2023 ජනවාරි 01 වන ඉරිදා

පාසල් දරුවන්ට පොත්පත් ගන්න එන මාපියෝ අමාරුවේ!

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 198

අභ්‍යාස පොත්, පාසල් නිල ඇඳුම්, සපත්තු, බෑග් ඇතුළු සියලුම පාසල් උපකරණ මිල තුන් ගුණයකින් පමණ ඉහළ යාම නිසා දෙමාපියන් දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි වාර්තා වෙයි. රුපියල අවප්‍රමාණය වීම, බැංකු පොලී අනුපාත ඉහළ යාම සහ ලෝක වෙළඳපොළේ කඩදාසි නිෂ්පාදන මිල ඉහළ යාම වැනි මූලික කාරණා ගණනාවක් නිසා මෙරට සියලු ලිපිද්‍රව්‍ය හා උපකරණ මිල ඉහළ ගොස් ඇතැයි ප්‍රධාන පෙළේ කඩදාසි ආනයනකරුවෙක් දේශයට පැවසීය.

මෙරට ප්‍රධාන පෙළේ සමාගමක වෙබ් අඩවියේ සඳහන් වන පරිදි පිටු 40ක සී.ආර් පොතක් රු. 180කි. පිටු 80ක සී.ආර් පොතක් රු. 280කි. පිටු 120 රු. 390කටත් පිටු 160 රු. 500කටත් පිටු 200 රු. 650කටත් අලෙවි වෙයි. ඉතා අවම මිලකට පැවති පැන්සල්, මකන, පැන්සිල් කටර් ආදී නිෂ්පාදන රුපියල් 30 සිට ඉහළ මිල ගණන් යටතේ අලෙවි වේ. විශ්වවිද්‍යාල සිසුන් බහුලව භාවිතයට ගන්නා සටහන් කොළ සියයක එක පැකැට්ටුවක මිල රු. 525කි. එමෙන් ම වයස අවුරු 06-07 පාසල් දරුවන්ගේ ප්‍රමාණයේ සාමාන්‍ය මට්ටමේ සපත්තු කුට්ටමක මිල රුපියල් 3500කි.  සාමාන්‍ය මට්ටමේ පාසල් පොත් බෑගයක මිල රුපියල් 2000 කට වැඩිය. ඒ අනුව පාසල් යන එක් දරුවෙක්ගේ නිල ඇඳුම්, සපත්තු, බෑග් ඇතුළු සියලු පාසල් උපකරණ සඳහා රුපියල් 15000ක් වැය කිරීමට සිදු වේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පාසල් උපකරණ අලෙවිසල් හිමියෙක් වන නිරෝෂන් පෙරේරා මහතා කියා සිටියේ රු.35ට තිබුණු පිටු 40 අභ්‍යාස පොතක දැන් මිල රු. 90ක් ද රු.70ට තිබුණු පිටු 80 අභ්‍යාස පොතක් දැන් රු.150ක් ද රු.90ට තිබුණු පිටු 120 අභ්‍යාස පොතක මිල දැන් රු.200ක් ද වන බවයි. තමාට ලැබෙන තොග මිලට සාපේක්ෂව මිල වැඩි කිරීමට සිදුව ඇතැයිද පෙන්වා දුන් ඔහු කියා සිටියේ සාමාන්‍යයෙන් මුළු වර්ෂයක් පුරාම උපයන මුදලට සමාන මුදලක් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල උපයාගත හැකි වුවත් මෙම වර්ෂයේ අලුතින් පොත්පත් මිලදී ගැනීමට කිසිවෙක් නොපැමිණෙන බවයි. මිල ගණන් මෙම ප්‍රමාණයේම පැවතියහොත් අලුත් පාසල් වාරය ආරම්භ කරන අවස්ථාවේත් පාරිභෝගිකයන් ගෙන්වාගත නොහැකි වනු ඇතැයිද නිරෝෂන් මහතා මැසිවිලි නැගීය.

අභ්‍යාස පොත් මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් දේශය සමඟ සාකච්ඡා කළ සුසර ප්‍රකාශන ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ කපිල වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙවන් අදහසකි. 

"2019 වසරේදී තුන වසරේ ළමයෙක්ගෙ පොත් ලැයිස්තුව සාමාන්‍යයෙන් රු. 2500ත් 3000ත් අතර මුදලකට වගේ ලබාගන්න හැකියාව තිබුණා. නමුත් අද වනවිට ඒ පොත් ලැයිස්තුව මිලදී ගන්න රු.7000ත් 7500ත් අතර සාමාන්‍ය වියදමක් දැරීමට මෙම ළමුන්ගේ දෙමව්පියන්ට සිදුවෙලා තියනවා. නමුත් මෙම මිලදී ගන්නන්ගේ රැකියාවන් හෝ ඔවුන්ගේ ආදායම් කිසිම මාර්ගයකින් වැඩිවෙලා නෑ. එතනදී තමයි අර්බුදයක් පැනනඟින්නේ. ඒ සම්බන්ධව ප්‍රායෝගිකව ළමයෙකුට දැරිය හැකි මිලකට පාසල් පොත් ලැයිස්තුව සකසා දෙන ක්‍රමවේදයක් රජය තුළින් හෝ වෙනයම් අධිකාරියක් මඟින් මේ වෙනකන් හඳුන්වලා දීලා නෑ. කොටින්ම කියතොත් ලෝක වෙළෙඳපළේ තියෙන කඩදාසි හිඟය නිසා මතු වී තිබෙන අර්බුදයට විසදුම් සාධනීය මට්ටමින් කිසිදු පාර්ශ්වයක් කතා කරලා නැහැ. ඒ නිසා තීව්‍ර වෙලා තියෙන අර්බුදයට මූණ දෙන්න බැරිව පොත් ගන්න ඇවිත් තමන්ගේ අවශ්‍ය පොත් ප්‍රමාණය ගන්න බැරිව හැරිලා යන දෙමාපියෝ ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩිවෙලා තියනවා.

1950 දශකයේ සිට ජාතික කඩදාසි සමාගම මෙරටට අවශ්‍ය කඩදාසි අවශ්‍යතාවෙන් වැඩි පංගුවක් සපිරූ අතර විවෘත ආර්ථිකය හඳුන්වා දීම සහ කඩදාසි ආනයනයට පනවා තිබූ ඉතා සීමිත බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අභ්‍යාසපොත් නිෂ්පාදනයට ව්‍යාපාරික සමාගම් ආකර්ෂණය විය. ඒ හේතුවෙන් ජාතික කඩදාසි අවශ්‍යතාවෙන් 90%කට වැඩි පංගුවක් පෞද්ගලික අංශය සැපයූ අතර ප්‍රධාන සමාගම් කිහිපයක ඒකාධිකාරයක් ගොඩනැගුණි. ඒ අතර කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් ද කඩදාසි නිෂ්පාදනයට යොමු වූ අතර අභ්‍යාස පොත් අවශ්‍යතාවයෙන් 50%ක පමණ කොටසක් ආවරණය කළේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් විසිනි.

සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිර්ෂ කුමාර මහතා පෙන්වා දෙන්නේ අභියෝග ගණනාවක් නිසා සිය කර්මාන්තය බිඳ වැටීම සහ අභ්‍යාස පොත් මිල ඉහළ යාම සිදුවී ඇති බවයි. “ණයවර විවෘත කිරීමට නොහැකි නිසා කුඩා හා මධ්‍යම පරිමාණ ලිපි ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාර 90%ක් බිඳ වැටී අවසන්. වසර දෙකකට පෙර ලක්ෂ 30කට පමණ ආනයනය කළ කඩදාසි කන්ටේනරයක් වර්තමානයේ ආනයනය කිරීමට ලක්ෂ සියයක් අවශ්‍ය වෙනවා." එමෙන්ම අභ්‍යාස පොත් මිල විශාල ලෙස ඉහළ යාමට බලපා තිබෙන්නේ, රජය බදු ප්‍රතිපත්ති නිසා පමණක් නොව මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විසින් සිදුකරන ජාවාරම් ක්‍රියාවක් නිසා බවයි." කඩදාසි ගෙන්වන හා පොත් නිෂ්පාදනය සිදුකරන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් කිහිපදෙනකු විසින් පොත් හා කඩදාසි අධික මිලකට අලෙවි කරන බවත් ඒ මහතා පවසා සිටියේය.

වෙළෙඳපළට නිකුත් වන අලුත් අභ්‍යාස පොත් තොගවල වෙනස් වී ඇති නව මිල සඳහන්ව තිබුණද පැරණි මිල සඳහන් පොත් විශාල ප්‍රමාණයක් තවමත් වෙළෙඳපලේ පවති. එවැනි පොත්වල පැරණි මිල මකා නව මිලට අලෙවි කරන බවට පැමිණිලි කිහිපයක්ම ලැබුණු බව පෙන්වා දෙන පාරිභෝක කටයුතු අධිකාරිය ප්‍රකාශ කළේ පවතින මිල ගණන් වෙනස් කොට අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ අලෙවිකරන වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරයි. මෙතෙක් ලැබුණු තොරතුරු අනුව පවතින මිල ගණන් වෙනස් කරමින් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති අතර සිදුකළ වැටලීම්වලදී ඔවුන් සතු අභ්‍යාස පොත් සහ උපකරණ සිය භාරයට ගත් බවද එම අධිකාරිය පැවසීය.

I සකීෆ් සාම්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04