2023 ජනවාරි 01 වන ඉරිදා

දේශපාලකයන් හිටියාට අපේ රට පාලනය වෙලා නෑ:

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 47

අලුත් අවුරුද්දේවත් ඥානය පහළ වේවා!- හෑගොඩ විපස්සි හිමි

උදාවන 2023 නව වසර වෙනුවෙන් ජාතියක් ලෙස අපේ පාර්ථනාව කුමක්ද? නව වසරේ අප ජීවත් විය යුත්තේ කෙසේද? රත්මලාන ධර්ම පර් යේෂණාලයේ හෑගොඩ විපස්සි හිමියන් සම්බන්ධ කරගනිමින් අපි තොරතුරු විමසා සිටියෙමු. උන්වහන්සේගේ දේශනාවේ සංක්ෂිප්ත අදහස උදාවන නව වසරේ ඔබ සැම වෙනුවෙන් මෙලෙස ගෙනහැර පාමු.

නව වසරක් ආරම්භ වනවිට හැම කෙනාගෙම මුවඟ රැඳෙන්නෙ ප්‍රාර්ථනාවන්. එහෙත් ප්‍රාර්ථනා කළ පමණින් සියල්ල ඉටුවෙන්නෙ නැහැ. "සුභ නව වසරක් වේවා" කියල අපි ප්‍රාර්ථනා කරන්නෙ අනාගතය වෙනුවෙන්. එවැනි ප්‍රාර්ථනාවන්, අධිෂ්ඨානයන් හොඳයි. නමුත් නව වසරේ අපේ ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ සිද්ධ කරගත යුත්තේ කෙසේද? ඒ කරුණ පිළිබඳ අපි සිතා බැලිය යුතුයි. නව වසරේ ප්‍රාර්ථනාවන් සමර්ථ කර ගැනීම සඳහා වන ක්‍රමෝපායන් ධර්මානුකූලව විවරණය කර ගැනීම වැදගත්.
මේ වනවිට අපේ ජනතාව කබලෙන් ලිපට වැටිලා දුක් දොම්නස්වලින් පීඩනයට පත්වෙලා ඉන්නෙ. මේ නව වසරේ අපි අපේ පැවැත්ම, සමාජයේ පැවැත්ම, රටේ පැවත්ම වෙනුවෙන් මොනවද කරලා තියෙන්නෙ කියල සිතා බලන්න ඕනෑ. අපිට අතීතය අනාගතය පාලනය කරන්න බැහැ. මේ මොහොත තමා වැදගත් වෙන්නේ. අපි ආපසු හැරී බලන්න අවශ්‍යයි. අපි කරපු හොඳ දෑ අගය කරල, අපේ දුර්වලතා හඳුනාගැනීම වැදගත්. දුර්වලතා රැසක් තියෙනවා. මේ වසරේදී අපි අපේ දුර්වලතාවයන් හඳුනාගෙන, ඒ දුර්වලතා නැතිකර ගන්න අධිෂ්ඨානය කර ගැනීම තමා වටින්නේ.

බුදු හාමුදුරුවෝ දේශනා කළා ආධ්‍යාත්මිකව මනා පෝෂණයකින් යුතුව ජීවත්වන්නට ආර්ථිකය වැදගත් බව. ඒ නිසා නව වසරේ ධනය ඉපයුවාට මදි. ධනය විනාශ වෙන ආකාරයන් ගැනත් මනා අවබෝධකින් කරයුතු කරන්න වුවමනයි.
ධනය කියන්නෙ මූල්‍යමය ධනයම විතරක් නෙවෙයි. පව් කිරීමට ලැජ්ජා බව අපි තුළ තිබෙන්න ඕනෑ. ඒවා තමා අපි සතු ප්‍රාග්ධනය වෙන්නෙ. වර්තමානයේ අපෙන් ගිලිහිලා තියෙන්නෙත් ඒ ප්‍රාග්ධනය. සිල්වත්කමත් ධනවත්කමත් දෙකම අවශ්‍යයි ජීවත් වෙන්න. මේ දෙකම නැතිවුණාම සැප නොමැති සමාජයක් තමා බිහිවෙන්නේ. වර්තමානය ඒ වගේ. පසුගිය අවුරුදු හැට හැත්තෑව දිහා බැලුවම මේ රටේ පාලකයෝ මේ රාජ්‍යය පාලනය කරල නැහැ. මේ කඩා වැටීමට හේතුව ඒක. දේශයක් පාලනය කරනවා නම් ඒ දේශය රැකෙන්න ඕනෑ. අපේ දේශය අද රැකිලා නැහැ.

අපිට පළාත් පාලන ආයතන, පාර්ලිමේන්තුව වගේ ලෝකයේ පාලන ව්‍යුහයන් ගොඩක් තියෙනවා. නමුත් රට පාලනය වෙලා නැහැ. මේ නව වසරේදී මේ රටේ දේශපාලනය කරන මන්ත්‍රීවරු, ඇමැතිවරු වගේම අගමැති ජනාධිපති ආදී සියලුදෙනා කල්පනා කරන්න ඕනෑ මේ රාජ්‍යය නිසි ලෙස පාලනය කිරීම පිළිබඳව.

අද අපිට පේන්නෙ තියෙනවා රටේ ආර්ථික සම්බන්ධ විශේෂඥයන් රට හරි පාරේ ගෙනියන්න උපදෙස් දීල නැහැ. විවිධ ක්ෂේත්‍රවල සිටින ප්‍රවීණයන් රට හරි පාරේ ගෙනියන්න උදව් කරලා නෑ. භික්ෂූන් වහන්සේලා විදිහට අපිත් මේ රටට හරියට බණ කියලා නැහැ. මොකද, බුදු හාමුදුරුවන්ගෙ ධර්මය හරියට දේශනා වෙනවා නම්, මිනිස්සු ධර්ම අනුගමනය කරනවා නම් ඉතා යහපත් දේශයක් බිහිවෙන්න ඕනෑ.

අපිට දැන් ඉතුරුවෙලා තියෙන්නෙ, බුදු දහම වගේ දෙයක්. මේ උදාවන වසරේ නිවැරුදි ධර්මය සමාජ ගතකරන්න අපි පටන්ගන්න ඕනෑ. රට මිත්‍යාවෙන් වැනසිලා තියෙන්නෙ. හැමදේම මිත්‍යාවට යටවෙලා. මිනිස්සුන්ට සම්‍යක්දෘෂ්ටිය පහළ වෙන්න ඕනෑ. ජාතියක් ලෙස අපිට විශාල වගකීමක් පැවරිලා තියෙනවා මේ මොහොතේ. අපි ඒ වගකීම පවර ගන්න ඕනෑ. අපි හැමදේම නිවැරදිව උපයා සපයාගෙන, නාස්තියෙන් තොරව ජීවත් වෙන්න අධිෂ්ඨාන කරගත යුතුයි.

බුද්ධ දේශනාව තුළ ණයගන්න එපා කියලා නෙවෙයි තියෙන්නේ. ණය ගන්න. ණය අරගෙන කර්මාන්ත සඳහා යොදවන්න ආයෝජන කරන්න. බුද්ධ දේශනාවේ කියන්නේ කර්මාන්ත සඳහා ණය අරගෙන පොලී සහිතව ඒවා ගෙවන්න කියලා.
මේ අවස්ථාවේ අපි තනි තනි පුද්ගලයන් වශයෙනුත් යම් නිර්දේශ පත්‍රයක් සකස් කරගෙන වැඩකරන්න වුවමනායි. යහපත් අදහස් තියෙන හැමදේම ඒ යහපත් අදහස් මත එකතුවෙලා මේ රට සමෘද්ධිමත් කරන්න අවශ්‍ය අධිෂ්ඨානය ඇති කර ගන්නට වුවමනායි. බුදු දේශනාවේ තියෙනවා යහපතට යහපත එකතු විය යුතු බව.

ආපදාවකට පත්වුණාම තමයි ඥාන ශක්තිය හඳුනාගන්න පුළුවන් වෙන්නේ. දැන් අපේ රට දැවැන්ත ආපදාවකට ලක්වෙලා තියෙනවා. අපි නිවැරදිව නැගී සිටින්න අවශ්‍ය ක්‍රමෝපාය හඳුනාගෙන අපේ නැණවත්භාවය සමාජ ගත කළ යුතුයි. නැණවත්ව ශක්තිමත් මනුස්සයන් විදියට උදාවන නව වසරේ ජීවත්වීම ඉතාම වැදගත්.

I සටහන : චමිඳු නිසල් ද සිල්වා