිදහස ලබා වසර අසූවක කාල පරිච්ඡේදයක් ගතකර ඇත. පසුගිය දශක අට සැහැල්ලුවෙන් පැමිණි ගමනක් නොවේ. බලයට පත් ආණ්ඩු වරින්වර අනුගමනය කළ ප‍්‍රතිපත්ති වෙනස් කළේය. සංවෘත ආර්ථිකයකින් විවෘත ආර්ථිකයක් කරා අවතීර්ණ විය. කේවල ඡන්ද ක‍්‍රමය සමානුපාතික ඡන්දයක් දක්වා හරවන ලද අතර විධායක ජනාධිපති ධුරයක් ඇතිකර පළාත් සභා හඳුන්වා දුන්නේය. මෙම කාලය තුළ මහවැලිය වැනි දැවැන්ත යෝජනා ක‍්‍රම පමණක් නොව 1971 කැරැල්ල, 1983 ජාතිවාදී අරගලය හා උතුරේ ත‍්‍රස්තවාදය ද උත්සන්න විය. සුනාමි ව්‍යසනය, පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ කොවිඩ් වසංගතය ශ‍්‍රී ලංකාවේ නැගීම අවහිර කරන ලද බාධක අතර කැපී පෙනෙනන ස්ථාන වශයෙන් සඳහන් කළ හැක. දශක අට පුරා සියයට පහක පමණ සාමාන්‍ය වර්ධනයක් පවත්වාගන්නට සමත් වූ ශ‍්‍රී ලංකාව 2022 වසරේ දී සියයට දහයක පමණ ඍණ අගයකින් පහතට වැටෙනු ඇතැයි සැලකේ. 2023 වසර පවා ඍණ ආර්ථිකයක් විය හැකි බවට අනතුරු අඟවා ඇත.
• අරගලයකට මාවත විවර වූ අන්දම
වසර ඇරඹෙන විට ජනතාව මහත් දුෂ්කරතාවයක පසුවූහ. ආනයන පාලනය කර තිබුණ අතර අධික විනිමය හිඟය පදනම් කරගෙන රටට ගෙන්වන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා හිඟ බව මාධ්‍ය වාර්තා කළේය. විදුලිය කප්පාදුව, ගෑස් සහ ඛනිජ තෙල් හිඟය විශාල ප‍්‍රශ්න මතු කරන ලද බව සඳහන් කළ යුතුය. ඉන්ධන හිඟය ජනතාව පොලිම් ක‍්‍රමයකට යොමු කරන ලද අතර සැතපුම් ගණන් දිග පෝලිම්වල දවස් ගණන් ගත කරන ලද පිරිස් තමන්ගේ වාහනවලට ඉන්ධන සපයා ගැනීම සඳහා මහත් ආවේගයකින් කටයුතු කරන ලද බව සඳහන් කළ යුතුය. දිනපතා ඉන්ධන පෝලිම්වල මරණ සිදුවූ අතර අධික විඩාව එයට හේතු වූ බව කියැවිණි. නාගරික ජනතාව සිය ඉවුම් පිහුම් සඳහා ගෑස් සොයාගත නොහැකිව කම්පාවට පත්ව සිටියහ. වඩාත් දුෂ්කර වූයේ විදුලිය සැපයීම අඛණ්ඩව කරගත නොහැකිවීමය. අප්‍රේල් මාසය වනවිට දිනකට පැය පහළොවක් දක්වා විදුලිය කපා හැරිණ. කර්මාන්ත ව්‍යාපාර කරගෙන යා නොහැකි වූ අතර සාමාන්‍ය ජනතාව ආණ්ඩුව වෙත සිය බලවත් විරෝධය පළ කරමින් සිටියහ. දේශපාලන පක්ෂ විරෝධතා පෙළපාළි සංවිධානය කරන ලද අතර දහස් ගණන් ජනතාව පාරට බැස ජනාධිපතිවරයා හා ආණ්ඩුව ගෙදර යා යුතු බවට බල කරන අරගලය ආරම්භ කළහ.
මහජනතාව පත්කළ මහජන නියෝජිතයන්ගේ හැසිරීම ගැන කලකිරීමට පත් තරුණ පෙළ සමාජ මාධ්‍ය භාවිත කරමින් විශාල මතවාදයක් අරඹන්නේ නොසිතන පරිදි ජන රැල්ලක් ගොඩනගමිනි. අවසානය කෙබඳු විය හැකිදැයි නොතකන ලද ජන කොටස් ගාලු මුවදොර ප‍්‍රදේශය සිය සටන් භුමිය බවට පත් කරගෙන තිබුණි. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමක් අප්‍රේල් මුල් සතියේ ඉවත් වූ අතර පසුව තවත් පනස් දෙනෙක් ස්වාධීනව කටයුතු කරන බව ප‍්‍රසිද්ධ කළහ. අරගලකරුවන්ට එය ප‍්‍රමාණවත් වූයේ නැත. දූෂණය, අධික ණය බර, අක‍්‍රමවත් ආර්ථික පාලනය හේතුවෙන් ඉහවහා ගිය ප‍්‍රශ්න විසඳා ගැනීමට අලුත් ව්‍යුහයක අවශ්‍යතාව අවධාරණය වෙමින් තිබුණි.
රට තුළ නිර්මාණය වෙමින් පැවැති වාතාවරණය නිරීක්ෂණය කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධාන වහා ඉවත්වන ලෙස රජයට බල කරන ලද අතර ආනයන හා අපනයන අංශ, සංචාරක, නිෂ්පාදන හා අලෙවි කටයුතුවල නිරත ප‍්‍රධාන පෙළේ සංවිධාන තිස් අටක් රට වහාම නිවැරදි මගට ගන්නා සේ බලකරන ලිපියක් වගකිවයුතු අංශවලට යොමු කිරීම විශේෂිත සිද්ධියකි.
• සඟ වෙද ගුරු ගොවි කම්කරු එකතුවක්
එක්සත් නිදහස් සන්ධාන රජය ගොඩනගන්නට පෙළගැසුණු ජන බලය ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රාජපක්ෂ කඳවුරට විරුද්ධව නැගෙමින් සිටි වකවානුවකි. ගොවිතැනට රසායනික පොහොර වහාම තහනම් කරන යෝජනාවක් ආණ්ඩුව ඉදිරිපත් කර තිබුණ අතර එය කෘෂිකර්මයෙහි නිරත ජන කොටස් මහත් කැළඹීමකට පත් කළ කරුණකි. දිනපතා ගොවි ජනතාව නගර පුරා විරෝධතා සංවිධානය කරමින් ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ගවලට විරුද්ධව නැගී සිටීම සාමාන්‍ය සිද්ධි බව පෙනිණ. සමාජ මාධ්‍ය පාලනය සඳහා පියවර ගත් ආණ්ඩුව සියලු අංශ අඩපණ කරන ලද නමුත් එය විරෝධය තවත් උත්සන්න කිරීමට හේතුවක් පමණක් බව පෙනී ගිය කරුණකි. මැයි මාසය තීරණාත්මක විය. පැවැති ආණ්ඩුව වෙනුවට තාවකාලික අලුත් පිරිසක් පාර්ලිමේන්තුවෙන් තෝරාගෙන දහහතර දෙනෙකුගෙන් යුතු තාවකාලික ඇමැති මණ්ඩලයක් පත් කරගත්තේය. ඒ වනවිට රට පුරා වරින්වර හදිසි නීතිය පනවා අලුත් රෙගුලාසි නිකුත් කරන ලද නමුත් ජනබලය පාලනය කිරීම දුෂ්කර බව පැහැදිලිව දැකගත හැකිවිය. ජනතාව ජනාධිපති නිවෙස ඉදිරිපිට කරන ලද විරෝධය පදනම් කරගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ වාසස්ථානය වෙනස් කරන ලද නමුත් සමාජය සන්සුන් වූයේ නැත. ජනාධිපතිවරයා ආරක්ෂාව පතා රටින් බැහැර වූ අතර ඒ වන විට රාජපක්ෂ පවුලේ කාල්ටන් හවුස් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ නිවාස හා දේපොල විශාල සංඛ්‍යාවක් ගිනිතබා තිබුණි.
මෙම විනාශයට මුල් වූයේ අගමැති කාර්යාලයේ දී හමු වූ පිරිසක් විසිරයාමේ දී ගාලු මුවදොර අරගලකරුවන්ට කරන ලද පහරදීමක් පදනම් කරගෙන බව සඳහන් කළ යුතුය. රට පුරා ඇවිලුන සිද්ධි අතරතුර ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී අමරකීර්ති අතුකෝරළ අමානුෂිකව ඝාතනය වීම අරගලය නාමයෙන් සිදුවූ අවාසනාවන්ත සිද්ධියකි.
අරගලයට මුල් වූයේ ආර්ථික ප‍්‍රශ්න වන අතර ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව ඉවත්වීමෙන් පසු ආර්ථිකය නැවත පුනර්ජීවනයකට පත්වන බවට විශ්වාසයක් නොතිබුණි. කෙසේ වෙතත් අගමැති මහින්ද, ජනාධිපති ගෝඨාභය ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වී පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ කැමැත්ත ඇති අලුත් ජනාධිපතිවරයකු පත් කරගැනීමට අවකාශ සැලසිණ. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයකු ඉල්ලා අස්වී තාවකාලිකව පත් කරගැනීමේ ඡන්දයට ඉදිරිපත් වූ රනිල් වික‍්‍රමසිංහ ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර යන මහත්වරුන් අතරින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සභාවේ විශ්වාසය සහිතව ජනාධිපති ධුරයට පත්විය.
• ප‍්‍රතික්ෂේප වූ මූල්‍ය අරමුදල කරළියට
ආර්ථිකය ගිලාබසින අවස්ථාවක ශ‍්‍රී ලංකාවට අවශ්‍ය මූලික පහසුව තකා ඉන්දිය රජය අනුගමනය කළ ප‍්‍රතිපත්තිය ප‍්‍රශංසා කළ යුතුය. අසල්වැසියාට ප‍්‍රථම දර්ශනය පෙරටු කරගෙන සිවු වැදෑරුම් වැඩපිළිවෙළක් ප‍්‍රකාශයට පත් කෙරිණ. ඉන්දියාවේ සිටින ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා මෙහි දී ඉන්දීය විදේශ කටයුතු හා මුදල් ඇමැතිවරුන් සමඟ ගෙන ගිය සාකච්ඡා සාර්ථක වූ අතර ආහාර හා ඖෂධ සඳහා සැපයුමක්, ඛනිජ තෙල්, ණය ආපසු ගෙවීම සහ සංචාරක හා ආයෝජන වශයෙන් විවිධාංගීකරණයකි. මුල්‍ය අරමුදල පැවැති ආණ්ඩුව සමඟ හදිසි සංචිත සැපැයීම සම්බන්ධ සාකච්ඡා ආරම්භ කර තිබුණ නමුත් එවකට පැවැති ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු හා ඉහළ පෙළේ නිලධාරීහු මූල්‍ය අරමුදලේ කොන්දේසි සම්බන්ධ තද අකමැතිභාවයක පසුවූහ. එහිදී ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක තාවකාලික සංචිතයක් ගැන සාකච්ඡා වූ අතර එහිලා අනුගමනය කළ යුතු ප‍්‍රතිසංස්කරණ ගැන ද යෝජනා තිබුණි. කෙසේ වෙතත් ඉන්දීය රජය ලබාදුන් සහාය ඇමරිකානු ඩොලර් බිලියන හයක් පමණ දක්වා ඉහළ ගියේය. කොන්දේසි රහිතව පමණක් නොව ආපසු අය කරගැනීම ගැන අදහසක් පවා සාකච්ඡාවල නොතිබුණි.
මුල්‍ය අරමුදල ව්‍යුහාත්මක වෙනස්කම් ගණනාවක් යෝජනා කළ අතර එහි සැකැස්ම සමඟ 2023 ජනවාරියේ සිට වසර හතරක් සඳහා වාරික වශයෙන් හිමි ඩොලර් බිලියන 2.9 ක මාණ්ඩලික එකඟතාව දැන් අනුමත කර ඇත. එහි අනුමැතිය ලැබෙන විට ශ‍්‍රී ලංකාව ඉතිහාසයේ නොතිබුණ දැවැන්ත ආර්ථික පරිහානිය එනම් ඍණ දහයකට ආසන්න ගිලාබැසීමක් වාර්තාකර හමාරය. අප්‍රේල් මාසයේදී විදේශ ණය ගෙවාගත නොහැකි බව නිවේදනය කළ අතර ජාත්‍යන්තර සමාගම් දෙකක සහාය ඇතිව ඒවා ප‍්‍රතිව්‍යුහගත කරමින් සිටී. දේශීය ණය තවදුරටත් පාලනයකින් තොරව පැවැතීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් දිගින් දිගටම බිල්පත් හා බැඳුම්කර නිකුත් වූ අතර ඒවා සැපැයුම සඳහා තැන්පත් ආකර්ෂණය කරගැනීමේ පියවරක් වශයෙන් තැන්පත් පොලී අනුපාත වාර්ෂිකව සියයට 26 දක්වා පැමිණ තිබේ. මේ හා සමඟ උද්ධමනය ඉතිහාසයේ නොතිබුණ අගයකට පත්විය. ඉකුත් ජූනි මාසයේ උද්ධමනය සියයට අනුව ඉක්මවන ලද අතර විනිමය අනුපාතය සියයට අසූවකින් අවප‍්‍රමාණය කැපී පෙනෙන සිද්ධියකි. නිසි කළමනාකරණයක් සහිතව ගමන් කළේ නම් මෙම අභාග්‍යසම්පන්න සිද්ධි වළකා ගත හැකිව තිබුණ බව විචාරක මතය වී තිබේ.
• ආයෙත් අය වැය හා නැවතත් ඡන්ද පැවැත්වීම
බලයට පත් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව ආදායම හා වියදම පාලනය කරගැනීමේ පියවරක් වශයෙන් බදු ගණනාවක් සංශෝධනය කළේය. අනතුරුව වසර සඳහා පැවැති අයවැය වෙනුවට තාවකාලිකව අලුත් අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බව දැක්විය යුතුය. මහජනතාවට දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙන්නට සිදුවන අතර ප‍්‍රතිසංස්කරණ පහසු නැති බව ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ. ආදායම වැඩි කරගැනීම සඳහා වැට් බදු වැඩි කළ යුතු අතර විදුලිය, ඛනිජ තෙල්, ගෑස් වැනි ආනයනය කරන ද්‍රව්‍ය ලෝක වෙළඳ පොලේ මිලට විකිණීමට එහිදී යෝජනා කළේය. අලාභ ලබන ව්‍යවසාය පෞද්ගලීකරණය හා සමාජයේ සහන ලැබිය යුතු ජන කොටස තෝරා කෙලින්ම ආධාර දෙන සැලැස්මක් ඉදිරිපත් කරන සේ රජයට දක්වා සිටියේය. අනතුරුව 2023 වසර සඳහාද ඉකුත් නොවැම්බරයේදී අලුත් අයවැය යෝජනා ඉදිරිපත් වූ අතර එය තවත් වටයකින් ජනතාව සතු ධනය අත්පත්කරගන්නා සැලැස්මක් බව නිරීක්ෂණය කළ හැකි විය. උපයන විට ගෙවන බදු වැඩි කළ අතර රජයේ සේවා සඳහා අය කරන ගාස්තු වැඩි කළේය. මෙමගින් රජයේ වියදම් ආවරණය කර ගැනේ. විදුලිය, ජලය, ගෑස් ඇතුළු අංශ සඳහා මිල සූත‍්‍ර හඳුන්වාදීමක් සිදුවී තිබේ. අලුත් වාර්තා අනුව නැවත වතාවක් ලබන 2023 ආරම්භවන විට විදුලිය ගාස්තු සියයට අසූවකින් වැඩි කරනු ඇති බව කියැවේ. ජනතාව ඉතාම දුප්පත් තැනකට පත්ව ඇති අතර ජනගහනයෙන් සෑම දහ දෙනකුගෙන්ම හතර දෙනකුට ආහාර හිඟයකට මුහුණ දෙන්නට සිදුවී ඇත. ජනගහනයෙන් මිලියන 6.2 කට කුසගිනි නිවාගැනීම ප‍්‍රශ්නයක් බව ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිවේදනය කර තිබේ.
ජනතාව මුහුණ දී ඇති ගැටලු එසේ තිබියදී පළාත් පාලන ඡන්දය වහාම පැවැත්වීම කෙරෙහි දේශපාලන අංශවල අවධානය යොමු වී ඇත. පළාත් සභා ඡන්ද පැවැත්වීම දිගින් දිගටම කල් දමා ඇති අතර ඡන්ද පැවැත්විය යුතු බව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පාර්ශව තදින් කියා සිටින කරුණකි. කෙසේ වෙතත් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර ඡන්ද ගැන දෙගිඩියාවක් තිබේ. ඇතැම් පක්ෂ වහාම මහ මැතිවරණයකට බලකරන අතර දැනට පවතින ආණ්ඩුව මහජන නියෝජනයක් රහිත බව අවධාරණය කරමින් සිටී. ශ‍්‍රී ලංකාව අන්ධකාර යුගයක පසුවේ. නිසි පියවර අනුගමනය කළහොත් අර්බුදයට විසඳුමක් ලබාගත හැකි බව නිරීක්ෂක මතය වී ඇත. ජාත්‍යන්තර සංවිධාන, ආධාර කරන රටවල් ශ‍්‍රී ලංකාව සඳහා පෙනී සිටින බව පෙනේ. කෙසේ වෙතත් 2023වසරේ ද සියයට හතර ඉක්මවන අගයකින් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ඍණ අගයක පවතින බවට කරන පුරෝකථන අමතක කළ යුතු නැත. ලබන වසර තුළද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ මටට්මක පවතින තියුණු උද්ධමනකාරී වාතාවරණය පහ නොවනු ඇත.
I සාරා කන්දෙගොඩ