වන්නිලඇත්තන් පැවසූයේ ''ආදිවාසී රැහේ හූරෙකු ජාතික ලැයිස්තු පොජ්ජෙන් පාර්ලිමේන්තු පොජ්ජට මංගච්චවනවා හොඳා කියලාය. එහෙව් හිතක් පහළ වෙන්ට ඇත්තේ දියවන්නාවේ මඟුල් සක්වළ දැක රුහේ හූරන්ගේ හිත් පොජ්ජ කීං ගාලා වෙන්ටැති'' යැයි අපට සිතේ. එසේ නැතිනම් වන්නිලඇත්තන් මෙදා සැරේ නටන්න හදන සවුදම කුමක්දැයි ප්‍රශ්නයක් මතුවෙයි. මේ ඔහුගේ කතාවයි.
“දිස්ත්‍රික්ක 6ක ගම් 62ක ආදිවාසීන් ජීවත් වෙනවා. මේතාක් අපි අපේ ප්‍රශ්න රටේ බලධාරීන්ට කිව්වත් ඒ අපේ ප්‍රශ්නවලින් විසඳුණු ප්‍රශ්නවලට වඩා නොවිසඳුණු ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒවාට ඇහුම්කන් දෙන පාටකුත් නෑ. සංස්කෘතික අමාත්‍යංශය තිබ්බාට ඒකට මුළු රටේම ප්‍රශ්න විසඳන්න තියෙනවා. ලක්ෂ 5ක් පමණ සිටින මේ ඇත්තන්ට කතා දමන්න (කතා කරන්න) මේ ඇත්තන්ගේ ඇහුම් පොජ්ජ මන්දො කරන්න (ඇහුම්කන් දෙන්න) මොන එකෙක් හරි ඉන්න ඕනෑ. එහෙම කෙනෙක් හිටියා නම් මේ ඇත්තන්ට ලොකු හඬක් නගන්න පුළුවන්. මේ දිස්ත්‍රික්ක හයේම හොඳට ඉගෙන ගත් කැකුළො කැකුළියො (තරුණ තරුණියො) ඉන්නවා. ඒ කවුරුන් හරි අපේ පරපුර වෙනුවෙන් පාර්ලිමේන්තුවට යනවා නම් හොඳමයි. (හොඳයි)”
ඉහළ අධ්‍යාපන සුදුසුකමක් සහිත තරුණ පරපුරේ කෙනකු පාර්ලිමේන්තුවට යැවීමට වන්නිලඇත්තෝ සිතුවද පාර්ලිමේන්තුවට යාමට අවශ්‍ය සුදුසුකම් මොනවාදැයි වන්නිලඇත්තන් වගේම අපිද නොදනිමු.
ඉන්පසු අප විමසූයේ වන්නිලඇත්තන් පාර්ලිමේන්තු යනවා නම් ඒ යන්නේ පුටුවෙන්ද, මිටියෙන්ද එසේත් නැතිනම් වෙනම කෙටේරියකින්ද යන්නය.
“අපිට පාට පක්ෂ නෑ. ජාතික ලැයිස්තුවෙන් යන්න පුළුවන් නම් ඒත් හොඳමයි. ඒත් මේ පරපුරේ ඇත්තන් වැඩිදෙනකුගේ හිත් ලාන්නේ (කැමැත්ත තිබෙන්නේ) තියෙන පක්ෂවලින් ඈත්වුණු ස්වාධීන පක්ෂයක් යටතේ හෝ පාර්ලිමේන්තුවට යන්න ඉඩක් සැලසෙනවා නම් ඒකටයි.
ජරාජීර්ණ වෙමින් පවතින රටක මහ පොළොවේ උරුමක්කරුවන් වන ආදිවාසීනට මේ රට ගොඩගැනීමට යම් ඉඩක් ලැබුණහොත් පාර්ලිමේන්තු ගිහින් මුලින්ම කරන්නේ කුමක්දැයි අපි වන්නිලඇත්තන්ගෙන් ප්‍රශ්න කළෙමු.
“මේ රටේ මුලින්ම හදන්න ඕනෑ අංක එකටම මන්දො කරගන්න ඕනෑ මේ තියෙන හොරකමයි දූෂණයයි වංචාවයි. ඒක කරගන්න බැරිනම් මොන අගමැති මොන ජනාධිපති පත්වුණත් මේ රට හදන්න බෑ. ඒක කරන එකත් හීනයක් වගේ තමයි. එක එක ඇමැතිලා අරහෙට පනිනවා. මෙහෙට පනිනවා. කිසිම වගකීමක් නැති තට්ටු මාරු දේශපාලනයක් තමා දැන් තියෙන්නේ. එහෙම කරන්නේ රටට ජාතියට ආගමට සමාජයේ යහපතට නෙමෙයි. තමන්ගේ වාසියට. උපදින්න ඉන්න කැකුළන්ට හඳහන් හදනවා වගේ වැඩක් මේක. 225ක් රඟද්දී රුහේ එක මිනිහෙක් ගිහින් මේ රට හදනවා කියන්නේ බොරුවක්. ඒත් අපට උත්සාහයක් ගන්න පුළුවන්.”
වන්නිලඇත්තන් කියන්නේ එහෙමය. සැබවින්ම ආදිවාසීන්ට දේශපාලනය කරන්න බැරිද? සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආදිවාසී ජන විඥාන අධ්‍යයන කේන්ද්‍රයේ අධ්යක්ෂ ආචාර්ය ප්‍රදීප් උළුවඩුගේ මහතා මෙසේ පැවසුවේය.
මෙය සවිස්තරාත්මකව සාකච්ඡාවට බඳුන්විය යුතු තේමාවක්. සෑම මිනිසකුටම දේශපාලන අයිතිවාසිකමක් උපතින්ම හිමිෙවනවා. එය ඒ ආකාරයෙන්ම ආදිවාසීන්ටද හිමිවෙනවා. එකී අයිතිය ජාත්‍යන්තර සම්මුති ගණනාවක මෙන්ම 1947 මානව අයිතිවාසිකම් විශ්ව ප්රකාශනයේ 21 වැනි වගන්තියේදී ද තහවුරු කර තිබෙනවා. ආදිවාසීන්ට දේශපාලන සහභාගීත්වයට ඉඩදීම යන කාරණය අපේ රටට නවමු කථිකාවක් වුවත් ලෝකයේ වෙනත් රටවල ආදිවාසීන්ට දේශපාලන සහභාගීත්වයට ඈත අතීතයේ පටන් ඉඩකඩක් ලබාදී තිබෙනවා. නූතන ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන්ගෙන් 11ක් පමණ ආදිවාසීන්. වර්තමාන ඇමෙරිකානු කොංග්‍රසයේ ආදිවාසීන් දෙදෙනකු නියෝජනය කරනවා. අපේ රටට මෙය අලුත් වූවාට ලොව ආදිවාසීන් වෙසෙන බොහෝ රටවල දේශපාලන සහභාගීත්වයට ආදිවාසීන්ට ඉඩකඩ විවර වී තිබෙනවා. ලංකාවේ ආදිවාසීන් කියන්නේ කණ්ඩායමක් වශයෙන් ගතහොත් විශාල වශයෙන් අගතියට පත්වූ කණ්ඩායමක්. ලංකාවේ අපිට කිසිම වෙලාවක තර්ක කරන්න බෑ ආදිවාසීන්ට ආදිවාසීන් වීම නිසාම පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බෑ කියලා. පමා වී හෝ ආදිවාසීන්ට දේශපාලන සහභාගීත්වයක් ලබාදීම සම්බන්ධයෙන් අපේ රටේ කථිකාවක් ඇරඹීම වටිනවා යැයිද අධ්යක්ෂවරයා පැවසුවේය.
මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථමවරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ ආදිවාසී කාන්තාව වනුයේ හෙන්නානිගල ග්‍රාමයේ ඩබ්ලිව්.එම්. ශිරෝමාලාය. ශිරෝමාලා යනු ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ ලේලියෙකි. ඇය හෙන්නානිගල කොට්ඨාසයේ මන්ත්‍රීවරිය ලෙස කටයුතු කරන්නීය.
බදුල්ල, මොනරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ලක්ෂ 5කට ආසන්න ආදිවාසීහු ජීවත්වෙති.
I සසංක චලන ගිම්හාන