2022 දෙසැම්බර් 25 වන ඉරිදා

ඉන්දියාවෙදි කොටු වූ ලංකාවේ පාතාල කෙරුමෝ

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 265

කිඹුලාඇලේ ගුණා, කොට ගාමිණී, බුම්මා, අතුරුගිරියේ ලඩියා, කෙසෙල්වත්තේ ධනුක, වැල්ලේ සුරංග, පුකුඩි කන්නා, දිලීපන්, මොහොමඩ් අස්මින් යන හැමෝම මෙරට පාතාලය හෙවත් සංවිධානාත්මක අපරාධකරුවන් අතර මුල් පෙළේ පසුවන්නෝ වෙති. කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල වෙඩි තැබීම්, කපා කොටා දැමීම්, මිනීමැරීම වගේම කුඩු ජාවාරමත් ඔවුන් යටතේම පැවතියේය. ලංකාවෙන් පලාගොස් ඉන්දියාවේ සැඟවී සිට මෙරට මිනීමරමින් කුඩු ජාවාරමේ නිරත වූ පාතාලයන් රොත්තම දැන් එකම දවසේ කොටු වී සිටිති.

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩනැංවීමේ අරමුණෙන් මත්ද්‍රව්‍ය හා ආයුධ ජාවාරමක නිරතව සිටින බව කියන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ලංකාවේ නමගිය පාතාල ප්‍රබලයන් නව දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුඩිරප්පල්හි පිහිටි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් සඳහා වූ විශේෂ රුඳවුම් කඳවුරක රඳවා සිටියදීය. මෙකී පාතාලයන් සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ වෙත ලැබී තිබෙන තොරතුරු අනුව කියැවෙන්නේ අත්අඩංගුවට පත්ව තිබෙන සින්නයියා දිලීපන් නැමැත්තා කිඹුලාඇලේ ගුණාගේ පුතකු බවය. එසේම අත්අඩංගුවට ගෙන සිටි 9 දෙනාට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශ ප්‍රධානියාව සිටි නියෝමාල් රංගජීව මහතාට පිළියන්දලදී වෙඩි තබා ඉන්දියාවට පලාගොස් සිටි "ආමි අසිත" හෙවත් දික්පිටිය විතානගේ අසිත නොහොත් කුමාර නැමැත්තාද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය බාරයට ගෙන ඇති බවය. වැඩිදුරටත් වාර්තා වන්නේ අත්අඩංගුවට පත් පිරිස අතුරින් පාතාලයන් දෙදෙනකු ඩුබායි, පකිස්තානය හා ඉරානය අතර නිතර නිතර ගමන් කොට තිබෙන හා පාකිස්තානය මුල්කොටගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු  බව කියන "හාජි සලීම්" නැමැත්තා සමඟ නිරන්තර සබඳතා පවත්වා ඇති බවකි. 

ඉන්දීය විමර්ශන ආයතනය විසින් සිදුකළ මෙහෙයුමක් අතරතුර "රවිහංසි" නැමැති බහුදින යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 2021 වසරේ මාර්තු 18 වැනිදාය. ඉන්දියාවේ තිරුවපුරම් අසළ විජින්ජාම් වෙරළට ඔබ්බෙන් කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බෝට්ටුවේ සැකකාර ශ්‍රී ලාංකිකයන් 6 දෙනකු සිට ඇත. ඔවුන් සන්තකයේ හෙරොයින් කිලෝ 300ක් AK-47 රයිෆල් 5ක් හා මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 1000ක් තිබී සොයා ගැණින. මීට අදාළව ගොනුකළ නඩුවක් අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව අනාවරණය වී ඇත්තේ පාකිස්තාන ජාවාරම්කරුවකු සමඟ සුරේෂ් රාජන් නැමැති ශ්‍රී ලාංකිකයා සබඳතා පවත්වා ඇති බවය. පාකිස්තානයේ සිට ඉන්දියාව හරහා ලංකාවට මත්ද්‍රව්‍ය හා අවි ආයුධ ප්‍රවාහනය කිරීමේදී ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකර ඇත්තේ සුරේෂ් රාජන් විසින් බව හෙළි වී ඇත. මේ සඳහා හිටපු එල්.ටී.ටී.ඊ. නායකයන් කිහිප දෙනකුද උදව් ලබාදී ඇති බව අනාවරණය වී ඇත.

මීට මාස තුනකට ඉහතදී ඉන්දීය ජාතික විමර්ශන අංශ නිලධාරීන් සැකකරුවන් රඳවා තිබූ කඳවුරට ගොස් පරීක්ෂා කොට තිබුණි. එහිදී සැකකරුවන් කිහිප දෙනකු සතුව මුදල් හා මත්ද්‍රව්‍ය තිබී හමුව ඇත. එහිදී හඳුනාගත් තොරතුරු පදනම් කොටගෙන ඉන්දීය විශේෂ විමර්ශන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ත්‍රස්ත හා මත්ද්‍රව්‍ය විමර්ශන නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන් හමු වී සැකකාර පාතාලයන් පිළිබඳ තොරතුරු ලබාගෙන තිබුණි. ඒ මීට මාසයකට පමණ ඉහතදීය. මේ අනුව ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් පිරිස ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට හඳුනාගෙන පසුගිය 20 වැනිදා පිරිස අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් එදිනම ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත තොරතුරු දන්වා තිබූ අතර දෙරටේ ආරක්ෂක අංශ ඒකාබද්ධව දීර්ඝ විමර්ශනයක් සිදුකෙරෙමින් තිබේ.

වාර්තා වන පරිදි කිඹුලාඇල ගුණා, බුම්මා ඇතුළු පුද්ගලයන් පස් දෙනකු චෙන්නායි සිට දිල්ලිය බලා යාම සඳහා චෙන්නායි ගුවන්තොටුපළට පැමිණ තිබුණි. මෙහිදී ඉන්දීය "කිව්" අංශය නමින් හඳුන්වන එරට අපරාධ මර්දන කාර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබන තිබුණේ 2021 ජනවාරි මස අවසන් සතියේ දිනකය. ඊට පෙර අවස්ථාවක කොට ගාමිණී හෙවත් අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා නැමැත්තා අත්අඩංගුවට ගෙන සිටි අතර ඔහු විසින් හෙළිකළ තොරතුරු මත කිඹුලාඇල ගුණා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

දීර්ඝ ලෙස සිදුකළ විමර්ශනවලින් පසුව චෙන්නායි ප්‍රදේශයේ ස්ථාන 22ක් සෝදිසි කිරීමෙන් ලංකාවේ සිට ඉන්දියාවට පලාගොස් සැඟ වී සිටිමින් මත්කුඩු ඇතුළු නීති විරෝධී ජාවාරම්වල නිරත වූ අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. ඔවුන් අතර ඇතැමුන්ට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබෙන බවද වාර්තා වේ. මේ අතර අත්අඩංගුවට ගෙන තිබෙන පාතාලයන් 9 දෙනාටම ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කොට තිබේ.

කිඹුලාඇල ගුණා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සමීප සබඳතා පැවැත්වූ අයෙකි. මොහු විසින් කොළඹදී එම සංවිධානයේ සාමාජිකයන්ට රැකවරණය සලසා තිබෙන බවට හඳුනාගෙන තිබේ. දේශපාලනඥයන් රැසක් සමීපව ඇසුරු කොට ඇති මොහු මෙරට මත්කුඩු ජාවාරමේ ආරම්භකයෙකි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියට 1999 වසරේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සැකකාරියට රැකවරණය ලබාදී තිබුණේද කිඹුලාඇල ගුණා විසිනි. එම විමර්ශනයට අදාළව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සූදානම් වෙද්දී කිඹුලාඇල ගුණා බෝට්ටුවක නැගී ඉන්දියාවට පලාගොස් ඇත.

අතුරුගිරියේ ලඩියා ඉන්දීය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ අංගොඩ ලොක්කාගේ ඝාතනයට පසුව සිදුකළ විමර්ශනයක් අතරතුරය. කළුතර එතනමඬල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා සමයං ඇතුළු පාතාල සාමාජිකයන් 7 දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට ලඩියා සැකකරුවෙකි. එම සිදුවීමෙන් පසුව අතුරුගිරිය ලඩියා බෝට්ටුවක නැගී ඉන්දියාවට පලාගිය බවට වාර්තා වී ඇත.

බුම්මා නැමැති පාතාල ප්‍රබලයා කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීප ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයෙකි. යුද්ධය අවසන් වීමෙන් පසුව පුනරුත්ථාපනය වූ මොහු බූස්ස බන්ධනාගාරයේදී හඳුනාගත් කොස්ගොඩ සුජී නැමැති පාතාල නායකයා සමඟ දකුණේ පාතාලයට එක්ව ඇත. ඔහු එහිදී වෙඩික්කරුවකු වශයෙන් කටයුතු කර තිබිණ. මෙසේ පාතාල කණ්ඩායම් කිහිපයකම වෙඩික්කරු වශයෙන් ක්‍රියාකර ඇත්තේ බුම්මාය.

වැල්ලේ සුරංග මෝදරවැල්ලේ පාතාල අණසක පතුරාගෙන සිටි අයෙකි. පූකුඩුකන්නා මට්ටක්කුලිය ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරකම්වලට නම් දැරූවෙකි. කොට ගාමිණී නැමැත්තා බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ සුනිල් මෙන්ඩිස් මහතා ඝාතනය කොට 2005 වසරේදී ඉන්දියාවට පලාගොස් සිටියේය. කෙසෙල්වත්තේ දිනුකගෙන් පසුව එම පාතාලය කෙසෙල්වත්තේ ධනුක විසින් හොබවමින් සිට කොළඹ අවට ඝාතන රැසක් මෙහෙයවා තිබේ. පසුගිය දිනෙක පෑලියගොඩ මැණිං වෙළෙඳපොළේදී පළතුරු වෙළෙන්දකු වූ අඹ ශානාව ඝාතනය කොට තිබුණේ ඔහුගේ අදහසකට අනුවය. පාකිස්ථානයේ මත්කුඩු ජාවාරම්කරුවකු සමග සම්බන්ධ වෙමින් මෙරටට මත්කුඩු ප්‍රවාහනය කරන අතරතුර ඉන්දියාවේ රැඳී සිටිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට නැවත පණ දී නගා සිටුවන්නට උත්සාහ කරන බවට ලැබී තිබෙන තොරතුරු පදනම් කොටගෙන සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ඉන්දියාව හා ලංකාව ඒකාබද්ධව වැඩිදුර විමර්ශනය සිදුකෙරේ.

I සමන්ත විල්තෙර