2023 ජනවාරි 01 වන ඉරිදා

බලශක්ති සමුළුවකට බිල්ගේට්ස් ලංකාවට

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 116

ලෝක ප්‍රකට දානපති මයික්‍රොසොෆ්ට් ඉන්කෝපරේෂන්හි නිර්මාතෘ බිල් ගේට්ස් හට ශ්‍රී ලංකාවේ සමුළුවකට ආරාධනා කිරීමට නියමිතව ඇත. ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය පුනර්ජනනීය බලශක්ති සමුළුව සඳහා මෙලෙස ගේට්ස් ඇතුළු ප්‍රමුඛ පෙළේ ගෝලීය පුද්ගලයන්ට ආරාධනා කිරීමට නියමිතය. සමුළුව සංවිධානය කිරීමට සහ බිල් ගේට්ස් වැනි දක්ෂ පුද්ගලයන්ට ආරාධනා කිරීමේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය උපදේශකවරුන් වන එරික් සෝල්හයිම් සහ රුවන් විජයවර්ධන වෙත පවරා ඇත.

බිල් ගේට්ස් ලෝක බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පුළුල්ව මැදිහත්ව ක්‍රියාකාරීව කටයුතු කරන්නෙකි. බලශක්තිය පිළිබඳ ඔහු දක්වා ඇති අදහස් බොහෝය. ශුන්‍ය විමෝචනය කරා යන ගමන ගැන මගේ වාර්ෂික සංදේශය නමින් ඔහු 2022 ඔක්තෝබර් 18 සිය බ්ලොග් අඩවියේ තැබූ විද්‍යුත් ලියැවිල්ලක මෙසේ කියයි.

“මම මීට වසර 15 කට පෙර දේශගුණික විපර්යාස ගැන ඉගෙන ගැනීම ඇරුඹූ විට, එදා මම නිගමන තුනකට පැමිණියෙමි. පළමුව, දේශගුණික විපතක් වළක්වා ගැනීම යනු  මිනිසුන් මෙතෙක් මුහුණ දී ඇති දුෂ්කරම අභියෝගය වනු ඇති බවය. දෙවැනුව, එය කළ හැකි එකම මාර්ගය වනුයේ පිරිසිදු බලශක්ති නවෝත්පාදනය සහ ඒවා බහුලව යෙදවීම සඳහා  කඩිනම්ව  ආයෝජනය කිරීමයි. තෙවැනුව, අප ඒ සඳහා දැඩිව- ස්ථිරව ඉදිරියට යාමට කැපවීම අවශ්‍ය බවය. මානව ඉතිහාසයේ මෙම විශාලතම අර්බුදකාරී අවස්ථාව මැඩපැවැත්වීම සඳහා වූ ලෝක ප්‍රතිචාරය බලමුළු ගැන්වීම සඳහා අපේ ඊළඟ පරම්පරාවේ දැඩි කැපවීම යොමු කළහොත් අපට දේශගුණික ව්‍යසනය වළක්වා ගත හැකි බව මම තවමත් විශ්වාස කරමි.''

ලංකාවේ පැවැත්වෙන්නට යන මේ ඉහළ මට්ටමේ  ජාත්‍යන්තර ප්‍රතිපත්ති සමුළුව ලෝකය පුරා ජාත්‍යන්තර, ජාතික සහ උප ජාතික මට්ටමින් පුනර්ජනනීය ද්‍රව්‍ය පිළිබඳ අවබෝධය භාවිතය දියුණු කිරීම සඳහා සාමූහික දැනුම ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කෙරේ. 2004 බොන් හි පැවති පුනර්ජනනීය සම්මන්ත්‍රණයෙන් ඇරැඹුණු මෙම IREC සමුළු සඳහා ලෝකයේ ව්‍යාපාර, රාජ්‍ය, සිවිල් සමාජය, විද්‍යාව සහ ශාස්ත්‍රාලීය යන අංශයන්ට අයත් විවිධ නියෝජිතයන් සම්බන්ධ වන අතර ඔවුන් සියලුදෙනාම ගෝලීය බලශක්ති සංක්‍රමණය පුනර්ජනනීය බලශක්තිය වෙත ගෙන යාමේ අරමුණින් සාකච්ඡා සහ විවාදවලට සහභාගී වෙති. මෙම IREC සමුළු ද්විවාර්ෂිකව පවත්වනු ලැබේ. මෙම මහා පරිමාණ, ද්විවාර්ෂික උත්සවය ජාතික ආන්ඩුවකට එහි පුනර්ජනනීය බලශක්ති සංවර්ධන අරමුණු සංවර්ධනය සඳහා සහාය වීමට අවස්ථාවකි.

IREC මඟින් සත්කාරක රටට පුනර්ජනනීය බලශක්තිය ඉහළ නැංවීම සඳහා අත්දැකීම් බහුල දැනුමකින් හෙබි ජාත්‍යන්තර ප්‍රජාවක් කැඳවීමට අවස්ථාව ලබා දේ. එම බහු පාර්ශ්වකරුවන්ගේ පරිසරය පුළුල් පරාසයක අත්දැකීම් හුවමාරු කර ගැනීමට සහ එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට ඇති මහඟු අවස්ථාවකට ඉඩ සලසයි. නව ඉදිරි දර්ශනයක් සහ නව ප්‍රවේශයන් සමඟින් මෙයට සහභාගිවන්නන් පිටත්ව යන්නේ පුනර්ජනනීය ද්‍රව්‍ය වෙත මාරුවීම සඳහා ඔවුන්ගේ ප්‍රයත්නයන් සලකා බැලීමේ අරමුණ සහිතවය.

මේ වනවිට ලොවපුරා ෆොසිල ඉන්ධන යුගය අවසන් කිරීමට බල කෙරෙන පෙර නොවූ විරෑ බලවේගයක් බිහිව තිබේ. COVID වසංගතයට පෙර, ලොව මුහුණ දෙන දේශගුණික අර්බුදයේ විනාශකාරී බව තේරුම් ගැනීමට පාලකයන්ට බල කිරීම සඳහා මිලියන සංඛ්‍යාත තරුණ තරුණියන් වීදි බැස සිටියහ. නමුත් පසුගිය කාලය තුළ විරෝධතා ඩිජිටල්කරණය වීම සිදු වූ අතර, දෙගිඩියාවෙන් හා තවමත් දේශගුණික අර්බුදය හමුවේ  අක්‍රියව නොසැලී සිටින දේශපාලනඥයන් කෙරෙහි ඉවසීම සහ විශ්වාසය මැකී යමින් පවතින බව සනාථව ඇත. 

බිල්ගේට්ස් ඇතුළු විශේෂඥ පිරිසක් සහභාගිවන්නට නියමිත මේ සමුළුව සිය ලෝක ව්‍යාප්ත විශේෂඥ ප්‍රජාවේ සහභාගීත්වය සමඟින්, පුනර්ජනනීය බලශක්තියට සංක්‍රමණය විය හැකි බව සහ එමගින් යහපත් බලශක්ති කාර්යක්ෂමතාවක් වෙත වේගවත් සංක්‍රමණයක් සිදුකළ හැකි බව ඔප්පු කළ හැකි දැනුම සහ පුළුල් අත්දැකීම් සහිත කණ්ඩායමක සහභාගීත්වයකි.

I සුගත් පී. කුලතුංගආරච්චි

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04