රජයක් පවත්වාගෙන යාම සඳහා ආදායම ලබාගැනීම අවශ්‍යය යන්න ගැන තර්කයක් නැත. ඒ නිසා බදු අය කිරීම අත්‍යවශ්‍ය වෙයි. ඍජු සහ වක්‍ර බදු වශයෙන් බදු වර්ග දෙකකි. වක්‍ර බද්ද භාණ්ඩ සහ සේවා මත පනවා ඇති නිසා ඒවා මිලදී ගන්නා අවස්ථාවේ නිරායාසයෙන් බදු ගෙවීම සිදු වේ. එහෙත් ඍජු බදු අයකර ගැනීමට අවශ්‍යය. එය යම් තරමක සංකීර්ණ ක්‍රියාවලියකි. පාර්ලිමේන්තු පනත් මගින් බදු නියම කළද පුද්ගලයා එය නොගෙවන්නේ නම් බලාපොරොත්තු වන ආදායම නොලැබේ. ඇතැමුන් පුරුදුව ඇත්තේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර බදු ගෙවීමෙන් කට්ටි පැනීමටය. එයට උඩ ගෙඩි දෙන ඊනියා බදු උපදේශකවරු ද සිටිති. එසේම ස්වේච්ඡාවෙන් බදු නොගෙවන අයගෙන් බදු අයකර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදු වේ. එවිට අදාළ වර්ෂයේ බද්ද අයකර ගැනීමට වසර දෙක තුනක් වුවද ප්‍රමාද වෙනවා ඇත.
රජය ඍජු බදු අය කිරීමට මන්දගාමී වන්නේ ඒවා අයකර ගැනීමේදී මුහුණ දෙන්නට සිදුවන ගැටලු නිසාය. ඒ නිසා අලුත් බදු යෝජනා ඉදිරිපත් කිරීමට බොහෝ ආණ්ඩු පසුබට වෙයි. එසේ වුවද බදු ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් මතු කරමින් රනිල් වික්‍රමසිංහ රජය යටතේ පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කර කතානායකවරයා අත්සන් කිරීමෙන් පසු නීතියක් බවට පත්වූ 2022 අංක 44 දරණ එකතු අගය මත බදු පනත මගින් විශාල ආදායමක් ලබාගැනීමට රජය අපේක්ෂා කරයි. එසේ වුවද මෙහිදී ගැටලුවක් මතුවන්නේ ජනතාවට මෙම බද්ද ගෙවීමට හැකියාවක් තිබේද යන්නය. බදු නීති කොතරම් පැනවුවද එය ගෙවිය යුත්තේ ජනතාව නිසා ඔවුන් නොගෙවන්නේ නම් රජයට අපේක්ෂිත බදු ඉලක්කවලට ළඟා වීමට නොහැකිය.
දැනටමත් වැට් බද්ද, සෙස් බද්ද, සමාජ ආරක්ෂණ බද්ද, උපයන විට ගෙවීමේ බද්ද ආදී විවිධ බදු රාශියක් ගෙවීමට සිදුව ඇති ජනතාවට මෙම අලුත් බද්ද ද ගෙවීමට හැකියාවක් තිබේද යන්න ගැටලුවකි. එසේම අද රටේ ඇති ජීවන වියදම් තත්ත්වය මත පීඩා විඳින ජනතාවට මෙම බද්ද ගෙවීමට යාමේදී මුහුණ දෙන්නට සිදුවන ගැටලුකාරී තත්ත්වය සුළු පටු නොවේ.
පුද්ගල ආදායම් බදු අය කිරීමේ සීමාව මෙයට පෙර තිබුණේ මාසික ආදායම ලක්ෂ 2 ½ සිටය. එතැන් සිට වැඩිවන ආදායමට බදු අය කෙරුණි. මෙහිදී වාර්ෂික ආදායම මිලියන 3 ඉක්මවූ අයට බදු ගෙවීම අනිවාර්ය විය. එහෙත් මෙම තත්ත්වය උඩු යටිකුරු වූයේ යෝජිත අලුත් බදු පරිමාණ අනුවය. මෙහිදී මාසික ආදායම රුපියල් ලක්ෂයකට වැඩිවන සැම දෙනාම බද්දට යටත් වේ. ගෙවිය යුතු බද්ද පියවරෙන් පියවර ඉහළ යයි. අවසානයේදී 30% - 36% බද්දක් ගෙවීමට සිදුවෙයි.
බදු ආදායම 2023-01-01 සිට 2023 මාර්තු 31 දක්වා බදු ප්‍රතිශත
පළමු රුපියල් 125,000 – 6%
දෙවැනි රුපියල් 125,000 – 12%
තෙවැනි රුපියල් 125,000 – 18%
සිවුවැනි රුපියල් 125,000 – 24%
පස්වැනි රුපියල් 125,000 – 30%
ඉතිරි සියල්ලට - 36%
බදු ආදායම 2023-04-01 සිට 2024-03-31 දක්වා බදු ප්‍රතිශත
පළමු රුපියල් 500,000 – 6%
දෙවැනි රුපියල් 500,000 – 12%
තෙවැනි රුපියල් 500,000 – 18%
සිවුවැනි රුපියල් 500,000 – 24%
පස්වැනි රුපියල් 50,000 – 30%
ඉතිරි සියල්ලට - 36%
මෙහිදී ප්‍රත්‍යක්ෂ වන්නේ කාණ්ඩ දෙකක් අනුව බදු අය කරන අතර වැඩි ආදායම් ලබන පිරිසට වැඩි බද්දක් ගෙවීමට සිදුවන බවය. මෙම බදු අනුපාත විශ්ලේෂණය කිරීමේදී මතුවන ප්‍රධානතම ගැටලුවක් වන්නේ රුපියල් 1,25,000 ක ආදායමක් ලබන පිරිසට 6% ක බද්දක් ගෙවීමට සිදුවීම කොතරම් දුරට සාධාරණද යන්නය. මෙතරම් සුළු මාසික ආදායමක් ලැබෙන පිරිසට කිරීමට විශාල වැඩ කොටසක් තිබේ. රටේ මධ්‍යම පාන්තික ජනතාව සිය ආදායමෙන් 60% කට වැඩි ප්‍රමාණයක් ආහාර ඇතුළු අත්‍යවශ්‍ය දේ සඳහා වැය කරන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට රටේ ආහාර උද්ධමනය 90% දක්වා ඉහළ නැග ඇත. ලොව රටවල් අතර අපේ රට උද්ධමනයෙන් 7 වැනි ස්ථානයට පත්ව ඇත. ජනතාවට අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය දේ ගිනි ගණන්ය. රටේ ජනතාවගෙන් 60% ක පමණ පිරිසකගේ ආහාර වේල් ප්‍රමාණය දෙකක් හෝ එකක් දක්වා අඩුකර 60% පමණ පිරිසකගේ ආහාර වේල් ප්‍රමාණය දෙකක් හෝ එකක් දක්වා අඩුකර ඇති අතර මෙම ආහාර වුවද පෝෂ්‍ය පදාර්ථවලින් හිඟ බව සොයාගෙන ඇත. අද පවතින ආර්ථික තත්ත්වය අනුව මධ්‍යම පන්තිය දියවී ගොස් එය පහළ පීඩිත පන්තියට එකතු වන බවද පැවසේ. මේ නිසා මධ්‍යම පන්තියට එල්ල වන මෙම බදුවලින් ඔවුන් තව තවත් පීඩාවට පත්වනවා ඇත.
රටේ පහළ පාන්තිකයන් වැඩි කොටස යැපෙනුයේ මධ්‍යම පාන්තිකයන් මතය. ඔවුන්ගේ ආදායම් මාර්ග මධ්‍යම පාන්තිකයන්ට බද්ධ වී ඇත. මධ්‍යම පාන්තිකයන් පීඩිත පන්තිය දක්වා ගමන් කිරීම නිසා ඔවුන්ගෙන් ජීවන මාර්ග සලසා ගන්නා පහළ පන්තිවල ජනතාව විශාල අමාරුවක වැටී තිබේ. ගමේ භාෂාවෙන් පැවසුවොත් වැලේ වැල් නැති තත්ත්වයට පත්ව සිටිති. මේ නිසා මෙම බදු ව්‍යුහ සකස් කරන විට රටේ ජනතාව පීඩා විඳින ප්‍රශ්න පිළිබඳ සලකා බැලීමක් සිදු කර ඇති බවක් නොපෙනේ. බොහෝ දෙනා පවසන්නේ මෙම නව බදු ක්‍රම සකස් කර ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් මත මුල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම සඳහා බවය. එම අදහස සත්‍ය නම් එය ඉතාම ශෝචනීය තත්ත්වයකි. මල නොතලා රොන් ගන්නවා මෙන් බදු ගැසිය යුතුව තිබියදී මෙලෙස ජනතාව හිංසාවට පත් කර සූරා ගැනීම යුක්තියේ මූලධර්මවලට ඉඳුරා පටහැණි වේ.
ජනතාවගේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව දුර්වල වී ඇත. අතට ලැබෙන මුදල වාෂ්ප වන බව කියයි. ඒ නිසා අත්‍යවශ්‍ය දෙය ලබාගැනීමට පවා ආදායම් ප්‍රමාණය සෑහෙන්නේ නැත. එවැනි තත්ත්වයක් මත මෙම බද්ද අයකර ගැනීමට කොතරම් දුරට සාර්ථක වේ දැයි සිතාගත නොහැකි බව විද්වතුන්ගේ මතය වෙයි. ජනතාව අත්‍යවශ්‍ය දේවලට වැය නොකර මෙම බද්ද ගෙවීමට තරම් ත්‍යාගවන්ත නොවනවා ඇත. එවැනි විටෙක පැහැර හරින බදු අයකර ගැනීමට විකල්ප ක්‍රියාමාර්ගවලට යාමට සිදුවෙයි. එම තත්ත්වය කොතරම් ප්‍රායෝගිකද යන්න සිතාගත නොහැකිය.
බොහෝ අයගේ අදහස වන්නේ අලුතෙන් බදු ඉදිරිපත් කරනවාට වඩා පවතින බද්ද සාර්ථක ලෙස එකතු කර ගැනීමට පියවර ගත යුතු බවය. අද පවතින වාතාවරණය අනුව පනවා ඇති බදු නිසියාකාරව අයකර ගැනීම සඳහා වගකිව යුත්තන් පියවර ගන්නවාද යන්න ප්‍රශ්නාර්ථයකි. සාම්ප්‍රදායික ගමනක යන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොතෙක් දුරට සාර්ථකව ස්වකීය වගකීම ඉටු කරාවිද යන්නද ගැටලුවකි. බදු ගෙවන්නා දිරිමත් කිරීම වෙනත් දියුණු රටවල අනුගමනය කරන ක්‍රියාවලියක් වුවද අපේ රටේ සිදුවන්නේ ගෙවන අයම පීඩනයට පත් කරමින් නොගෙවන අයට රිසි සේ කටයුතු කරන්නට ඉඩ දීමය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නව තාක්ෂණය හඳුන්වා දෙමින් බදු එකතු කිරීම විධිමත් කළ යුතු නමුත් එය තවමත් යන්නේ ඉබි ගමනේය. බදු නොගෙවා හිඟ තබා ඇති වැඩි කොටස දේශපාලනඥයන් සහ ඔවුන්ට සම්බන්ධ පතාක යෝධයන්ය. අපේ දේශපාලකයන් මත්පැන් බාර් ආදියෙන් ලබන සත්‍ය ආදායම මත බදු ගෙවන්නේද යන්න විවාදාත්මකය. ඔවුන්ගේ අනුග්‍රහය ලබන බොහෝ දෙනෙක් බදු ගෙවීමෙන් මිදී සිටිති. උගත් බුද්ධිමත් වෘත්තිකයන් යැයි කියන බොහෝ දෙනෙක් මේ අතර සිටින බව පෙනේ. ඒ නිසා රජය උනන්දු විය යුත්තේ ජනතාවට පීඩා ගෙන දෙන බදු ප්‍රතිපත්ති හඳුන්වා දීම නොව පවතින තත්ත්වය හමුවේ ඇති ප්‍රතිපාදන ක්‍රියාවට නැංවීම බවට තර්කයක් නොමැත. එම යථාර්ථය වගකිව යුත්තන් අවබෝධ කර ගන්නේ නම් මෙවැනි පටු තීරණවලට නොඑළඹෙනු ඇති බව මැදහත් විද්වතුන්ගේ මතය වේ.
මේ බදු ගෙවන්න ජනතාවක් ඉතුරු වෙයිද?
මෙම පෞද්ගලික ආදායම් සහ වටිනාකම එකතු කළ බදු සංශෝධන පනත පිළිබඳ විවරණයක යෙදෙන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ යෝජිත සංශෝධනවල ප්‍රතිවිපාක ජනතාවට සහ ව්‍යවසායකයන්ට දැනෙනුයේ තව මසකින් හෝ දෙකකින් පමණ කාලයකින් බවයි. මෙම බදු අය කිරීම නිසා මාසික වැටුප් ලබන්නට, ස්වයං රැකියාවල නිරත වූවන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඉදිරියේදී ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවන බව ඔහු පෙන්වා දෙයි. මෙහි ප්‍රතිවිපාක තව සුළු කාලයකින් සමස්ත ජනතාව වෙත බෙදී යනු ඇති බව හෙතෙම පවසයි.
''අපේ රටේ ඍජු බදු අඩු බවට සහ වක්‍ර බදු වැඩි බවට චෝදනා එල්ල වෙනවා. ඍජු බදු සමස්ත ආදායමෙන් 18% - 20% වන අතර වක්‍ර බදු 80% - 82% පමණ වෙනවා. වක්‍ර බදු දුප්පත් පොහොසත් සියල්ලන්ටම ගෙවන්නට වන අතර එම සේවාව හෝ භාණ්ඩය පරිහරණය නොකරන අයට ද ගෙවන්නට වීම සුවිශේෂයි. රටක වක්‍ර බදු ප්‍රතිශතය වැඩි වීම උද්ධමනය ඉහළ යාමට හේතු වෙනවා. රටේ බදු ක්ෂේත්‍රය සාධාරණ වීමට නම් ඍජු බදු ප්‍රතිශතය 40% ක් හා වක්‍ර බදු 60% විය යුතුය යන්න මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. කුමන බද්දක් හෝ සාධාරණ විය යුතුයි. ගෙවන්න පුළුවන් ප්‍රමාණ්‍යක් විය යුතුයි. එසේ නොවූ විට විවිධ ප්‍රායෝගික ගැටලු ඇති වේ.
මෙම පනත් සංශෝධන මගින් අය කරන බද්ද ජනතාවට දරන්නට නොහැකි වුවහොත් එයින් පැනවූ අය බලාපොරොත්තු වන ආදායම එකතු කර ගන්නට ලැබෙන්නේ නැහැ. එසේ විවිධ සමාජ ස්ථරවල දෙදරීමක්, බිඳවැටීමක් ඇති වෙනවා. මෙම බදු ප්‍රතිශත 2018 දි හඳුන්වා දුන්නා නම් යහපත් ප්‍රතිඵල ලැබෙනවා ඇති. එයට හේතුව එම කාලයේ ජනයා අද තරම් පීඩනයකට පත්ව නොසිටීමයි. එහෙත් අද වනවිට රටේ ජනතාව විශාල ජීවන වියදමකින් බැට කනවා. රටේ ආහාර හිඟයක් තියෙනවා. ඔවුන්ගේ ජීවන රටාව බිඳවැටිලා. ඒ නිසා ඔවුන්ගෙන් තව තවත් බදු අය කිරීම නිසා ඔවුන්ගේද රටේද ආර්ථිකය බිඳවැටීමක් සිදුවනු ඇති බව පෙනී යනවා. බදු ගෙවන්නට ජනතාව ඉතිරි වේද යන්න සැකයි.
අද වනවිට ජනතාවගේ වැටුපෙන් ඉතිරි කර ගත හැක්කේ ඉතාම සුළු ප්‍රමාණයක්. වැඩි කොටස වැය වෙන්නේ ආහාර සපයා ගැනීමට සහ සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය දේ සඳහායි. මෙම අධික බදු නිසා ඔවුන්ගේ අත්‍යවශ්‍ය කටයුතු ඉටු කරලීම දුෂ්කර වනවා. රටේ මධ්‍යම පාන්තිකයන් නිසා තමයි ආර්ථිකය දුවවන්නේ. ඒ අය නිසා තමා මුදල් සංසරණය සිදුවන්නේ. රටේ වෙළෙඳපොළ පවතින්නේ ඔවුන් මතයි. දියුණු ආර්ථිකයකට උරුමකම් කියන ඉන්දියාව වැනි රටවල වැඩි සහන සලසන්නේ මධ්‍යම පාන්තිකයන්ටයි. එහෙත් අපි කරන්නේ ඔවුන්ට නිරන්තරයෙන් හිරිහැර කිරීමක්. මේ නිසා අද බොහෝ මධ්‍යම පාන්තිකයන් දිළින්ඳන් බවට පත්වෙලා. ඔවුන් නිසා විවෘතව තිබූ සුපිරි වෙළෙඳ සල්, චැනල් මධ්‍යස්ථාන, ආරෝග්‍ය ශාලා, රෙදි පිළි වෙළෙඳ සල් ආදිය වැසී යාමේ අවදානමකට ලක්වෙලා. ඒවා වැසුණු විට සේවය කරන සේවකයන්, භාණ්ඩ සපයන්නන් ආදී බොහෝ දෙනෙක් අමාරුවේ වැටෙනවා.
රජය රට දෙස බැලිය යුත්තේ පද්ධති ප්‍රවේශය System Approach අනුවයි. සෑම සමාජ ස්ථාවරයකටම සහන සැලසීමෙනුයි. රටේ ආර්ථිකය කඩා වැටුණේ ඇයිද යන්න සොයා බලා එය නැගිටවීමට ක්‍රියා කළ යුතුයි. එසේ නැතිව කොරේ පිටට මරේ කියනවා වගේ අසාධාරණයට ලක්වූ අයව තවදුරටත් හිරිහැරයට පාත්‍ර කිරීමට නොවෙයි. මූලික ප්‍රශ්නයට විසඳුමක් නොදී මෙවැනි පනත් සංශෝධන නිසා සිදුවන යහපතට වඩා අයහපත විශාලයි. ප්‍රධාන ප්‍රශ්නය දෙස බලා විසඳුමක් ගන්නවා වෙනුවට අතුරු ගැටලුවලට පිළියම් යෙදීම ඉතාම අසාර්ථකයි. මෙහිදී සිදුවන්නේ ප්‍රශ්නය තවත් ඔඩු දිවීමක්. මෙයින් ටික කාලයකට යම් සහනයක් ලැබුණත් ඉදිරිය භයානකයි. රෝගයක නිධානය සොයා නොගෙන අතුරු ආබාධවලට ප්‍රතිකාර කිරීමක් තමා මෙයින් සිදුවෙන්නේ. මේ නිසා අදට වඩා ඉදිරිය බොහෝ අමාරු වෙනවා.
දැන් මෙම සංශෝධන පරිදි පුද්ගලයකුගේ ආදායම් මට්ටම් අනුව අධික ලෙස බදු අය කිරීමේ තරම පෙනෙන්නේ ජනවාරි මාසයේ සිටයි. අතට ලැබෙන මුදල අඩුවන විට ජනතාවට ජීවත් වෙන්න අමාරු වෙනවා. ඔවුන් වෘත්තිය අරගලවලට යනවා නියතයි. තමන්ට බදු වදින්නේ කෙසේද යන්න ගැන ජනතාවට අවබෝධයක් නැහැ. සේවකයා උපයන සියල්ලම එකතු කර බදු ගැහීමක් මෙයින් සිදුවෙනවා. අතිකාල, නිවාඩු වැටුප්, බෝනස්, ප්‍රසාද දීමනා, දිරි දීමනා ආදී සියල්ලම බදු වදිනවා. සේවකයාගේ අර්ථසාධක අරමුදල වෙනුවෙන් සේව්‍යයා ගෙවන කොටසද ආදායමක් සේ සලකා බදු අය කරනවා. ඒ මුදල ලැබෙන්නේ ඔහු විශ්‍රාම ගිය පසුයි. එහෙත් අද සිටම බදු ගහනවා.
බැංකු තැන්පතුවලට වැඩි බද්දක් අය කරන නිසා ජනතාව බැංකුවල මුදල් තැන්පත් කිරීම අඩු විය හැකියි. එවිට බැංකු සහ මුල්‍ය සමාගම්වලට ණය දීමට මුදල් නැති වෙනවා. මේ වනවිට බැංකුවල ඇති මුදලට බදු අය කරන නිසා මුදල් බැංකුවල නොදමා ළඟ තබාගැනීමට ජනතාව පෙළඹී සිටිනවා. බැංකුවල ඇති මුදල් ද ආපසු ගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. මුදල් සංසරණය නොකර සඟවා තබාගැනීම නිසා ආර්ථිකය බිඳ වැටෙනවා. දියුණු ආර්ථිකයක ලක්ෂණය තමා මුදල් ප්‍රවාහයේ ගමන් කිරීම. සල්ලි සංසරණය විය යුතුය යන්න තමා සුප්‍රකට ජෝන් මෙනාඩ් කෙන්ස් න්‍යාය වන්නේ. එය සිදු නොවීම බරපතළ ඛේදවාචකයක්. ආර්ථිකයේ බිඳවැටීමක්. විකෘති වීමක්.
මෙලෙස බදු වැඩි වීමෙන් ව්‍යාපාර කඩා වැටුණු විට සේවකයන්ගේ රුකියා අහිමි වෙනවා. ඔවුන් පවුල්වල සාමාජිකයන් අමාරුවේ වැටෙනවා. ලොකු ව්‍යාපාරිකයන් 30% ක ව්‍යාපාර බද්දකට සහ 36% ක ආදායම් බද්දකට යටත් වෙනවා. වැටුප් සහ ලාභයෙන් තමා බද්ද ගෙවන්න වෙන්නේ. මෙයින් විශාල සමාගම් පවා විපතට වැටී තිබෙනවා. බොහෝ විදේශ ආයෝජකයන් ආයෝජන අතහැර යනවා. දේශීය කර්මාන්ත වැසී යනවා. දැනටමත් විශාල ඇඟලුම් කර්මාන්තශාලා පහක් වැසී ගිහින්. ඉදිරියේදී මේ ප්‍රමාණය තවත් වැඩි වෙයි.
මෙම ක්‍රමය නිසි විශ්ලේෂණයකින් තොරව කරන එකක්. අනාගතය ගැන බැලීමක් නැහැ. අත්හදා බැලීමක් වගෙයි. මුදල් අමාත්‍යාංශය මේ ගැටලුව ගැන ගැඹුරෙන් බැලිය යුතුයි. මේ ගැන බලපෑම් විශ්ලේෂණයක Infect Analysis යෙදිය යුතුයි. මහ බැංකු අධිපති ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්. ඔහුට ඕනෑ වෙලාවක තම රටට යාමට පුළුවන්. ඒ නිසා ඔහු ජනතාවට හෝ රජයට වගවීමක් නැහැ.*
I යසවර්ධන රුද්රිගූ