2022 දෙසැම්බර් 25 වන ඉරිදා

ෂාෆ්ටර් ඝාතනයේ පැටලුණ නූල් බෝලය

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 87

ප්‍රකට ව්‍යාපාරිකයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සිදුවී දැනට සති දෙකකටත් ආසන්න වී තිබේ. තවමත් මෙම අබිරහස් ඝාතනයේ සුල මුල අනාවරණය කර ගැනීම සඳහා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන පොලිස් කණ්ඩායම් වෙත හැකියාව ලැබී නැත. දිනෙන් දින මෙම ඝාතනය සම්බන්ධයෙන් නැවුම් තොරතුරු පරීක්ෂණ කණ්ඩායම් වෙත ලැබුණත් මේ ඝාතනය සිදු කළේ කවුදැයි යන්න තවමත් නිශ්චිතවම කීමට හැකියාවක් ලැබී නොමැත. ඒ නිසා මෙම ඝාතනය ප්‍රහේළිකාවක් නිර්මාණය කර තිබේ.

කෙසේ වෙතත් මෙම ඝාතනයේ සැකමුසු තැන් බොහෝය. පළමුවැන්න නම් දිනේෂ් ෂාෆ්ටර් වැනි ප්‍රධාන පෙළේ ව්‍යපාරිකයකු තවත් පුද්ගලයකු හමුවීම සඳහා බොරැල්ල කනත්තේ එක් කෙළවරක් තෝරාගත්තේ ඇයිද යන්න ප්‍රශ්නය මතු වේ. තරු පන්තියේ හෝටල් මෙන්ම ආපනශාලා ඇති කොළඹ නගරය තුළ ඒ සියල්ල අතහැර දමා ඔහු මෙවැනි ස්ථානයක් තෝරාගැනීම ප්‍රහේළිකාවකි. විශේෂයෙන් කනත්තක් තුළ කාටත් හොරා සාකච්ඡා කිරීමට ඉතාම රහසිගත දෙයක් තිබිය යුතුය. එසේ නැතහොත් මේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයාගේ ඉල්ලීම මත ඔහු මෙම ස්ථානයට පැමිණියා විය හැකිය. එහෙත් තමන් සතු මුදලක් ගැනීමට පැමිණියා නම් මෙවැනි අවදානම් සහගත සහ සැක කටයුතු ස්ථානයක් තෝරාගැනීම සිදු කරයිද යන්න පොලීසියට ගැටලුවක් වී තිබේ.

දහවල් කාලයේ කොළඹ 07 මල් පාරේ පිහිටි තම නිවෙසින් එළියට පැමිණි දිනේෂ්, මලලසේකර මාවතේ පිහිටි කෑම කඩයකින් දෙදෙනකුට සරිලන ආහාරද මිලට ගෙන ඇතැයි පැවසේ. එසේ නම් ඔහු නියත වශයෙන්ම තමා හමුවීමට ගිය පුද්ගලයා සමඟ ආහාර ගැනීමට එම මිලදී ගැනීම සිදු කරන්නට ඇතැයි සැක කළ හැක.

මෙහි ප්‍රබලම සැකය නම් රටේ අගනගරයේ පිහිටි, මෙරට ලොකුම කනත්තක් වන බොරැල්ල කනත්ත වෙත මොවුන් අනවසරයෙන් ඇතුළු විමය. මෙරට ප්‍රසිද්ධ ආරක්ෂක සමාගමක් විසින් මෙහි ආරක්ෂාව භාරව සිට ඇති අතර ඔවුන් නොදැනුවත්ව මොවුන් මෙහි ඇතුළු වූයේ කෙසේද යන්න ප්‍රශ්නයකි. ඇතැම් පිරිස් පවසන්නේ ඒ මොහොතේ කනත්ත තුළ මරණ කිහිපයක අවසන් කටයුතු සිදුවෙමින් පැවති නිසා එම අවමංගල රථ පෙළපාලි සමඟ මෙම වාහනය ඇතුළු වන්නට ඇති බවය. එහෙත් එය විශ්වාසයෙන් තහවුරු කළ නොහැක. මක් නිසාදයත් බොරැල්ල කනත්ත වෙත මිනිය රැගෙන එන වාහන හැර අනෙකුත් වාහන ඇතුළු කිරීමට අවසරයක් ලබා නොදීමය. ඒ සියලු වාහන කනත්ත අසල පිහිටි රථගාල් තුළ ගාල් කළ යුතුව ඇත. එසේ නම් දිනේෂ්ගේ රථය කනත්ත තුළට පැමිණියේ කෙසේද?

මෙම ඝාතනයේදී පළමු සැකය එල්ල වූයේ සාෆ්ටර් සමඟ මුදල් ගනුදෙනු කළ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් වෙතය. ඒ මෙම ඝාතනය සම්බන්ධයෙන් ලබා දුන් පළමු ප්‍රකාශය හේතුවෙනි. එනම් සාෆ්‍ටර් මහතාගේ මළසිරුර සොයාගත් ඔහුගේ සමීප විධායක නිලධාරියකු විසින් ලබා දුන් ප්‍රකාශයයි. ඒ බීටී නැමැත්තකු හමුවන්නට යන බව ප්‍රකාශ කිරීමය. බීටී යනු බ්‍රයන් තෝමස් බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන පොලීසියට හඳුනා ගැනීමට වැඩි වෙලාවක් ගොස් නොතිබිණි. එයට හේතු වූයේ ෂාෆ්ටර්ගේ ජංගම දුරකථනය හරහා බ්‍රයන් තෝමස් වෙත යැවූ කෙටි පණිවිඩයකි. "ඔබ එනතුරු මම බලා සිටිනවා." යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් එහි සඳහන්ව තිබුණි.

මේ නිසාම බ්‍රයන් තෝමස් ගැන සැකය වැඩි විය. එහෙත් පුදුමය නම් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවුණේ එම කෙටි පණ්විඩය පවා ඔහුට ගැටලුවක් වී ඇති බවකි. එනම් එලෙස එවූ පණිවිඩයේ අඩංගු ඉංග්‍රීසි භාෂාව ෂාෆ්ටර් මහතාට අනන්‍ය වූ භාෂා හුරුවක් නොවන බවත් ඒ උභතෝකෝටික කෙටි පණිවිඩය ප්‍රශ්න කරමින් බ්‍රයන් විසින් කෙටි පණිවිඩ යවා විමසා තිබුණු බවත්ය. මේ නිසාම එම කෙටි පණිවිඩය අපරාධකරුවන් විසින් මෙම ඝාතනය බ්‍රයන් තෝමස්ගේ ඇඟ මත පැටවීම සඳහා ගත් උත්සාහයක් බව පරීක්ෂණ කණ්ඩායම් තහවුරු කරගෙන තිබුණි.

මේ අතර ඔහුගේ බිරිඳට ෂාෆ්ටර් මහතා පවසා ඇත්තේ තමන් රැස්වීමක් සඳහා යන බවකි. බ්‍රයන් තෝමස් හමුවන්නට යන කතාවක් ඔහු සඳහන් කර නොතිබිණි. දහවල් 1.57ට නිවෙසින් පිටත් වුණු සාෆ්ටර් මහතා බොරැල්ල වටරවුම පසුකර ඇත්තේ දහවල් 2.13ට පමණය. එපමණක් නොව ඔහු දහවල් 1.51 න් පසුව කිසිඳු ඇමැතුමක් ලබාගෙන නොමැති බව හෙළි විය.

මේ සියලු සාක්ෂි ඉතාම දරුණු අබිරහස් බව කිව යුතුය. විශේෂයෙන් ෂාෆ්ටර් මහතා ඝාතනය කිරීමේදී ඔහුගේ අත්වලට දමා තිබූ ප්ලාස්ටික් පටි ඉතාම ප්‍රශ්න සහගත වී තිබේ. එකවර අත්වලට දමා හිර කළ හැකි මෙම ප්ලාස්ටික් පටි සාමාන්‍යයෙන් මෙරට අපරාධයකදී යොදාගැනුණු දුර්ලභ අවස්ථාවකි. පාතාලය මගින් හෝ වෙනත් කොන්ත්‍රාත්තුවකට මෙම මරණය සිදු කළා නම් වෙඩි තැබිය හැකි බවත් එසේම ඔවුන්ට ප්ලාස්ටික් පටි නොව රෙදි පටිවලින් අත් බැඳිය හැකි බවත් පරීක්ෂණ කණ්ඩායමේ නිගමනය වී තිබේ. එහෙත් මේ ආකාරයෙන් ප්ලාස්ටික් පටි දමා දෑත් තද කරන්නට ඇත්තේ මේ සම්බන්ධයෙන් මනා අවබෝධයක් ඇති අයකු විය යුතු බවට පොලිසිය සැක කරයි. එහෙත් මෙම ඝාතනය වාහනය තුළ හෝ ඒ අවට සිදු කර වාහනය තුළට දැමුවාද යන්න ගැටලුවකි. එවැනි දහවලක එළිමහනේ ඝාතනයක් සිදු කරයිද යන්නද ගැටලුවකි. ඒ නිසා මෙම ඝාතනය නියත වශයෙන්ම වාහනය තුළ සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිටත් පුද්ගලයන් 50කට ආසන්න සංඛ්‍යාවකින් ප්‍රකාශ ලබාගෙන ඇත. විශේෂයෙන් ඔහු මල්පාරේ නිවසෙන් එළියට පැමිණ බොරැල්ල කනත්ත දක්වා යන මාර්ගය පුරාවට ඇති දුරකථන කුලුනු සියල්ලෙහි වාර්තා කැඳවා පරීක්ෂා කෙරෙමින් තිබේ. ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයන් පස් දෙනකුගේ දුරකථන අංක පහක දත්ත වාර්තා ද අධිකරණ නියෝග මත ලබාගනිමින් ඇත. ඊට අමතර ඇඟිලි සලකුණු කීපයක් හඳුනාගෙන ඇති අතර පොලිස් ඇඟිලි සලකුණු ඒකකයේ ඇති අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු සහ ඔහුගේ සමීපතමයන්ගේ ඇඟිලි සලකුණු මේ වනවිට සංසන්දනය කරමින් ඇත. කෙසේ වෙතත් තවමත් නිශ්චිත වශයෙන් තහවුරු කරගත් සාක්ෂියක් නැත. ෂාෆ්ටර්ගේ මෝටර් රථය අසලින් පුද්ගලයකු ගිය බවට මුලදී ඇතැම් තොරතුරු ආවත් එයද පසුව තහවුරු වුණේ නැත.

කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් මුල්ම තොරතුරු ලැබුණේ ඔහු ලබා දී ඇති ණය මුදලක් බීටී නැමති පුද්ගලයකුගෙන් ආපසු ගැනීමට කනත්තට යන බව කියාය. ඒ ඔහුගේ සිරුර සොයාගත් පුද්ගලයා හරහාය. එහෙත් පුදුමය නම් එවැනි හමුවීමක් ගැන ඔහුගේ බිරිඳ හෝ පියා දැන නොසිටීමයි. එසේ නම් මෙකී බීටී කතාව කුමක්ද?

මහ දවල් මිනී කනත්තක් අසල මේ ආකාරයෙන් ඝාතනයක් සිදුකිරීම සැකයක් මතුවිය හැකි කාරණයක් නොවේ. එනම් ඝාතකයන්ට සියලු තොරතුරු වසන් කිරීමට ඇති ඉඩ කඩ  ඒ හරහා ඇති නිසාය. එහෙත් එවැනි ස්ථානයක් වෙත ෂාෆ්ටර් මහතා පැමිණියේ ඇයිද යන්න ප්‍රධාන වශයෙන් සැකයක් ඇත. ලෝකයට හොරෙන් මෙන් මෙලෙස රහසිගත සාකච්ඡා පැවැත්වීමට මෙවැනි ස්ථානයක් තෝරාගන්නේද නැත.  මුලතී පරිදි ඒ සඳහා කොළඹ ඕනෑ තරම් හෝටල් නවාතැන් ඇත.  විශේෂයෙන් ඔහු පැමිණියේද එක් පුද්ගලයකු හමුවීමටය. පැමිණි පුද්ගලයා සූදානම්ව සිට ඇත්තේ ෂාෆ්ටර් ඝාතනය කිරීම සඳහාය. එසේ නම් මේ දෙදෙනා පමණක් දන්නා කාරණයක් පමණක් මේ සිදුවීමේ ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.
කෝටි ගණනින් මුදල් ණයට දුන් අයකුගේ ඝාතනයට සමීපවම ඇති කාරණය විය හැක්කේ මුදල්මය ගනුදෙනුවකි. එහෙත් වෙනත් හේතුද තිබිය හැක. ඒ හේතුව කුමක්ද යන්න අදටත් ප්‍රශ්නයකි. මේ සිදුවීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් අප සමඟ මෙසේ කීය.

''ඇත්තටම තවම අපට මේක හරියටම කුමක්ද කියන්න බෑ. සාක්ෂි තියෙනවා. ඒ සාක්ෂි විශ්ලේෂණය කරනවා. අපරාධකරු හරිම සූක්ෂමයි. ඒත් එක දෙයක්. ඕනෑම අපරාධකරුවෙක් කෙස් ගහක් හරි දාලා යනවා සාක්ෂියකට. අපි ඒ නිසා මේක ඉක්මනින් විසඳනවා.''

පොලිසිය දැනට සැක කරන්නේ මෙම ඝාතනය ඔහුට සමීපතමයකු විසින් සිදු කර ඇති බවය. එහෙත් එවැනි ඝාතනයක් සිදු කිරීමට හේතුව තවමත් අබිරහසකි. සමාජ වෙබ් අඩවිවල මේ සම්බන්ධයෙන් නොයෙකුත් දේ සඳහන් වේ. මෙම ඝාතනය පවුලේ ආරවුලක් මත සිදු කරන්නට ඇතැයි ද සැක කරන පාර්ශ්ව ද වෙති. එහෙත් එය සත්‍යද අසත්‍යද යන්න අපි නොදනිමු. අපට එය අනුමාන කිරීමක් හෝ කළ නොහැක. හේතුව නම් මේ ඝාතනයේ ඉතාම අබිරහස් සිදුවිමක් වීමය. ඒ අබිරහස විද්‍යාත්මක සාක්ෂි මත මේ වනවිට හෙළි කර ගනිමින් තිබේ. දැනට ලැබෙන තොරතුරු අනුව මෙම ඝාතනයේ ඇතැම් සංකීර්ණ කාරණා ලිහිල් වී ඇත. ඒ නිසා නුදුරේදීම ගැටලුව විසඳෙනු ඇතැයි සිතිය හැක. මේ වාර්තාව පළවන විටත් එය විසඳී තිබිය හැක. ඒ නිසා දැනට මේ මරණය රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් පමණක් බව කිව යුතුය.

I ගයාන් ගාල්ලගේ