2022 දෙසැම්බර් 25 වන ඉරිදා

කළු විරෝධයකට අත වනන අලුත් බදු

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 149

ඉදිරි වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බදු සංශෝධනය සම්බන්ධ සැලකිය යුතු විරෝධයක් රට තුළ නිර්මාණය වී හමාරය. විශේෂයෙන්ම උපයන විට ගෙවීමේ බදු ඉහළ යෑම පිළිබඳ විවිධ වෘත්තිකයෝ සිය විරෝධය පළකරමින් සිටිති. ඒ අතරින් රජයේ වෛද්‍යවරුන් සුවිශේෂීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා නව බදු සංශෝධනයන්ට එරෙහි විරෝධතා කිහිපයක්ම සංවිධානය කර තිබුණි.

මෙම තත්ත්වය යටතේ රජයේ නව බදු ප්‍රතිපත්තීන් පිළිබඳව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සමඟ අපි සාකච්ඡා කළෙමු. මෙම ලිපිය සැකසෙන්නේ මෙම සංවාදය ඇසුරිනි.

''මේ රටේ වෛද්‍යවරු, මේ රටේ වෘත්තිකයන්, විද්වතුන් කියලා කියන්නෙත් සාමාන්‍ය ජනතාවගෙන් කොටසක්. වර්තමානයේ ජීවන වියදමත් විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙන්නෙ. ඉන්ධන වියදම, බලශක්ති අර්බුදය හැමදෙනාටම බලපාල තිබෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් උද්ධමනය වේගයෙන් ඉහළ යනවා, බැංකු පොලී අනුපාතයත් ඉහළ යනවා. විශාල ගැටලු ප්‍රමාණයක් හැමෝටම තිබෙනවා.''

වර්තමාන ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු පහදා දෙමින් නව බදු ප්‍රතිපත්තිය පිළිබඳ සංවාදයට චමිල් විජේසිංහ මහතා ප්‍රවේශ විය.

''මේ වගේ අසාධාරණ අත්තනෝමතික බදු සංශෝධනය හරහා ජනතාව සහ වෘත්තිකයන් තවත් පීඩනයට පත්වීම තමා සිදුවෙන්නේ. මේක බරපතළ තත්ත්වයක්.''

කෙසේ වෙතත් වෛද්‍යවරුන් මෙන්ම සියලුම වෘත්තීය කණ්ඩායම් බදු ගෙවීමට විරෝධයක් නොමැති බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙයි. එහෙත් ඔහු සඳහන් කරන්නේ අසාධාරණ ලෙස බදු අය කිරීමේ තීන්දුව මේ මොහොතේ, රටක් තවත් බරපතළ අර්බුදයක් කරා රුගෙන යන බවකි.

''මේ බදු වැඩසටහන හරහා සිදුකරලා තියෙන දෙයක් තමයි, බදු අයකිරීමේ ආදායම් සීමාව රුපියල් ලක්ෂය දක්වා අඩු කිරීම. ඒ වගේම අය කරන බදු ප්‍රතිශතයන් සියයට 6%, 12%, 18%, 36% ඉහළ නංවලා තියෙනවා. බදු අයකරන ආදායම් සීමාව වාර්ෂිකව ලක්ෂ 5 කට ගෙනල්ලා තියෙනවා. මේ හේතුවෙන් ඉතා විශාල බදු ප්‍රමාණයක් මේ රටේ සේවා නියුක්ත වෘත්තිකයන්ගේ වැටුපෙන් කැපෙනවා. මෙතැනදී අපිට ලොකුම ගැටලුව තියෙන්නෙ උපයන විට ගෙවීමේ බදු එක්ක.''

වෛද්‍යවරයා පැහැදිලි කරන්නේ උදාහරණයක් ලෙස විශේෂඥ වෛද්‍යවරයෙකු වාර්ෂිකව ලබාගන්නා සම්පූර්ණ වැටුපෙන් මාස දෙකක පමණ මුදලක් නැවත රජයේ බදු ලෙස අයකර අයකර ගන්නා බවයි. මේය අසාධාරණ තත්ත්වයක් බව ඔහු කියා සිටියි. පසුගිය කාලයේ රුපියල් තිස්දහසක් වැයකොට සිදුකළ සියල්ල වර්තමාන ආර්ථික තත්ත්වය යටතේ සිදුකිරීමට රුපියල් ලක්ෂයක් පමණ වැයවන බව ඒ මහතා පහදයි.

''ලංකා ඉතිහාසයේ වේගයෙන්ම බුද්ධිගලනය සිදුවන යුගය තමයි අපි පසු කරන්නේ. මේ රටේ වෛද්‍යවරුන් සහ වෘත්තිකයන් ඉතාම වේගයෙන් රට හැරයමින් පවතිනවා. මේ බදු හරහා සෙසු පිරිසත් පීඩාවට පත් වුණාම, රට හැරයාමේ වේගය තවත් වැඩි වෙනවා.''

විශේෂයෙන්ම නවක වෛද්‍යවරුන් වර්තමාන ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට නොහැකි වීම හේතුවෙන් විශාල වශයෙන් රට හැරයමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි. පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුළ පශ්චාත් උපාධියත් අධ්‍යනය සඳහා යොමුවන නවක වෛද්‍යවරුන් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අවම වී ඇතැයි වෛද්‍ය චමිල් විජේසිංහ මහතා හෙළිකරයි. සැබවින් මීට හේතුව ඇත්තේ ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් බොහෝ නවක වෛද්‍යවරුන් විදෙස් රටවල් කරා සංක්‍රමණය වීමයි.

''රට අනාගතයේ දැනුම කාන්තාරයක් බවට පත්වීමේ තත්ත්වයක්  නිර්මාණය වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තම පර්යන්ත සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමේ ලොකු අවදානමක් ඇතිවෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් අනුරාධපුරයෙන් එයාට නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් සිටින රෝහල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවෙලා.''

නව බදු සංශෝධන යනු ක්‍රියාත්මක වීමත් සමඟ තත්ත්වය තවත් බරපතල වනු ඇතැයි චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිකයන් මේ හා සම්බන්ධව රජයට අනතුරු අඟවා ඇතැයි ඔහු කියා සිටියි.

''බදු ගෙවන එක ගැටලුවක් නෑ. මේ රටේ සියලු පුරවැසියන් ඒ සඳහා බැඳිලා ඉන්නවා. ඒක අපේ වගකීමක්. මෙතනදී අපි යෝජනා ඉදිරිපත් කළා. රාජ්‍ය සේවය සහ අර්ධ රාජ්‍ය සේවාවල සේවා නියුක්තිකයන්ට අදාළ බදු අයකරන ලක්ෂයේ මාසික ආදායම් සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ නංවා දෙන්න. අනිත් එක තමයි සියයට හයේ සිට සියයට තිස් හය දක්වා හයේ ගුණාකාරවලින් වැඩිවෙන බදු ප්‍රතිශතයන් 4%, 8%, 12%, 24% විදිහට වෙනස් කරන්න. වාර්ෂිකව ලක්ෂ 5ට ගෙනැල්ල තියෙන ආදායම ලක්ෂ 6ක් කරන්න.''

මෙම ඉල්ලීම ඉතා සාධාරණ ඉල්ලීම් බව වෛද්‍ය චමිල් විජයසිංහ මහතා කියා සිටියි. සීනි බදු වංචාව, මහබැංකු බැඳුම්කරය අදී වංචාවන් පිළිබඳ සැලකූ විට මෙම සහන ලබාදීමෙන් රජයට අහිමි වන්නේ ඉතා සුළු මුදලකි. එසේම එම ඉල්ලීම් ඔවුන් ඉදිරිපත් කරන්නේ රාජ්‍ය සේවයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවා නියුක්තිකයන් සඳහා පමණි. දැනට තමන් සතු තොරතුරු අනුව රජය එමෙන්ම උපයන විට ගෙවීමේ බද්දෙන් අපේක්ෂා කරනුයේ රුපියල් බිලියන 68ක ආදායමක් බව විජේසිංහ මහතා කියා සිටී. එයින් රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයන් ගෙන් ලැබෙන්නේ රුපියල් බිලියන 8ක ආදායමක් පමණි. ඒ අනුව මෙම සහනය ලබා දුන්නද බිලියන 6ක් රජයට උපයා ගත හැකිය.

''බදු එකතු කළාට මදි. අනෙක් කාරණය මේ බදු මුදල් වැය කිරීම සම්බන්ධව පාරදෘශ්‍ය වැඩපිළිවෙළක් රජයට තිබිය යුතුයි. මහජනතාව හැමදාම අහන්නේ අපේ බදු මුදල්වලට කවුද මොනවද කළේ කියන එක. මේ බදු මුදල් වෙනත් අයගේ සුඛ විහරණය වෙනුවෙන් භාවිත නොවන ජනතාව වෙනුවෙන්ම භාවිත වන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.''

කොතරම් රජය දැනුවත් කළද  සහනයක් නොලැබෙන වාතාවරණයක් යටතේ ඉදිරියේදී දැවැන්ත විරෝධතාවන් බදු සංශෝධනයට එරෙහිව දියත් කිරීමට බලාපොරොත්තු ඒ මහතා කියා සිටී.

''මේ තීරණය නැවත හැරවීම සඳහා වෛද්‍යවරු විතරක් නෙවෙයි රටේ වෘත්තිකයන් එක පෙරමුණකට අපි එකතු කරගත්තා. ඉංජිනේරුවරුන්, බැංකු සේවකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විධායක නිලධාරීන් අපි එක පෙරමුණකට ගත්තා. වෘත්තිකයන්ගේ පෙරමුණක් එක කමිටුවක් විදිහට තමා අපි දිගටම කටයුතු කළේ. ජනාධිපතිතුමා සහ පාර්ලිමේන්තුව අපි ලිඛිතව සහ මුණගැසී දැනුවත් කර තිබෙනවා. නමුත් කිසිදු නම්‍යශීලී බවක් ඔවුන් පෙන්නුවෙ නෑ.''

මේ අතර උපයන විට ගෙවීමේ බද්ද ඉහළ දැමීමට එරෙහිව ජනවාරි මාසයේ වැටුප් ලැබෙන සතිය ''කළු විරෝධතා සතිය'' ලෙස නම් කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා දේශයට පැවසීය.

උපයන විට ගෙවීමේ නව බදු ප්‍රතිශතය පළමුවරට අය වනුයේ ජනවාරි මාසේ වැටුපෙන්ය. ඒ හේතුවෙන් වෘත්තිකයන්ගේ පෙරමුණක් ලෙස සංවිධානය වී කළු විරෝධතා සතිය මෙහෙයවීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියි.

I චමිඳු නිසල් ද සිල්වා