2023 ජනවාරි 01 වන ඉරිදා

මෙහෙම ගියොත් හෝටල්වලින් ගල් අඟුරු තමයි කන්න වෙන්නේ

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 43

ජනවාරියේ විදුලි ගාස්තු වැඩිවීමත් සමඟ මෙරට හෝටල් සහ ආපනශාලා කර්මාන්තයට දැවැන්ත බලපෑමක් එල්ලවනු ඇති බව කියැවේ. එම නිසා කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වනවිටත් විශාල පසුබෑමකට ලක්ව ඇති මෙම කර්මාන්තය කෙරෙහි විදුලි ගාස්තු වැඩි කිරීමෙන් සිදුවන බලපෑම පිළිබඳ සොයා බැලීමට අපි තීරණය කළෙමු.

මේ සඳහා සංවාදයකට සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතාට ඇරයුම් කළෙමු. ඔහු පසුගිය දිනවල විදුලි ගාස්තු ගාස්තු වැඩි කිරීමට එරෙහිව හෝටල් ආපනශාලා කර්මාන්ත වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකි.

''අපි ඉතා වගකීමෙන් කියා සිටිනවා ආපනශාලා හෝටල් කර්මාන්තය මුලින්ම කඩා වැටෙනවා, මේ කියන විදිහට විදුලි ගාස්තු වැඩි කළොත්. මේ කර්මාන්තය ඇතුළේ බොයිලේරුව, ස්ටීමරය, රයිස් කුකර  යේ ඉඳලා ශීතකරණ දක්වා සියලුම උපකරණ විදුලියෙන් තමා වැඩ කරන්නෙ. බිත්තරයක්වත් තම්බ ගන්න බැරි තත්ත්වයකට මේ කර්මාන්ත ඇදවැටෙයි ඉස්සරහට. හිතාගත නොහැකි මුදලකින් ආහාර ද්‍රව්‍ය වලත් මිල ගණන් ඉහළ යයි.''

අසේල සම්පත් මහතා පෙන්වා දෙන ආකාරයට ආහාර ද්‍රව්‍ය මිල ගණන් සිතාගත නොහැකි ලෙස ඉහළ යාමෙන් සමඟ තවදුරටත් මෙම කර්මාන්තය තුළ පාරිභෝගිකයන් නොරුඳෙන්න ඇත. වර්තමාන අර්බුදය හමුවේ මේ වනවිටත් බොහෝ පාරිභෝගිකයන් වෙළෙඳපොළ ආහාර මිලදී ගැනීම අවම කර තිබේ. විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ එම තත්ත්වය දෙගුණ තෙගුණ වෙනු ඇත.

''ගණනය කිරීමට නොහැකි ලෙස ආහාර මිල වැඩිවීමත් සමඟ පාරිභෝගිකයන් ආහාර මිලදී ගැනීම අඩු කරනවා. මේ වනවිටත් ගොඩක් අඩුවෙලා තියෙන්නේ. මිනිස්සු බඩු ගන්න නැතිවුණාම අපිට මේ ආපනශාලා හෝටල් වහලා දාලා රට වටේ සම්බාහන මධ්‍යස්ථාන තමා දාන්න වෙන්නෙ. ඒක තමා ලාභදායීම වැඩේ.''

විදුලි ගාස්තු වැඩිවීම හරහා ආහාර ගුණාත්මකභාවයට සිදුවන බලපෑම පිළිබඳවද ඔහු අදහස් දක්වයි.

''නැවුම් ලෙස තබාගන්න ඇතැම් ආහාර ද්‍රව්‍ය රස්නෙට තබාගන්න විදුලිය ඕනෑ. ඒකට පාවිච්චි වෙන්නෙත් විදුලිය. අනෙක් පැත්තෙන් බොහෝ ආහාරවල ගුණාත්මකභාවය ආරක්ෂා කරගන්න ශීත කළ යුතුයි. ඒ නිසා මේ විදුලි ගාස්තු වැඩිවීමත් එක්ක ආහාරවල ගුණාත්මකභාවය සම්බන්ධවත් ගැටලු මතුවෙනවා. ශීතකරණ පැය 24ම ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් ඇතිවුණොත් යෝගට් කිරි පැකට් වගේ ආහාර ද්‍රව්‍යවලට විශාල ගැටලු මතුවෙයි. විශාල සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්.''

කොවිඩ් වසංගතය සමඟ වැසීගිය හෝටල් ආපන ආපනශාලා වලින් සියයට විස්සක්වත් නැවත විවෘත වී නොමැති බව අසේල සම්පත් මහතා පෙන්වා දෙයි. මෙවන් අර්බුදකාරී වාතාවරණයක් තුළ දරාගත නොහැකි පරිමාවකින් විදුලි ගාස්තු වැඩිවීම නිසැක වශයෙන් කර්මාන්තයේ විශාලතම බිඳවැටීම වනු ඇති බව ඔහු කියා සිටියි.

''දැන් හෝටල්, ආපන ශාලාවල් කරපු ගොඩක් අය අයිතිකාරයන්ට ගොඩනැගිලි බාර දීලා වෙන වෙන වෘත්තීන්වල නිරත වෙනවා. රාජ්‍ය ආයතන ආපන ආපනශාලාවල අද නිලමැස්සෝ පිරෙනවා. රාජ්‍ය සේවකයාට මේ තියෙන වාතාවරණයත් එක්ක කැන්ටිමට ගිහිල්ලා කන්න බැහැ. එහෙම වැටුපක් ඔහුට ලැබෙන්නේ නැහැ.''

විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණයක් පිටුපස ඇත්තේ දූෂිත පරිපාලනය බව අසේල සම්පත් මහතා පෙන්වා දෙයි. විදුලිබල මණ්ඩලයේ අත්තනෝමතික තීරණ සහ වංචා දූෂණ නිසා සිදුවූ පාඩුව අසා ගැනීමට මහජනතාව පිට බර පැටවීම බරපතළ වරදක් බව ඔහු කියා සිටී.

''පන්සල්වලට සෝලා හයිකරන්න පුළුවන් නම් ඇයි අපේ හෝටල්වලට ආපන ශාලාවලට සෝලා හයි කරන්න බැරි. අපේ ආයතනවලට සෝලා හයිකළොත්, අල්ලපු කඩවලටත් අපිට පුළුවන් විදුලි බලය දෙන්න. පන්සල්වලට මේවා හයිකරයි කියලා ලාභ උපදින්නෙ නැහැ. අපේ වගේ කර්මාන්තයක් පුනර්ජනනීය බලශක්තියට ගියොත් ආහාර මිල අඩුකරලා පාරිභෝගිකයින්ටත් වාසි සලසන්න පුළුවන්.''

වර්තමාන අමාත්‍යවරයා පෙර සිටි අමාත්‍යවරුන්ට වඩා තරමක් හොඳ බව අසේල සම්පත් මහතාගේ අදහසයි. එහෙත් විදුලි ඉංජිනේරු අධිකාරියට ඔහු දොස් නගයි. අයථා වාසි ලබාගැනීමේ අරමුණින් ඔවුන් විදුලි අර්බුදය නිර්මාණ කරන බව අසේල සම්පත් මහතා කියා සිටී.

''අපිට ඇළ දොළ ගංගා තියෙනවා. සූර්ය බලයෙන්, සුළං බලයෙන් බලශක්තිය උපදවන්න පුළුවන්. ඩීසල්, ගල් අඟුරු කොමිස් නතර කරගන්න බැරි නිසා තමා මේ රට මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ. මෙහෙම ගියොත් ජනවාරි මාසෙන් පස්සේ ජනතාවට කන්න වෙන්නේ ගල් අඟුරු.''

I චමිඳු නිසල් ද සිල්වා