2023 ජනවාරි 01 වන ඉරිදා

කාලෙකට පස්සේ උදා වූ අඳුරුම නත්තල

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 81

මෙවර නත්තල උදා වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට මහ වැසි සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟය. නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් ඇතුළුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීම හේතුවෙන් ප්‍රදේශ රුසකට දැඩි බලපෑම් එල්ල විය.

බොහෝ දෙනකු පැවසුවේ නත්තල් දිනය මෙලෙසින් කාලගුණික විපර්යාසයකට ලක් වූයේ බොහෝ කලකට පසුව බවය. අනපේක්ෂිත ලෙස සිදුවූ කාලගුණ වෙනස්වීම් හමුවේ ප්‍රදේශ රුසක දවස පුරාම දැකගත හැකි වූයේ ඉතා අඳුරු ස්වභාවයකි. පැවැති තද වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක පහකට න්‍යාය යාමේ අවදානම සම්බන්ධයෙන් ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය අනතුරු අඟවා තිබිණි.

මෙම කාලගුණික තත්ත්වය හමුවේ වැඩිම බලපෑමක් එල්ල වූයේ මහනුවර දිස්ත්‍රික්කයටය. මහනුවර, අකුරණ, දුනුවිල ගම්මානයේදී නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එකම පවුලේ දරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූයේ මුළු ගම්මානයම හඬවමිනි. එම අවස්ථාවේදී නිවෙසේ මව, පියා ඇතුළු දරුවන් තිදෙනා රුඳී සිටි අතර නිවෙස මතට කඩා වැටුණු පස් කන්දේ සුන්බුන් ඉවත් කරලීමට හමුදාව, පොලිසිය ඇතුළු ප්‍රදේශවාසීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. අනතුරුව මව, පියා මෙන්ම තවත් දරුවකු රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන්ට හැකි වූ අතර ඔවුන්ගේ දිවි බේරාගැනීමට හැකි විය. එහෙත් පස් කන්දට යටවූ දියණිය සහ පුත්‍රයාගේ දිවි බේරාගැනීමට හැකියාව නොලැබිණි. පැය කිහිපයක් මහත් පරිශ්‍රමයක් ගෙන යට වූ සිරුරු මුදාගන්නා විටත් ඔවුන්ගේ අවසන් හුස්ම පස් කන්ද යටදීම වා තලයට මුසු වී හමාරය. එලෙසින් අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ දහඅට හැවිරිදි අයේෂා නිශානි විතාරණ සහ දහසය හැවිරිදි විකුම් සාරංග විතාරණ යන අය වෙති.

පැවැති අනපේක්ෂිත වාර්ෂාව සහ ගංවතුර තත්ත්වය හමුවේ මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය ද ජලයෙන් යට වී තිබිණි. එහි තිබූ ඉතා වටිනා ලිපි ලේඛන හා අධ්‍යාපනික උපකරණ රැසක් ද විනාශ විය.

මහනුවර පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන් නත්තල් සැමරීමට විවිධ ඉසව් සඳහා සංචාරයේ නියැලුණු දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පිරිසකට දැඩි ලෙස බාධා එල්ල විය. ඒ අනුව බොහෝ විදෙස් සංචාරකයන්ට එදින සිදුවූයේ තමන් නවාතැන් ගෙන සිටින හෝටල්වල දවස ගත කිරීමටය. අලුයම සිට දවස පුරාම පැවැති අඳුරු ස්වභාවය මුළු ප්‍රදේශයම වසාගෙන තිබිණි. 

මෙම අයහපත් කාලගුණික තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ල වූයේ මහනුවර දිස්ත්‍රික්කයටය. මහනුවර නගරය ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රුසක්ම අඩි කිහිපයක් උසට ජලයෙන් වැසී තිබූ අතර මහා මාර්ගයේ නතර කර තිබූ වාහන කිහිපයක් ද ගංවතුරට ගසාගෙන ගොස් තිබිණි. එමෙන්ම බොහෝ නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන ජලයෙන් යටවීම හේතුවෙන් භාණ්ඩ හා නිවෙස්වලට විශාල හානි සිදුව තිබිණි.

මහනුවර දිස්ත්‍රික්කය මෙලෙස දරුණු ගංවතුර තත්ත්වයකට මුහුණ දී අලාභ රුසක් වාර්තා වූයේ වසර හැත්තෑ හතරකට පසුව බව සඳහන්ය. එයට ප්‍රධාන හේතුව වන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම්ය.

පැවැති කාලගුණය හමුවේ දිස්ත්‍රික්ක පහක නිවෙස් එකසිය දහයකට වැඩි ගණනකට හානි සිදුව තිබූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. මෙහිදී එක් නිවෙසක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර නිවාස එකසිය නවයකට අර්ධ හානි සිදු විය. ජීවිත දෙකක් මෙම අනපේක්ෂිත කාලගුණික තත්ත්වයට බිලි වූ අතර හත් දෙනකුට තුවාල සිදු වී තිබිණි. මෙයින් පවුල් තුන්සිය අසූ හතකට අයත් 1675 දෙනෙක් පීඩාවට පත්ව සිටියහ.

අනපේක්ෂිත කාලගුණික තත්ත්වය හේතුවෙන් එරාවූර් ප්‍රදේශයේ ගොවිපළක එළුවන් සහ කුකුළන් තිස් පහකට අධික සංඛ්‍යාවක් අකුණු සැර වැදී මියගොස් තිබිණි.

දෙසැම්බර් 25 වැනිදා අලුයම කාලයේ සිට පැවැති වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඇතැම් කතෝලික බැතිමතුන්ට දේවස්ථානවලට යාමට පවා නොහැකි විය. දුම්රිය ඇතුළු රථවාහන ගමනාගමනයට බාධා සිදුවීම හේතුවෙන් එදින ඇතැම් මාර්ගවල පාළු ස්වභාවයක් දිස් විය. දවස පුරා පැවැති මෙම තත්ත්වය පසුවදා පහව ගියද ජීවිත හා නිවාස ඇතුළු දේපළ විනාශ වූයේ ඉතා අනපේක්ෂිත අයුරිනි.

I දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04