කොත්තු තැටියෙන් ආ රිද්මය ගෙන ආවේ වළලු දැමූ අතකිනි. තවමත් අවුරුදු විසි හතරක් වූ අනුත්තරා හංසනී අද වෙද්දී රසට ආහාර පිසිනා දිරිය තරුණියකි. මොරටුව මෝල්පේ ප්‍රදේශයේ ද සොයිසා පාරේ පිහිටා ඇති ''රජරස කේටරින්'' වෙතට යන ඕනෑම කෙනකුට අනුත්තරාගේත් ඇයගේ නැගණිය වන නිමේෂාගේත් අතින් පිසෙන ආහාරවල රස බැලීමේ හැකියාව ලැබේ. තම මවගේ අත්ගුණයෙන් මුලින්ම ආහාර පිසිද්දී අනුත්තරාටවත්, නිමේෂාටවත් මෙලෙසින් තම අත්වලින් ආහාර පිස අලෙවි කරන අදහස තිබුණේ නැත.
අනුත්තරාගේ මවගේ ගම නුවරඑළියේය. පියා පිළියන්දල ප්‍රදේශයේ ජීවත් වූවෙකි. අනුත්තරාගේත්, නිමේෂාගේත් ළමා කාලය ගෙවුණේ සීතල නුවරඑළියේය. ඔවුන් අධ්‍යාපනය ලැබුවේද එහිය. අනුත්තරාගේ මවට රසට කෑම පිසීමේ හැකියාව තිබුණි. ඒ නිසාම නුවරඑළියේ සිට පිළියන්දලට පැමිණි ඔවුහු කහතුඩුව ප්‍රදේශයේ කුලියට ගත් කුඩා කාමර කෑල්ලක ''රජරස කේටරින්'' ආරම්භ කළහ. ඒ 2019 අවුරුද්දේ ජූනි මස 10 වැනිදා ය.
''රජරස කියලා කේටරින් එකක් පටන්ගමු කියල මුලින්ම යෝජනා කළේ අම්මායි. එයාට හරි රසට කෑම හදන්න පුළුවන්. ඉස්සර ගමේ අය වගේම තාත්තාගේ නෑදෑයෝ නුවරඑළිය ආව ගමන් අම්මාගේ කෑම හරි රසයි කියල කියනවා. ඉතින් අපි කහතුඩුවට ආවට පස්සේ අම්මා ''අපි කඩයක් දාමු'' කියල කිව්වා. තාත්තා වඩු වැඩ කළේ. ඒ නිසා කහතුඩුව අධිවේගී මාර්ගය ළඟ අපි අවුරුදු දෙකක් ඒ කඩේ කළා. හොඳ බිස්නස් එකක් අපිට තිබුණා. හැමෝම අම්මාගේ රස කෑම ගැන කතා කළා.'' යැයි අනුත්තරා දේශයට අදහස් දක්වමින් පැවසීය.
කහතුඩුව ප්‍රදේශයේ ආරම්භ කළ ''රජරස කේටරින්'' හලට අනුත්තරාගේත්, නිමේෂාගේත් මැදිහත්වීමක් තිබුණේ නැත. තම මව යටතේ සේවකයන් කිහිපදෙනෙක් වැඩ කරමින් රජරස සාර්ථකව කරගෙන ගියහ. නමුත් මේ බොහෝ සේවකයන් රස්සාවට සාධාරණයක් කළේ නැත. ඔවුන් රස්සාව කරන අතරතුරේ හොරකම් කළ බවත් යටිමඩි ගැසූ බවත් කියති. මේ නිසාම මවගේ අත්ගුණේට රජරසට ඉල්ලුමක් තිබුණද සේවකයන්ගේ හැසිරීම් හේතුවෙන් අනුත්තරාගේ මව පසුවූයේ දැඩි කලකිරීමකිනි. වසර දෙකකට පසුව කඩහිමියා කඩ කාමරය ඉල්ලා සිටීම හේතුවෙන් ඔවුහු මොරටුව ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන පැමිණියහ. එම නිවෙස අසල අලුතින් රජරස කේටරින් ආරම්භ කරන ලද්දේ මීට අවුරුදු දෙකකට පමණ පෙරදීය.
''කහතුඩුව කඩේ කරද්දී අපි මේ විදිහට වැඩ කළේ නැහැ. වැඩට කට්ටිය අරගෙන තමයි කඩේ වැඩ කළේ. හැබැයි ඒ ගොඩක් අය අපිට හොරවැඩ කළා. සමහර දවස්වල කොත්තුවලට පිටි අනල වැඩට එන්න බැහැ කියල නිවාඩු ගන්නවා. එතකොට අනපු පිටි ඔක්කොම අපිට විසි කරන්න වුණා. එහෙම නාස්ති වැඩ ගොඩක් සිදුවුණා. දවසක් කඩේ කොත්තු වැඩවලට හිටපු මුස්ලිම් මනුස්සයා පිටි ටික අනලා හොඳටම බීලා හිටියා. කඩේ වැඩකරගන්න තියා නැගිට ගන්නවත් පණක් තිබුණේ නැහැ. මට අම්මා ගැන එදා ගොඩාක් දුක හිතුණා. මම කඩේට ඇවිත් පිටි ටික රෝල් එකකින් තුනීකරද්දී අර මුස්ලිම් මනුස්සයා නැගිටලා ඇවිත් ''බබාට මම කොත්තු හදන හැටි කියල දෙන්නම්'' කියල පැයකදී විතර කොත්තු හදන හැටි එකින් එක මට කියලා දුන්නා. ඒකෙන් මම කොත්තු හදන හැටි ඉගෙන ගත්තා. මොරටුව කඩේ පටන් ගනිද්දී මායි නංගියි තමයි කඩේ මුල ඉඳන්ම අදටත් වැඩ කරන්නේ.'' අනුත්තරා කියන්නීය.
අද වෙද්දී අනුත්තරා තනියම කොත්තු ඇතුළු ආහාරවලට අවශ්‍ය පිටි අනා ගනියි. රොටි සාදා රොටි කපා ගන්නේද ඇයමය. පරාටා, එළවළු රොටී ඇතුළු රොටී හදන්නේද ඇයමය. අද ඇයට අත හොඳටම හුරුය. කොත්තු තැටියේ අපූරු රිද්මයක්ද ඇයට ඇත. අනුත්තරා කොත්තු ඇතුළු පිටි ආහාර රජරස කේටරින් හලේ හදද්දී නිමේෂා ෆ්‍රයිඩ් රයිස් ඇතුළු බත් වර්ග සාදන්නීය. අනුත්තරා කේක් පාඨමාලාවක්ද හදාරා ඇත. ඒ නිසාම පේස්ට්‍රි ඇතුළු කේක් වර්ග සාදන්නේ අනුත්තරාය. අද වනවිට ''රජරස'' කේටරින් හලේ ආහාර පිසින්නේ මේ අක්ක නගෝ දෙදෙනාය.
මේ වනවිට මේ ආහාරවලට ඉතා ඉහළ ඉල්ලුමක් ඇත. මවගේ පූර්ණ සහයෝගය සහ නිරන්තර සොයාබැලීම සිදුවන අතර අනෙක් සියලු කටයුතු සිදුවන්නේ අනුත්තරාගේත් නිමේෂාගේත් අතිනි. මේ නිසාම දෙදෙනාට වැඩ වැඩිය. එහෙයින් මේ වසරේ සිට තමන් මෙන් වැඩ කළ හැකි තරුණ දෙදෙනකුට ඔවුන් සමඟ එක්ව වැඩ කිරීමේ හැකියාව තිබෙන අතර මෙවැනි රුකියාවකට කැමැති කෙනෙක් සිටී නම් ඔවුන් හා එක්වන ලෙස අනුත්තරා ඇරුයුමක්ද කළාය.
පසුගිය කාලය තුළ ඔවුහුද ගෑස් අර්බුදයට මුහුණ දුන්හ. මේ නිසාම බොහෝ ආපන ශාලා ඇතුළු හෝටල් වසා දැමුවද අනුත්තරා එයට විකල්පයක් සොයා ගත්තාය. මොරටුව ලී වලට ප්‍රසිද්ධය. ඉවතලන ලි කැබැලිවලින් අඩුවක් නැත. මේ නිසාම රජරස කේටරින් හලේ පිටුපස ප්‍රදේශයේ කුඩා මුළුතැන්ගෙයක් සැදූ ඔවුහු එහි දර ලිපක් සෑදූහ. එතැන් සිට ඔවුන් කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ඇතුළු සියලුම ආහාර පාන උයා ගත්තේ දර ලිපේය.
අනුත්තරාගේත්, නිමේෂාගේත් අවන්හලේ තවත් විශේෂත්වයක් පවතී. කොයිතරම් මහන්සි වුවද, කොයිතරම් වැඩකළද ඔවුන්ගේ වැඩ හරි පිළිවෙළය. ඔවුහු ලස්සනට හැඳ පැළඳ සිටිති. ඇතැම් කොත්තු, ෆ්‍රයිඩ් රයිස් පිසින පුද්ගලයන් දහඩිය පෙරමින්, කිළිටි වූ ඇඳුම් හැඳ සිටියද අනුත්තරාත් නිමේෂාත් ආහාර පිසින්නේ නිසි පිළිවෙළට හැඳ පැළඳගෙනය.
''පිළිවෙළට හා ලස්සනට ඉන්නේ අපේ අම්මා නිසයි. අපි පුංචි කාලේ බාගෙට පිඟානක් කෝප්පයක් හේදුවත් අම්මා අපිට කියල ආයෙත් හේදෙව්වා. ඒ නිසා අපි අදටත් ගෙයක් අස් කළත්, කඩේ අස් කළත් පිළිවෙළට පිරිසිදුව කරනවා. දර ලිපේ උයද්දී වුණත් අපේ අත්වල දැලි නැහැ. උදේ ඉඳන් හවස් වෙනකම් අපි කඩේ හිටියත් අපේ අත්වල කුණු ගෑවෙන්නේ නැහැ. අපි හැමවෙලේම ලස්සනට ඉන්න ආසයි.'' අනුත්තරා කියන්නීය.
අනුත්තරාටත්, නිමේෂාටත් අහල පහල පිරිසද කැමැතිය. ඒ නිසාම අනවශ්‍ය විහිළු තහළුවලට ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ නැත. කුඩා දරුවන් අනුත්තරාටත් නිමේෂාටත් ආදරේය. ඇතැම් දිනවලදී කුඩා දරුවන් රජරසට පැමිණෙන්නේ අනුත්තරාට සහ නිමේෂාට චිත්‍රයක් ඇඳගෙනය. ඇතැම් විට තෑග්ගක් රුගෙන එති. අද අනුත්තරාටත් නිමේෂාටත් යහළු කුඩා දරුවන් බොහෝය.
උදෑසන නවයේ සිට රාත්‍රි දහය දක්වා රජරස විවෘතව පවතී. ඔවුහු කෑම ඕඩර් බාරගෙනද කරති. මීට අමතරව මේ වසරේ සිට ඕනෑම උත්සවයකට අවශ්‍ය කරන ආහාර පාන ඒ අදාළ ස්ථානයට ගොස් සාදාදීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇත. ''රජරස'' වල රස බලන්නට පැමිණෙන්නේ යැයි අනුත්තරා ඔබටද ආරාධනා කරයි.
I දිශානි ජයමාලි කරුණාරත්න