2023 ජනවාරි 01 වන ඉරිදා

මහනුවරම යට කළ මහ ගංවතුර

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 164

දෙසැම්බර් 24 වැනි දින රාත්‍රී නුවර පුරවරය ඇතුළු අවට පෙදෙස්වලට හදිසියේ ඇදහැලුණු මහා ධාරානිපාත වර්ෂාව මුළු නගරයම යට කරමින් ව්‍යසනයක් ඇතිකර මිනිස් ජීවිත දෙකක්ද අහිමි කළේය.

හදිසියේ ඇතිවූ අධික ජල ගැල්ම මහනුවර නගරයේ රාජ්‍ය ආයතන (පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාල මූලස්ථානය, මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානය, මහනුවර උසස් තාක්ෂණ ආයතනය, මහනුවර ජාතික රෝහල, සුදුහුම්පොළ, මුල්ගම්පල නිවාස, අරුප්පල, මාවිල්මඩ නිවාස) ඇතුළු ස්ථාන රැසකට දැඩි අලාභහානි සිදුකළේය.

අකුරණ නගරයේ පිඟාඔය දෙගොඩ තලා ගලා යාමෙන් නිවාස රැසක් ව්‍යාපාරික ස්ථාන වාහන සේල් ආයතන, වෛද්‍ය මධ්‍යස්ථාන ආදියට බරපතළ අලාභ හානි සිදුවිය.

අනවසර ඉදිකිරීම්, අනවසර වැලි ගොඩ දැමීම්, ජලය ගලා බසින ඇළ මාර්ගයන්ට විවිධ අපද්‍රව්‍ය කසළ අබලි ද්‍රව්‍ය හෙළීම නිසා බොහෝ දිනවල අධික වැසි සමයේ ජලය පිරී උතුරා ගලා පිටාර යාමෙන් අකුරණ නගරය ජලයෙන් යටවන බව ප්‍රදේශයේ ජනතාව පවසති. එය සාමාන්‍ය දෙයක් වුවද 24 වැනි දින රාත්‍රී ඇතිවූ මහා ජල ගැලීම අඩි 7ක් දක්වා උසට ජලය පිරී ඇළ මාර්ග අයිනේ ගාල් කර තිබූ කුඩා රථවාහන යතුරුපැදි ත්‍රිරෝද රථ ජලයේ ගසාගෙන යන තත්ත්වයට පත්විය.

අකුරණ නගරයේ ව්‍යාපාරික ස්ථානවල ආහාර ද්‍රව්‍ය රෙදිපිළි ඖෂධ වර්ග ගොඩනැගිලි උපකරණ (සිමෙන්ති තීන්ත වර්ග) අලෙවි ආයතන රුසක් හදිසියේ ගලා ආ ජලයෙන් යටවීම නිසා විනාශයට පත්ව තිබේ. එක් වෙළෙඳ ආයතනයක ගබඩා කර තිබූ සහල් කිලෝ 35000ක් විනාශ වී තිබීම එම ආයතනයේ හිමිකරු පැවසුවේ තම වෙළෙඳ ආයතනයට ජලයෙන් සිදුවූ හානිය රුපියල් කෝටි දෙකක් පමණ බව බවයි.

මහනුවර නගරය තුළත් අකුරණ නගරය තුළත් නිසි ඉංජිනේරුමය තාක්ෂණ අධීක්ෂණ හා උපදෙස් නොතකා සිදුකරන ලද යම් යම් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ජලය බැස යාමේ කාණු පද්ධති ඇළ මාර්ග අවහිර වීමෙන් මෙම ජලගැලීම් තත්ත්වය වැඩි වී තිබෙන බව මහජනතාව පවසති.

මහනුවර පුරපති කේසර සෝනානායක මහතා මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේ, මහනුවර නගරය මැදින් ගැටඹේ හරහා මහවැලි ගඟට ජලය බැස යන මැද ඇළ හරස් කරමින් බහුතර පිරිස් හිතුවක්කාර ලෙස හා අවිධිමත්ව අනවසර ඉදිකිරීම් රුසක් කර තිබෙන නිසා කිසිදා සිදු නොවූ ජලගැලීම් තත්ත්වයෙන් මහනුවරට හානි වූ බවයි.

තාක්ෂණ නිලධාරීන්, කාර්මික නිලධාරීන්, ඉංජිනේරුවන් පිරිවරාගත් මහනුවර අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා අඩි 10-15 පොළොව යට හාරා (කැණීම් කර) විශාල නළ එලීමේදී යම් යම් අඩුපාඩු හේතුවෙන් මහනුවර නගරය ජලයෙන් පිරී ඉතිරී ගොස් විශාන ව්‍යසනයක් සිදුවූ බවට නගරයේ ජනතාව චෝදනා කළහ.

මහනුවර දුම්රිය ස්ථානය මුළුමනින්ම ජලයෙන් යටවී දුම්රිය බඩු ගබඩාව (පාර්සල් අංශය ප්‍රවේශ පත්‍ර අංශය, දුම්රිය අංගනය) ඇතුළු ස්ථාන රුසකට හානි සිදුවූ බව මහනුවර දුම්රිය ස්ථානයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියා ප්‍රකාශ කළේය.

මහනුවර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ වටිනා ලිපි ලේඛන පොත්පත් උපකරණ, ගුරු මහත්ම මහත්මීන්ගේ පෞද්ගලික ලිපිගොනු ඇතුළු ලිපි ලේඛන, මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ පරිගණක දත්ත අංශය වටිනා උපකරණද ජල ගැලීමෙන් විනාශ වී ඇත.

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති නිසා මහනුවර පුරවරයට කිසිදා සිදුනොවූ ජල ගැලීම් තත්ත්වයක් උදා වූ බවට ජනතාව චෝදනා කරති. ජනතාවගේ මුදලින් නඩත්තු වන සුඛෝපභෝගී නිල වාහන භාවිත කරමින් එහේ මෙහේ පිම්මේ දුවන වායුසමනය කළ කාමරවලට වී තීන්දු තීරණ සැලසුම් හදන ඇතැම් ඉහළ නිලධාරීන් මේ සැමට වගකිවයුතු බවටද ජනතාව චෝදනා කරති.

මහනුවර නගරය තුළ පමණක් අනවසර ඉදිකිරීම් සංඛ්‍යාව දසදහස ඉක්මවා තිබෙන බව මහනුවර නගර සභාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් පැවසීය.

මහනුවර දුම්රිය ස්ථානයේ ගාල්කර තිබූ දුම්රිය එන්ජින් කිහිපයකට මෙම ජලගැල්ම නිසා හානි සිදුවිය. දෛනිකව නිකුත් කරන දුම්රිය ප්‍රවේශ පත්‍ර (කුඩා කාඩ් ප්‍රමාණයේ) රුසක් ජලයට යටවීමෙන් විනාශ වූ බවත් දුම්රිය ස්ථානයේ කාර්යාලයේ ලිපි ලේඛනද විනාශ වූ බවත් දුම්රිය ස්ථානාධිපති ආර්.එම්. රත්නායක මහතා පැවසීය.

මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත්, ආණ්ඩුකාර කාර්යාලයත්, රාජ්‍ය නිලධාරීනුත් සාකච්ඡා කරමින් රුස්වීම් පැවැත්වුවද ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට ඔවුන් අපොහොසත් බව නගරයේ ජනතාව පවසති.
මෙම ව්‍යසනයෙන් අවුරුදු 18ක තරුණියත් අවු. 16ක ඇගේ සොහොයුරාත් (අකුරණ දුනුවිල) නිවස මතට පස්කන්දක් කඩා වැටී මටණයට පත් වූහ. යළිත් නුවර නගරය ජලයෙන් යට වී කඳු කඩා වැටී ව්‍යසනයක් ඇති නොවන්නට ප්‍රදේශයේ වගකිවයුත්තන් දෙසැම්බර් 24 වැනි දින සිදුවූ සිදුවීම පාඩමට ගතයුතු බව මහජනතාව පවසති.

I ජේ.ඒ.එල්. ජයසිංහ - තෙල්දෙණිය චන්දන උඩුවාවල