2022 දෙසැම්බර් 25 වන ඉරිදා

පිරිවෙන දුරකථනයට ගෙනා ධම්මික

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 164

නිදහස් අධ්‍යාපනය හේතුවෙන් අද වනවිට අපේ රටේ අධ්‍යාපනය ලැබිය යුතු සියලුම දරු දැරියෝ නොමිලේ නිදහසේ අධ්‍යාපනයෙන් පෝෂණය වෙමින් සිටිති. නගරයට පමණක් නොව ගමටද මේ හරහා සමව අධ්‍යාපනය ලැබීමේ අයිතිය බෙදී ගොස්  තිබේ. කෙසේ වෙතත් වර්තමානය තුළ මෙකී නිදහස් අධ්‍යාපනයට නව මුහුණුවරක් අවශ්‍යව පවතී. ඊට හොඳම උදාහරණය නම් පසුගිය කොරෝනා සමයේදී ඇතිවූ අධ්‍යාපන වෙනස්වීම්ය. පන්ති කාමරය භෞතික මුහුණුවරින් මිදී එකවර තාක්ෂණය කරා පැමිණියේ සිතා ගැනීමටත් නොහැකි මොහොතකය. ඒ මොහොත වන විටත් නව තාක්ෂණය කෙතරම් මෙරට අධ්‍යාපනය සඳහා බලපානු ඇතැයි කිසිවකු අවබෝධයෙන් සිටියේ නැත.

එහෙත් ඒ සඳහා එක් අයකු පෙර සිටම සුදානම්ව සිටියේය. අධ්‍යාපනයට තාක්ෂණය කෙතරම් ඉවහල් වනු ඇතිදැයි ඔහුට තිබුණු අවබෝධය නිසා අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් හෙතෙම මෙරට පළමු පියවර තැබීම ආරම්භ කළේය. ඔහු වෙනකකු නොව මෙරට අංක එකේ ව්‍යාපාරිකයා ලෙස හඳුන්වන ධම්මික පෙරේරාය. මෙරට නිදහස් අධ්‍යාපනය ඩිජිටල්කරණය කළ පළමු පුද්ගලයා ලෙස ඔහු ඉතිහාස ගත වන බව අමුතුවෙන් කිව යුතු නැත.

පළමු වසරේ සිට උසස් අධ්‍යාපනය දක්වා සියලුම විෂය නිර්දේශයන් තාක්ෂණය යොදාගනිමින් ඉතාම සරලව ඕනෑම අයකුට ලෙහෙසියෙන් පහසුවෙන් ඉගෙනීමේ අවකාශය ඔහු විසින් ආරම්භ කළ DP එඩියුකේෂන් හරහා හිමි විය. මෙරට ඉතාම පළපුරුදු ගුරු භවතුන් යොදාගෙන ආරම්භ කළ මෙම අධ්‍යාපනය ක්‍රමවේදය මෙරට දැවැන්ත පෙරළියක් සිදු කළ බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ වෙතත් එකී නිදහස් අධ්‍යාපනය ඩිජිටල්කරණය කර සැමට නිදහස් සහ හරවත් අධ්‍යාපනයක් ලබා දුන් DP එඩියුකේෂන් සංකල්පයට පසුගියදා නව මුහුණුවරක් ලැබිණි. ඒ ඩී.පී. පිරිවෙන නමැති සංකල්පය මූලික කර ගනිමිනි. අප මේ සම්බන්ධයෙන් එහි නිර්මාතෘ ධම්මික පෙරේරා මහතාගෙන් විමසා සිටියෙමු.

“අපේ රටේ පිරිවෙන් අධ්‍යාපනය උගන්වන්න එකම විදිහේ ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒකට වීඩියෝ බුක් එකක් ඕන. මම කරලා තියෙන්නෙ පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඒ වීඩියෝ බුක් එක හදන එක. මේක වීඩියෝ හරහා සිද්ධ වෙන්නේ. මේ හරහා ස්වාමින්වහන්සේලට, මෙහෙණින්වහන්සේලාට, ඒ වගේම සාමාන්‍ය ඕනෑම කෙනකුට දැනුම ලබාගන්න පුළුවන්."

පිරිවෙන් අධ්‍යාපනය යනු පුළුල් ධර්ම අධ්‍යාපනයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එවැනි අධ්‍යාපනයක් බෞද්ධයකුට සේම අන්‍යාගමිකයකුට ද සරලව ඉගෙනීමේ හැකියාව තිබිය යුතුය. ඒ ඩිජිටල් අධ්‍යාපන ක්‍රමයේ ක්‍රමවේදයයි. සරලව ඉගැන්වීමත් දැනුම නිසි ලෙස ලබා දීමත් ලෙහෙසි පහසු නැත. ඒ සඳහා දැනුමෙන් සන්නද්ධ පුහුණු ගුරුවරුන් පිරිසක් අවශ්‍ය වනු ඇත. අපි මේ සම්බන්ධයෙන් ද ධම්මික පෙරේරා මහතාගෙන් විමසුවෙමු.

“මේක අපි හදලා තියෙන්නේ පිරිවෙන්වල උගන්වන හොඳම ගුරුවරු ටික අරගෙන. ගුරු ස්වාමින්වහන්සේලා, ගුරුවරු තමා මෙකේ ඉන්නේ. ඒ අය මේ පිරිවෙන් අධ්‍යාපනයේ ගරු කරන කට්ටිය. ඒ නිසා ඒ අය ගැන විවේචනයක් එල්ල වෙන්නේ නෑ. මොකද මේ අපේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න මුළු ලංකාවම කැමැතියි".

මෙකී ඩිජිටල් අධ්‍යාපන ක්‍රමය සමාජ ගතකිරීම ලෙහෙසි පහසු නැත. ඒ සඳහා අවශ්‍ය උපකරණ, තාක්ෂණය සමීප කරගත හැකි භෞතික සම්පත් හිමි විය යුතුය. ඒ සඳහා මෙකී පිරිවෙන් අධ්‍යාපන ක්‍රමවේදය සතුව හැකියාවක් පවතීද යන්න ගැටලුවකි. මේ සම්බන්ධයෙන් ධම්මික පෙරේරා මහතා පළ කළේ මෙවැනි අදහසකි.

“මේ වෙද්දි පිරිවෙන්වල ෆෝන් හරහා ගොඩක් දෙනෙක් බලනවා. ඒ වගේම පිරිවෙන් දහයක ස්මාර්ට් ක්ලාස් රෑම් අපි හදලා තියෙනවා. ඒත් අපි පිරිවෙන් 850ට ස්මාර්ට් ක්ලාස් රූම් දෙනවා."

පිරිවෙන් අධ්‍යාපනය උසස් අධ්‍යාපනය දක්වා විවිධ මට්ටමින් ලබාගැනීමේ ඉඩකඩ පවතී. එහෙත් ස්මාර්ට් අධ්‍යාපනය සතුව එකී ඉඩකඩ පවතීද යන්න සැම දෙනාටම පවතින ගැටලුවකි. අපි ඒ සම්බන්ධයෙන්ද විමසා සිටියෙමු.

“ඇත්තටම මෙතන පිරිවෙන් අධ්‍යාපනය සිදු වෙන්නේ. අනෙක් සියලු දේවල් ඩී.පී. එඩියුකේෂන් හරහායි. පිරිවෙන් අධ්‍යාපනයේ මූලික අධ්‍යාපනයත්, ප්‍රාචීන ප්‍රාරම්භක, ප්‍රාචීන මධ්‍යම, ප්‍රාචීන පණ්ඩිත උපාධිය දක්වා සියලු අධ්‍යාපන ඉගැන්වීම් තියෙනවා. ඊට අදාළ හැම විෂයක්ම අපි බෙදලා තියෙන්නේ. මේ සියල්ල අපි යුටියුබ් චැනල් එකක ඉතාම ප්‍රවීණ ගුරු මණ්ඩලයක් හරහා සිද්ධ කරන්නේ. මේකේ විශේෂ දේ තමයි ඕන කෙනකුට කොමන්ට් කරන්න පුළුවන්. යම් ගැටලුවක් තිබුණොත් ඒ අයට උත්තර දෙන්නත් ඒ ගුරු භවතුන් බැඳී සිටිනවා. දැන් මාස තුනක් වෙනවා. හැබැයි තවම ගැටලුවක් ඇවිල්ලා නෑ. අපිට ඕන වුණේ සැමට පිරිවෙන් අධ්‍යාපනය දෙන්න. ඒක අපි කරනවා. දැනටම පැවිදි අය වගේම ගිහි අය ගොඩක් මේ සඳහා යොමුවෙලා ඉන්නවා. පිරිවෙන්වලින් පවා අපේ වෙබ් එක බලන්න කියනවා." යැයි ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

ඔහුගේ මේ සංකල්පය ඔහු විසින් දැනට පවත්වාගෙන යන ඩී.පී. එඩියුකේෂන්වලට වඩා හාත්පසින්ම වෙනස් බව කිව යුතුය. මීට සම්බන්ධ වන ශිෂ්‍ය ප්‍රජාව මෙන්ම සාමාජිකයන් ද වෙනස්ම මුහුණුවරක් ගත් පිරිසකි. ඔවුන් බෞද්ධ දර්ශනය, බෞද්ධාගම ගැඹුරින් අධ්‍යයනය කරන පිරිසකි. ඇතැමකු බෞද්ධ දර්ශනය වෙනුවෙන් ජීවිතේ කැප කළ පිරිසකි.

මෙකී පිරිවෙන් අධ්‍යාපනය සඳහා යොමුවන්නේ නම් ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව සකස් කළ www.dppirivena.lk වෙබ් අඩවිය ඔබටද නොමිලේ භාවිත කළ හැක. ඒ සඳහා මෙරට මෙන්ම විදේශයන්හි සිටින ඕනෑම අයකුටද එක්වී අධ්‍යාපනය ලැබීමේ ඉඩකඩ සකසා දී තිබේ. සැබැවින්ම මෙය අධ්‍යාපන ඩිජිටල්කරණයේ අලුත්ම ආරම්භය ලෙස සඳහන් කළ හැක.

ධම්මික පෙරේරා මහතා තවත් අපූරු වෙනසක් ගැන අවසානයේ මෙසේ සඳහන් කළේය. ඒ මෙරට සුවහසක් දරුවන්ට නවමු අත්දැකීමක් ලබාදීම සඳහාය.

“මම ලබන වසරේ ජනවාරියේ ඉඳලා අලුත්ම වැඩක් අපි පටන් ගන්නවා. ඒ තොරතුරු තාක්ෂණය උගන්නන්න. අපි ලබන වසරේදි 3 වසරේ ඉඳලා උසස් අධ්‍යාපනය දක්වා තොරතුරු තාක්ෂණයේ මූලික අධ්‍යාපනය හැම දරුවකුටම දෙනවා. ඒක තමයි අපි ලබන වසරේ අලුත්ම වැඩ කටයුත්ත. ඒකේ වටිනාකම බිලියන 2400ක්. ඒ කෝස් එකේ වටිනාකම ලක්ෂ 24 ක් වෙනවා. අපි ඒ වගේ ශිෂ්‍යත්ව ලක්ෂ 10 කට දෙනවා. මේක තමා අලුත්ම පෙරළිය. ඒ සියල්ල www.dpcode.lk කියන වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකියි."

I ගයාන් ගාල්ලගේ