2023 ජනවාරි 01 වන ඉරිදා

වැට උඩ නලියන පළාත් පාලන මැතිවරණය

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 103

දැනට පවතින නීතිය අනුව පළාත් පාලන ආයතන 341ක් සඳහා වන මැතිවරණය ලබන වසරේ මාර්තු මස 20 වැනිදාට පෙර පැවැත්විය යුතුය. ඒ අනුව මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276ක් සඳහා අපේක්ෂකයන් තෝරා පත්කර ගැනීමට නියමිතය. පළාත් පාලන ආයතන 341 සඳහා සභිකයන් 8,356 දෙනකු පත්කර ගැනීමට නියමිත වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ 2018ට පෙර පැවැති සභික සංඛ්‍යාව වන 4,486 දෙනකු හෝ ඒ ආසන්න සභික සංඛ්‍යාවක් පමණක් පළාත් පාලන ආයතනවලට පත්කර ගැනීම සුදුසු බවටය. ඒ සඳහා කොට්ඨාස සංඛ්‍යාව අඩුකිරීමට අවශ්‍ය වන අතර එම කාර්යභාරය සීමා නිර්ණය කොමිසම වෙත පවරා තිබේ. 

පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය සඳහා කොමිසමක් පත් කිරීමත් සමඟ පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වැනිදා පැවැත්වීමට නොහැකි බවට මේ වනවිට විවිධ මත පළවේ. පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට කොමිසමක් පත් කිරීමෙන් පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වැනිදාට පෙර පැවැත්වීමේ කිසිදු බාධාවක් නොමැති යැයි එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා ප්‍රකාශ කළේය. මැතිවරණ කල් දැමීම තුළින් ජනතා පරමාධිපත්‍යට බරපතළ හානියක් සිදු වන බව මැතිවරණ කොමිසමේ මතය වී ඇති අතර ලබන වසරේ මාර්තු 20 වැනිදාට පෙර මැතිවරණය පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

ප්‍රධාන විපක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ චෝදනා කර සිටින්නේ විවිධ උපක්‍රම යොදා ගනිමින් ආණ්ඩුව මැතිවරණ කල්දැමීමට සූදානම් වන බවටය. පළාත් පාලන මැතිවරණයට රුපියල් කෝටි 1000ක අති විශාල මුදලක් වැයවන බවට වාර්තා වේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට ලැබී ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි. රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන යෝජිත පළාත් පාලන මැතිවරණය මාස කිහිපයකින් කල් දමන ලෙස පොහොට්ටුවට සම්බන්ධ ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරුන් පිරිසක් පසුගියදා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද  කර තිබිණි. 

පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර තිබේ. ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කටයුතු කරනු ඇතිදැයි අප සමාජයේ විවිධ ස්ථර නියෝජනය කරන පිරිසකගෙන්  විමසා බැලුවෙමු.

ඒ සම්බන්ධයෙන් අපට මුලින්ම අදහස් දැක්වූයේ කොළඹ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියන්ය.

ඡන්දෙ තැබීම හොඳයි: ඒ වුණත් ඉදිරිපත් වෙන්නේ සේවයක් කරන අයද?
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

මැතිවරණයකින් තොරව රටේ ජනතාවට තම මතය ප්‍රකාශ කරන්න වෙනත් ක්‍රමයක් නැහැ. එබැවින් මැතිවරණයක් අවශ්‍යයි. මෙතෙක් පළාත් පාලන සහ පළාත් සභා නියෝජිතයන්ගෙන් රටට සිදුවූ සේවය කුමක්ද කියන එක මට තියෙන ගැටලුවක්.  පළාත් පාලන ආයතන කියන්නේ රැකියා විරහිත පිරිසකට යළි රැකියා ලබාදීමේ සහ ඔවුන්ට හම්බකර ගැනීමට අවස්ථාවක් සලසා දීමේ මැතිවරණයක්. පවතින ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක් නොවෙයි. ඒ නිසා ආණ්ඩුවට පාඩමක් උගන්නන්න පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම හොඳයි. එහෙත් මේවාට ඉදිරිපත්වෙන පුද්ගලයන් කවුද? ඔවුන්ගේ සුදුසුකම් මොනවද? ඔවුන් මේ රටට ස්වේච්ඡාවෙන් කරල තියෙන්නෙ මොනවද? ඉස්සර හිටියේ රටට අවංකවම සේවයක් කළ මිනිස්සු. ජනතාව ඡන්දය දුන්නේ ඒ අයට. අද එවැනි පිරිසක් සිටිනවද කියන එක ගැටලුවක්.

නියෝජිතයන් 8000 සිට 4000ට අඩු කළා කියලා කිසිදු සෙතක් අත්වෙන්නේ නැහැ. ඉස්සරට වැඩිය මේ පිරිස හොරකම් කරනවා. මැතිවරණ සඳහා අති විශාල මුදලක් වැයවෙන එක ගැටලුවක් වුවත්. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා මැතිවරණය අවශ්‍යයි. එසේ නොමැති වුවහොත් දැඩි ඒකාධිපති ආණ්ඩු ඉදිරියේදී බිහිවේවි. මට තියෙන තව ගැටලුවක් වන්නේ මේ රටේ අපි කවුද කියන එක. ජනතාවට මොනවද තියෙන අයිතිවාසිකම්. ඔවුන් ඡන්දදායකයන් පමණක්ද? මේ අවස්ථාවේ ජනතාව දැඩි ජීවන අරගලයකට මුහුණ දී සිටිනවා. දේශපාලනඥයන් පරමාදර්ශී චරිත බවටත් පත් විය යුතුයි. ඔවුන් තමන් ලබන වරප්‍රසාද අඩුකරලා ජනතාවට සේවය කළ යුතුයි. රටේ ජනතාවගේ විදුලි බිල වැඩිකරලා මැති ඇමැතිවරු ඔවුන්ගේ විදුලි බිල නොගෙවා සිටිනවා. ජල බිල් ගෙවන්නේ නැහැ. මෙවැනි සුදු අලි ටිකක් නඩත්තු කරන්න වෙලා තියෙන්නේ රටේ දුප්පත් ජනතාවටයි. අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ හැම එකකටම පාහේ චීනය, ඉන්දියාව, ඇමෙරිකාව වැනි රටවලින් මුදල් ලැබෙනවා. රටේ සම්පත් විකුණාගෙන කන එකට මම නඩු කියනවා. කිසිම දේශපාලන පක්ෂයක් මට උදව් කරනවද? නැහැ. ජාත්‍යන්තරය මේ රටේ ගෙල මිරිකාගෙන ඉන්නේ. ශ්‍රී ලංකාව, මියන්මාරය, ලාඕසය, කාම්බෝජය වැනි රටවල සම්පත් මංකොල්ල කන්න බටහිර ජාතීන් උත්සාහ කරනවා. රටේ ආර්ථිකය බිඳවට්ටල රටේ සම්පත් ඔවුන්ට ලබා ගන්නට කටයුතු කරනවා. ඒ නිසා මේ රටේ දැනට තිබෙන පැලැස්තර ආණ්ඩුව වෙනස් විය යුතුයි. මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. ඒ හා සමගාමීව ඔවුන්ගේ ජීවන අරගලයට සහනයක් සැලසිය යුතුයි. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ නොහැකි වන පරිදි පනත් සම්මත කළා. පළාත් පාලන ආයතනවලට එම නීතිය වලංගු නැතිද? පළාත් පාලන ආයතනවල එවැනි පුද්ගලයන් සිටින බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. යනුවෙන් උන්වහන්සේ පැවසූ සේක.

මැතිවරණයක් නොදුන්නොත් ජනතාව සමඟ පාරට
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක

ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කටයුතු කළහොත් අපි ඊට එරෙහිව පියවර ගන්නවා. දැනට පළමු පියවර ලෙස වහාම මැතිවරණය පැවැත්වීමට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා  දෙවැනුව විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කොට ඡන්දය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් පියවර ගන්නවා. මැතිවරණය නියමිත පරිදි ප්‍රකාශයට පත් නොකළහොත්  සමගි ජනබලවේගය ජනතාව සමඟ පාරට බැහැල මැතිවරණයක් පැවැත්විය යුතු බවට බලකරන ජනතා ව්‍යාපාරයක් ගෙන යාමටත් කටයුතු කරනවා.

සීමා නීර්ණය මෙවර මැතිවරණයට අදාළ වන්නේ නැහැ. ආණ්ඩුව කියනවනම් මැතිවරණයට විශාල මුදලක් වැයවෙනවා. එයට මුදල් නැහැ කියලා ඒ සඳහා උපකාර කිරීමට ජාත්‍යන්තර ආයතන තිබෙනවා. ඔවුන්ගෙන් උපකාර ලබාගත හැකියි. එහෙත් මම හිතන්නේ නැහැ එවැන්නක් අවශ්‍යවෙයි කියලා මන්ද වාර්ෂිකව අයවැයෙන් මැතිවරණ සඳහා මුදල් වෙන් කරනවා. ආණ්ඩුව තව කොතරම් අනවශ්‍ය වියදම් කරනවද? මැතිවරණයට මුදල් නැහැ කියන්න ආණ්ඩුවට බැහැ. මැතිවරණය යනු ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති අයිතියක්. එම අයිතිය ලබා නොදීම සම්බන්ධයෙන් හේතු දක්වන්නට ආණ්ඩුවට බැහැ. ජනාධිපතිවරයා පළාත් පාලන ආයතනවල නියෝජිත සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙනවා. එහි හොඳ සහ නරක දෙකම තිබෙනවා. ඒ පිළිබඳව  සාකච්ඡා පවත්වා ඉදිරි මැතිවරණයකදී එය ක්‍රියාවට නැංවිය හැකියි.

සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දාන්න බැහැ
ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා

රටේ කිසියම් ආපදාවක් හෝ නොවැළැක්විය හැකි සාධාරණ හේතුවක් නොමැතිව ආණ්ඩුවට මැතිවරණය කල්දාන්න බැහැ. පසුගිය කාලයේ කොවිඩ් 19 වසංගතය නිසා යම් කල් දැමීමක් සිදු වුණා. වසර කිහිපයකට ඉහත පළාත් පාලන මැතිවරණ කල් දැමූ අවස්ථාවේ අපි සුප්‍රිම් උසාවියෙන් තීන්දුවක් ගත්තා මැතිවරණය වහාම පැවැත්විය යුතුයි කියලා. ඒ තීන්දුව වලංගුයි. යම් හෙයකින් ආණ්ඩුව මැතිවරණය පැවැත්වීම කල් දැම්මොත් යළි උසාවි ගිහින් අභියෝග කළ හැකියි. නීත්‍යානුකූලව ආණ්ඩුවට මැතිවරණ කල් දාන්න බැහැ. පළාත් පාලන ආයතනවලින් රටට සේවයක් සිදු වෙනවා. ගම පාලනය කළ යුත්තේ කුඩා ඒකක වලින්. ඒ ඒ ප්‍රදේශවල පාරවල් හෝ වෙනත් ඉදිකිරීම් හා සේවා පළාත් පාලන ආයතනවලින් සිදු වෙනවා නම් දූෂණ, වංචා අවමයි. ජාතික මට්ටමින් කරන විට වංචා, දූෂණ වැඩියි. ගමේ වැඩක් පැවරෙන්නේ ගමේ කොන්ත්‍රත්කරුවකුටයි. ඔහු එම කාර්යය සඳහා වගකිව යුතුයි. හරියට කළේ නැත්නම් ගමේ ජනතාවට ඔහුගෙන් ප්‍රශ්න කළ හැකියි. ඒ නිසා පළාත් පාලන ආයතන තවත් ශක්තිමත් කළ යුතුයි.

ජනාධිපතිවරයා කියා තිබෙනවා පළාත් පාලන ආයතනවල සිටින මන්ත්‍රි සංඛ්‍යාව අඩකින් පමණ අඩු කළ යුතුයි කියලා. ඉස්සෙල්ලාම කළ යුත්තේ එම මන්ත්‍රිවරුන් අඩු කිරීම නොව පළාත් සභා අහෝසි කිරීමයි. ජාතික මට්ටමින් පාර්ලිමේන්තුව තිබෙනවා. ගම් මට්ටමින් පළාත් පාලන ආයතන තිබෙනවා. ඒ දෙක අතරට තවත් ආයතනයක් අවශ්‍ය නැහැ. කළ යුත්තේ පළාත් පාලන ආයතනවලට වැඩි බලයක් ලබා දීමයි. එවිට එම පළාත් පාලන ආයතනයට එම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු නිසි පරිදි සිදු කළ හැකියි. කුණු අදින එකයි, ලයිට් දාන එකයි වගේ දේවල් වලට පමණක් කොටු කර තිබෙන පළාත් පාලන ආයතනවලට වැඩි බලතල ලබා දී එම ප්‍රදේශයේ සංවර්ධනය සඳහා කටයුතු කළ හැකියි. නව ව්‍යවස්ථාවෙන් අප යෝජනා කර තිබෙන්නෙත් එවැනි ක්‍රියාවලියක්. පරිපාලනය සඳහා පළාත් සභා තබාගත යුතුයැයි සිතන්නේ නම් ඒ සඳහා මැතිවරණ නොපවත්වා පළාත් පාලන ආයතනවල නිලධාරින්ම ඒ සඳහා යොදා ගත හැකියි. ඇත්තටම පළාත් සභා අපට අවශ්‍ය නැහැ.
රටේ පවතින ආර්ථික අස්ථාවරභාවය මැද මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට විශාල මුදලක් වැය කිරීමට අපොහොසත් බව පවසනවා. රටේ ඇමැතිවරුන්ට පඩි ගෙවන්න මුදල් තිබෙනවා නම්, තවමත් විශාල ලෙස නාස්තිය හා දූෂණය පවතිනවා නම් ඒවා අවම කරගෙන මැතිවරණ පැවැත්විය යුතුයි. මේ අවස්ථාවේ ජනතාවට මැතිවරණයක් අවශ්‍යයි. රටේ ජනාධිපතිත් ජනතාව තෝරාගත් අයෙක් නොවෙයි. පාර්ලිමේන්තුවේ සිටින 225 කෙරෙහිත් ජනතාවට කිසිදු විශ්වාසයක් නැහැ. ජනතාව විවිධ අවස්ථාවල තම මතය ආණ්ඩුවට ඉදිරිපත් කර තිබෙනවා. විශේයෙන්ම අරගලය හරහා ඔවුන් කළේ ඒකයි. ඒ නිසා ජනතාවගේ කැමැත්ත අනුව දේශපාලනඥයන් පත් කර ගැනීම සඳහා පළාත් පාලන මැතිවරණය පමණක් නොවෙයි පාර්ලිමේන්තු මැතිවරණයක් හා ජනාධිපති මැතිවරණයකුත් පැවැත්විය යුතුයි. මේ වන විට ජනතාව  පවතින ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අවස්ථාවේ අපට පාර්ලිමේන්තු මැතිවරණයකට යා නොහැකියි. මාර්තු මාසයෙන් පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකියි. එහෙත් ජනාධිපතිවරයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුනුත් උත්සාහ කරන්නේ හැකි තරම් කාලයක් බලයේ රැඳී සිටීමට විනා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නොවෙයි කියන එක පැහැදිලියි.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04