2022 දෙසැම්බර් 25 වන ඉරිදා

විස වායු සුනාමියෙන් වන්දි ගන්න බැරිද?

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 104

ඉන්දියාවේ පවතින වායු දූෂණය නිසා මෙරටට සුළං ප්‍රවාහ මගින් පැමිණි විෂ වායුවෙන් පසුගිය දිනවල මෙරට ජනතාවට දැඩි බලපෑමක් එල්ල විය. වෙනදා නියඟයෙන් අධික උණුසුමින් බැටකන පොළොන්නරුව, උතුරේ යාපනය හා කිලිනොච්චිය වැනි පළාත්වලත් අධික සීතලක් හටගත් අතර උෂ්ණත්වය විශාල ලෙස පහළ බැස්සේය. කිලිනොච්චිය, මුලතිව් හා වව්නියාව යන දිස්ත්‍රික්කවල පමණක්  මියගොස් ඇති ගවයින් සංඛ්‍යාව 250 කට ආසන්න බව වාර්තා විය. එළුවන් විශාල පිරිසක් මියගොස් ඇති බවද   වාර්තා විය. එමෙන්ම දේශගුණ විපර්යාසය නිසා ලංකාවේ සියලුම පාසල්වලටද දෙසැම්බර් 9දා නිවාඩු ලබාදීමට සිදුවිය. මේ ලිපිය ලියන අවස්ථාවේදීත් මහනුවර නගරයේ වායු දූෂණය ඉහළ තත්ත්වයක් තිබෙන බව දත්තවලින් පැහැදිලි විය.
මිනිස් සෞඛ්‍යයටද මේ වනවිට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මේ අතර පරිසරවේදීන් පවසන්නේ වෙනත් රටක ක්‍රියාකාරකම් නිසාවෙන් තවත් රටකට අගතියක් සිදුවන විට අන්තර්ජාතික පරිසර නිවාරණ මූලධර්මවලට අනුකූලව අදාළ පරිසර දූෂණයට හේතු වූ දූෂකකාරකයා විසින් අනෙක් රටට වන්දි ගෙවිය යුතුව ඇති බවයි. එලෙස වන්දි ගෙවීමට අමතරව දූෂිත තත්ත්වය ‍යළි යථා තත්ත්වයට පත්කිරීමටත් දූෂකකාරකයා වන ඉන්දියාවට වගකීමක් පවතී. නමුත් මේ ගැන කිසිම සාකච්ඡාවක් ඉන්දියාව සමඟ පැවති බවක් නම් අපට අසන්නට නැත. මෙයට පෙර 2019දීද ඉන්දියාවේ නවදිල්ලි ප්‍රදේශයෙන් පැමිණි දූෂිත වායු නිසා කොළඹ නගරයට ඉහළ වායුගෝලය දෙගුණයකින් දූෂණය වී පැවතුණු බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කර තිබේ. 
 

මේ පිළිබඳව දැන ගැනීමට අප විමසුවේ මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ආරක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආර්. එම්. එස්. කේ. රත්නායකගෙනි.

"විදේශ රටවල් හා සාකච්ඡා කිරීම වගේ දේවල් මධ්‍යම පරිසර අධිකාරියේ විෂය පථයට අයත් නැහැ. දෙසැම්බර් මාසයේ මුල දින දෙකක් ඉතා අහිතකර අයුරින් වායු දූෂණ තත්ත්වයක් පැවතුණා. මේ වනවිටත් යම් මට්ටමකට වායු දූෂණය පැවතුණත් එය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන බව පේනවා. වායු දූෂණ තත්ත්වය පිළිබඳ අප වාර්තාවක් සකස් කර තිබෙනවා. එය විදේශ අමාත්‍යංශයට යැවීමට නියමිතයි. ඔවුන් තමයි වන්දි ලබාගැනීමේ අවස්ථාවක් තිබේද ආදී කරුණු ගැන සලකා බලන්නේ."
නවදිල්ලි නුවර අයහපත් වායු දූෂණයේ බලපෑම ඉහළයාම සිදුවුණේ බෙංගාල බොක්කේ අඩුපීඩන තත්ත්වයත් සමගයි. මේ නිසා ශ්‍රී ලාංකිකයන්ට දෙසැම්බර් දෙවැනි සතිය ආරම්භ වනවිට අතිශය අයහපත් මට්ටමේ වායු දූෂණයකට මුහුණදීමට සිදුවිය. යාපනය, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පරිසර උෂ්ණත්වය ඉතා පහළ ගොස් ජනතාවට උණුසුම් ඇඟලුම් ඇදීමට පවා සිදුවුණි. කිලිනොච්චියේ ගොවීන් තම ගවයන් අධික සීතලෙන් ආරක්ෂා කිරිමට ටයර් පුළුස්සනු දක්කට ලැබුණි. මෙම වායු දූෂණයෙන් වැඩිම  බලපෑමක් කොළඹ නගරයට සිදුවී තිබූ අතර දිස්ත්‍රික්ක 16ක් වායු දූෂණයට ලක්වී ඇති බව ජාතික ගොඩනැගිලි පර් යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

මේ අතර විෂ වායු ආඝ්‍රාණයවීම නිසා ඇතැම් විට මරණ පවා සිදුවිය හැකි බැවින් හැකිතාක් දුරට නිවෙස් තුළ රැඳී සිටින ලෙසත් නිවසෙන් බැහැරව යන්නේ නම් මුඛ ආවරණ අනිවාර් යෙන්ම පළඳින ලෙසත් විශේෂඥ වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටියහ. ඇදුම වැනි ශ්වසන රෝග ඇති පිරිස්වලට විවිධ සංකුලතා ඇති විය. 

මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන සහ ක්‍රියාවලි ඉංජිනේරු අධ්‍යයනාංශයේ මහාචාර්ය අජිත් ද අල්විස් සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් වායු ගුණ තත්ත්ව දර්ශකය (AQI) 0- 500 අතර ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර සමහර අවස්ථාවල දිල්ලියෙහි වායු ගුණ තත්ත්ව දර්ශකය (AQI) 900 ඉක්මවා යන අවස්ථා පවතින බවයි. ශ්‍රී ලංකාවේ වායු ගුණ තත්ත්ව දර්ශකය සමහර අවස්ථාවල (AQI) 160 අගයක් දක්වා පහළ බැසීමක් සිදුවේ.  පසුගිය දිනවල කොළඹ වායු ගුණ දර්ශකය 128 දක්වා ඉහළ නැග තිබුණි. එම වායූ දූෂණ තත්ත්වය හේතුවෙන් සාමාන්‍යයෙන් දවසකට සිගරට් 05 බීමෙන් සිදු වන හානියක් මිනිස් ජීවිතයට සිදුවේ. තවද නවදිල්ලියෙහි දවසකට සිගරට් 55ක් බීමෙන් සිදුවන බලපෑමට සමාන බලපෑමක් වායූ දූෂණය හේතුවෙන් ඇති වේ.

වායු දූෂණය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් සාමාන්‍ය ඇඳුම රෝගයේ සිට පිළිකාව දක්වා විහිදී යයි. විශේෂයෙන්ම පෙනහළු පිළිකා ඇතිවීමේ වැඩි අවදානම ඉතා ඉහළ යයි.

විශේෂඥයන් පෙන්වා දුන්නේ මෙම විෂවායු තුළ මිනිස් සිරුරට අහිතකර කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි වායුන් අන්තර්ගත වී ඇති බවයි.

මෙවැනි පරිසර හානියක් සිදුවූ විට බලපාන නීතිය කුමක්දැයි දැනගැනීමට අප කතා කළේ පරිසර නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධනටයි.

"මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් නිසා ලංකාවේ පරිසර නීතිය අපට අදාළ කර ගන්න බැහැ. මේ නිසා දේශීය පරිසර නීතිය අභිබවා ගොස් සිතිය යුතු වෙනවා. පරිසර නීතය යටතේ දේශසීමාවල ගැටලු ගැනත් අවධානය යොමුවෙනවා. මේ නිසා අපට කළ හැක්කේ සෞඛ්‍ය අමාත්‍යංශය, පරිසර අමාත්‍යංශය සහ විදේශ කටයුතු අමාත්‍යංශය එකතු වී මින් සිදුවූ හානිය ගැන වාර්තා සකස් කර හානි වාරණයක් ලබාගැනීමට ඉල්ලීමක් කිරීම පමණයි. ඒක සාකච්ඡාවෙන් සිදුකළ යුතු දෙයක් මිස අධිකරණ ක්‍රියා මාර්ගයකින් කළ හැක්කක් නොවේ. හානි වාරණයකට අවශ්‍ය පසුබිම පරිසර නීතියේ තිබෙනවා. අනිත් එක මේක චේතනාන්විත වරදක් නොවේ. නමුත් ඉන්දියාව පැත්තෙන් වගකීමක් තිබෙනවා මෙවැනි දේ සිදුනොවීමට නීති පද්ධතියක් සකස් කර ඒක බලාත්මක කිරීමට." 

කෙසේ වුවත් මෙවැනි හානියක් පරිසරයට සිදුවී ජන ජිවිතය අවුල් වුණත් අසල්වැසි ඉන්දියාවෙන් වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් වගකිවයුතු පාලකයන් නම් කිසිම සඳහනක් කර නැත. ඔක්කොම කුණු බේරුවල් බොක්කට කීවා සේ බංකොලොත්ව කේවල් කිරීමේ ශක්තියක් නැතිව සිටින ලංකාව ගැන ඉන්දියාවට හැඟීමක් නැතිවා විය හැකිය. එමෙන්ම ඒ ගැන ඉන්දියාවට බලපෑම් කිරිමට අපේ මැති ඇමැතිවරුන්ට ශක්තියක් නැති බව පෙනේ.

සෑම වසරකම ලොව පුරා මිලියන 7ක ජනතාවක් වායු දූෂණයෙන් මියයන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකු ඉහළ දූෂක අඩංගු වාතය ආශ්වාස කරනු ලැබේ. වායු දූෂණය නිසා ඇතිවන රෝගවලින් ලංකාවේ වාර්ෂිකව 14300ක් මියයන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර සිටී.   අසල්වැසි රටෙන් පැමිණෙන විෂ වායු නිසා මේ තත්ත්වය තවත් දරුණු වී තිබේ.

නගරවල පිටවන කම්හල්වල දුමාරයේ සිට නිවස තුළ දුම්පානය කිරීම දක්වා වූ සිදුවන වායු දූෂණය සෞඛ්‍යයට හා දේශගුණයට විශාල තර්ජනයකි. වායු දූෂණය අධීක්ෂණය කරනු ලබන නාගරික ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ සීමාවන් ඉක්මවා යන වායු ගුණාත්මක මට්ටම්වලට නිරාවරණය වී ඇති අතර, අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් ගෘහස්ථව මෙන්ම හා එළිමහනේදීද ඉහළම වායු දූෂණයට නිරාවරණය වීමෙන් පීඩා විඳිති.

දකුණු ආසියාවේ රෝගාබාධ බහුතරයකට බලපාන අවදානම්ම සාධකය වන්නේ වායු දූෂණයට නිරාවරණය වීමයි. එය සියලුම මරණවලින් 13%ත් 21.7%ත් අතර ප්‍රමාණයකට දායක වන බව පැවසේ. ඉන්දියාව ඇතුළු රටවල කර්මාන්ත ශාලාවල පරිසර නීති නොතකා පිටකරන විෂ වායු මේ තත්ත්වය ඉහළ දැමීමට බලපාන බව නොරහසකි.

 

I කුසුම්සිරි විජයවර්ධන

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04