2023 ජනවාරි 01 වන ඉරිදා

පාකිස්තානයෙන් මතු වූ ලෝකයේ පැරණිම පන්සල

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 461

ඉතාලි පුරාවිද්‍යාඥයන් සහ පාකිස්ථාන පුරාවිද්‍යාඥයන්ගේ ඒකාබද්ධ කණ්ඩායමක් විසින් වයඹදිග පාකිස්ථානයේ ස්වැට් දිස්ත්‍රික්කයේ වසර 2300ක් පැරණි බෞද්ධ  විහාරයක් කැණීම්වලින් මතුකර ගෙන ඇත. එය ලොව පැරණිම බෞද්ධ පන්සල ලෙසට මේ වනවිට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වී තිබේ. එම නටබුන් පිහිටා ඇත්තේ කයිවර් ප්‍රාන්තයේ බරිකොට් නගරයට ආසන්න ස්ථානයකය. මෙය වසර 2300ක් පැරණි බව ගවේෂක මහාචාර්ය ලුකා මරියා ඔලිවේර් සඳහන් කර තිබේ. ඔහු වැනිස් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ගවේෂකයෙකි. පාකිස්ථානය අද මුස්ලිම් බහුතරයක් ජීවත්වන රටක් වුවත් ඉස්ලාම් දහම ව්‍යාප්ත වීමට පෙර එරට අයත් වුණේ දඹදිව පැරණි ගන්ධාර ප්‍රදේශයටය. ගාන්ධාරය යනු මධ්‍යම දකුණු ආසියාව හා බටහිර ආසියාව හරහා යුරෝපය යා කළ කොරිඩෝරය ලෙස සැලකේ. එය බුද්ධකාලීන ඉන්දියාවේ සොළොස් මහා ජනපදවලින් එකක් විය. ක්‍රි.ව. පළමු සියවසේ සිට පස්වැනි සියවස දක්වා කාලය ගන්ධාරයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වේ. බුදු දහම ප්‍රධාන ආගම වුණු අතර 8 වැනි හා 9 වැනි සියවස්වල මුස්ලිම් ආක්‍රමණ සමඟ ගාන්ධාරයේ බිඳවැටීම ආරම්භ විය.

මෙම පන්සලෙන් තහවුරු වන්නේ බෞද්ධාගම සහ ගාන්ධාර ශිෂ්ටාචාරය පාකිස්තානය හරහා වෙනත් රටවලට ව්‍යාප්ත වීමේ මුල් අවදියයි. මෙම නටබුන් පිහිටි ස්වැට් නිම්නය ක්‍රි.පූ. 327දී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ආක්‍රමණයට යටත් වූ අතර ඉන්පසු බෞද්ධ මූර්ති කලාවට ග්‍රීක බලපෑම්ද ලැබීමෙන් විශිෂ්ට මූර්ති නිර්මාණ බිහි විය. එකල බරිකොට් පෙදෙස හඳුන්වා ඇත්තේ බසීරා හෝ බේරා යන නාමයෙනි.

පාකිස්තානයට අයත්ව පවතින බෞද්ධ නටබුන් අතර ප්‍රකට ස්මාරක පිහිටි පෙදෙසක් වන මෙතෙක් පැරණිම නටබුන් පිහිටි තැන ලෙස සැලකූ තක්ෂිලාවෙන් සොයාගත් නටබුන්වලට වඩා මෙම විහාරය පැරණි බව පුරාවිද්‍යා ගවේෂකයෝ පවසති. මේ අතර පුරාවිද්‍යාඥයන් විසින් හොඳින් සංරක්ෂණය කරන ලද මීටර් හතරක් උස ස්මාරකයක් සොයාගත් අතර පුරාවිද්‍යාඥයන් එය හැඳින්වූයේ “අප්සයිඩල් පන්සල” යනුවෙනි. ඔවුහු නගර දොරටුවකට සමාන බසීරා නගරයේ කොටසක් ලෙස පෙනෙන ප්‍රධාන වීථියක්ද සොයා ගත්හ.

මහාචාර්ය ලුකා ඔලිවේරි සඳහන් කරන්නේ මෙම නටබුන් විහාරයේ මුල්ම පදනමේ කාලනිර්ණය ක්‍රි.පූ. 322-185 කාලයේ පැවති මෞර්ය යුගයට ගැලපෙන බවයි. ධර්මාශෝක ඇතුළු මෞර්ය රජවරු ඉන්දියාව පාලනය කළ කාලයට එය අයත් කළ හැකියි. ඔහු මෙසේද පවසයි:

“මෙය ගන්ධාරයේ බෞද්ධ පැතිරීමේ නව වාස්තු විද්‍යාත්මක හැඩයක් සනාථ කරන වැදගත් සොයාගැනීමක්. පැරණිම බෞද්ධ ස්මාරකය ලෙස මෙතෙක් අපට තිබුණේ තක්ෂිලාවේ සර්කාප්හි පිහිටි නගරයක ඇප්සයිඩල් දේවාලයේ එක් උදාහරණයක් පමණයි. මෑතකදී සොයාගත් මේ ස්මාරකය පුරාණ ගන්ධාරයේ ගෘහ නිර්මාණ ශිල්පයේ පැරණිතම උදාහරණය ලෙස සැලකිය හැකියි.*

කලක් ගන්ධාරයේ කොටසක් වූ මෙම කලාපය මධ්‍යම ආසියාව පුරා බුදුදහම ව්‍යාප්ත කිරීමට මෙන්ම බෞද්ධ කලාව සහ ප්‍රතිමා කලාව වර්ධනය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ පෙදෙසක් ලෙස පුරාවිද්‍යාඥයන් අතර ප්‍රකටය. බුදුන්වහන්සේගේ කලාත්මක ප්‍රතිමා ලෙස අදටත් ප්‍රකටව ඇත්තේ ගන්ධාර කලාවයි. බුද්ධාගමට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රසිද්ධ මෙනන්ඩර් I සෝටර් රජුගේ (ක්‍රි.පූ. 165-155) සිට පුරාණ බසීරාව ඉන්දු-ග්‍රීකයන්ට සත්කාරකත්වය සැපයූ බවට නටබුන්වලින් හෙළිදරව් වන කරුණකි.

මෙම ගවේෂණයට එක්වූ පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය මිචෙල් මිනාර්ඩි මෙසේ පවසා සිටී:

“අපට කාසි රාශියක් කැණීම්වලින් හමු වී තිබෙනවා. හමුවූ නටබුන් අතර මෙනන්ඩර් රජු විසින් නිකුත් කරන ලද රිදී නිදර්ශකයක්, ග්‍රීක ඇඳුමෙන් සැරසුණු තරුණයකුගේ රෑපයක් සහිත ඛරොස්ති සෙල්ලිපියක් සහිත ග්‍රීක ඇඳුමකින් සරසා ඇති ඔනික්ස් මුද්‍රාවක්, ඛරෝස්ති අභිලේඛන, භාජන මත වෙනත් බොහෝ උපකරණ මත කෙටූ ඛරෝස්ති අභිලේඛන සහ ඔප දැමූ කළු මැටි බඳුන් වැනි ඉන්දු-ග්‍රීක සංස්කෘතිකවලට අයත් වළං කැබලිත් තිබෙනවා.*

විවිධ කාලවල කිහිප වතාවක් ප්‍රතිසංස්කරණය කරන ලද විහාර සංකීර්ණයේ ගොඩනැගිල්ල උසින් අඩි 10කි. එයට  කුඩා ස්තූපයක්, කුටියක් හෝ භික්ෂූන් වහන්සේලා සඳහා කාමරයක්, පඩිපෙළක්, වක්‍රාකාර වේදිකාවක්, ආලින්දයේ කාමර සහ පුරාණයේ පැවැති මාර්ගයක් දෙසට පෙනෙන පොදු මළුවක්ද ඇතුළත්ව තිබේ.

පුරාවිද්‍යාඥයන්ට අනුව, බසීරා ප්‍රදේශය ක්‍රි.ව. 3-4 සියවස් දක්වා බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස සමෘද්ධිමත් වූ අතර, වඩාත් ප්‍රසිද්ධ ඉන්දීය අධිරාජ්‍යයන් වූ කණිෂ්ක සහ කුෂාන් රජවරුන්ගේ පාලන සමයේදී භූමිකම්පාවකින් පසු එය අතහැර දමනු ලැබේ. අවාසනාවකට මෙන්, 2008 සිට 2010 දක්වා කාලය තුළ නිදන් හොරු විසින් මෙම ස්ථානය කොල්ල කා තිබේ. පාකිස්තාන පුරාවිද්‍යා කණ්ඩායමේ නායක ආචාර්ය අබ්දුල් සමාද් ඛාන් වැනි පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ එම ස්ථානවලින් ගවේෂණය කර ඇත්තේ සියයට පහක් පමණක් බවයි. මේ නිසා තවත් සියයට 95ක නටබුන් පවතින්නේ පොළොව යට සැඟවිලාය. ගාන්ධාර පුරාවිද්‍යා සංස්කෘතියට අයත් බොහෝ දේ ගවේෂණය කිරීමට ඉතිරිව ඇති අතර, වළලනු ලැබූ නගරය පාකිස්තානයේ ඉන්දු-ග්‍රීක යුගය පිළිබඳ තවත් වැදගත් හෙළිදරව් කිරීම් සිදු කරනු ඇතැයි සිතිය හැකිය.

ක්‍රි.ව. 1-3 සියවස්වලට අයත් වන ගාන්ධාර බෞද්ධ ලේඛන ලෙස හඳුන්වන මෙම ලිඛිත ලේඛනද ලෝකය පුරා පුස්තකාල හා පුරාවිද්‍යා ස්මාරක එකතු කරන්නන් අතර විසිරී තිබේ. මේ ලේඛන බර්ච් ගසේ පොතු භාවිතා කර සාදාගත් ලේඛනවල ඛරෝස්ටි ලෙස හැඳින්වෙන අක්ෂරවලින් ගාන්ධාර භාෂාවෙන් ලියා ඇති අතර ඒ නිසා මේවා ඛරෝස්ටි ලේඛන ලෙස හැඳින්වේ.

I කුසුම්සිරි විජයවර්ධන