2023 ජනවාරි 08 වන ඉරිදා

භයානක යුද්ධයක්: සූර්ය කුණාටුවකින් අයිස් යුගයකට පිටසක්වලින් ප්‍රහාරයක්- 2023 විශ්මිත අනාවැකි:

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 610

සෑම අලුත් අවුරුද්දක් ආරම්භයේදීම කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ සුබ අලුත් අවුරුද්දක් වේවා! කියාය. 2023 ලබද්දීද ලෝකය පුරා මේ සුබ පැතුම හුවමාරු විය. එහෙත් 2023 සැබැවින්ම සුබදායක අවුරුද්දක්ද? ලෝකයේ ප්‍රධාන පෙළේ අනාවැකිකරුවන්ට අනුව නම් එය එසේ නොවේ.

සෑම අවුරුද්දකම ආරම්භයේ අපට අනාගතය ගැන කියා ඇති අනාවැකිකරුවන් දෙපළක් සිහියට නැගෙයි. එක් අයෙක් ප්‍රංශයේ උපන් නොස්ත්‍රදාමුස්ය. අනෙක් තැනැත්තිය කුලවද්දා ඇත්තේ ‘බෝල්කන්වල නොස්ත්‍රදාමුස්’ හැටියටය. ඇය අපේ කාලයේ අන්ධ අනාවැකිකාරියක වන බාබා වැන්ගාය. මේ දෙපළම මේ වනවිට සැබෑ වූ අනාවැකි ගණනාවකටම හිමිකම් කියති.

දෙවැනි ලෝක යුද්ධය, හිට්ලර්ගේ නාසි පැතිරීම. ඩයනා හදිසි අනතුර, අමෙරිකාවේ ලෝක වෙළෙඳ කුලුනු වෙත ප්‍රහාරය, ආසියාවේ සුනාමිය, අයිඑස්අයිඑස් නැගිටීම, බින්ලාඩන්, ඔබාමා ආගමනය, ට්‍රම්ප් නැගීම සහ ඇදවැටීම, මෙන්ම මෑත යුගයේ මහා රාජනීය දිවියෙන් සමුගැනීමත් මේ අයගේ අනාවැකි මගින් වක්‍රාකාරව ප්‍රකාශයට පත්කර තිබුණි. මේ දෙදෙනාම තවත් වසර සිය ගණනකට ඈත අනාගතය දක්වා ප්‍රධාන පෙළේ සිදුවීම් ගැන පුරෝකථනය කර තිබේ. ඒ අනුව ඔවුන් 2023 සහ ඒ ආසන්න කාලය තුළ ලෝකයේ සිදුවිය හැකි අමුතු කාරණා සුවිශේෂී අවස්ථා ගැන කියා තිබේ. 

වසර 450කට පෙර ජීවත් වූ සුප්‍රසිද්ධ අනාගත වක්තෘවරයකුගේ අනාවැකි ඔබ විශ්වාස කරන්නේ නම් - ඒ ප්‍රංශයේ උපන් නොස්ත්‍රදාමුස්ගේ අනාවැකිය.

මිනී මස් බුදින්නෝ

නොස්ත්‍රදාමුස් කියා ඇති 2023 අනාවැකිවලට අනුව මේ වසර යුද්ධය, ස්වාභාවික විපත් සහ මිනීමැරුම්වලින් පිරී ඇත. නොස්ත්‍රදාමුස්ට අනුව අධික වන ආහාර මිල ගණන් නිසා හටගන්නා අර්බුදය ලොව පුරා මිනීමැරුම් සහ එකිනෙකා මරා ආහාරයට ගන්නා  තත්ත්වයකට තුඩු දෙනු ඇත.

ආහාර මිල ඉහළ යාම, කුසගින්න, එකිනෙකා දඩයම් කර ගන්නා කෲර මිනීමරු තත්ත්වයකට හේතු විය හැකි බවට අනාවැකි පළ කරමින්, අනාගත වක්තෘවරයා මෙසේ ලියා ඇත: "තිරිඟු මිල ඉහළය, මිනිසා සිය බලාපොරොත්තු සුන්වීමෙන් අනෙක් මිනිසුන් කන්නට තරම් කැලඹී යයි." "So high the price of wheat, that man is stirred, his fellow man to eat in his despair.”

මහා යුද්ධයක්

මාස කිහිපයක් පවතින ‘මහා යුද්ධයක්’ ගැනද ඔහු කියා ඇත. මෙය ඇත්තටම දැනටමත් ඇවිල ගොස් හමාරය. සමහරු දැනටමත් රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම  මේ හා සසඳා ඇත. ජ්‍යොතිඃ ශාස්ත්‍රඥයාගේ පොතේ මෙසේ ඒ ගැන පුරෝකථනය කරයි: "මාස හතක මහා යුද්ධයක්, මිනිසුන් නපුරෙන් මිය යන්නේය." - "Seven months great war, people dead through evil.”

ආකාශ ගින්නක්

අඟහරු ග්‍රහයා මත අබිරහස් ව්‍යසනයක් සිදුවිය හැකි බවට ඔහු අනතුරු අඟවා තිබේ. 

අපේ අසල්වැසියා වන අඟහරු ග්‍රහයා යටත් විජිතයක් බවට පත් කිරීමට එලොන් මස්ක් වැනි මිනිසුන් දැනටමත් දරන උත්සාහය රතු ග්‍රහලෝකයේ අබිරහස් ව්‍යවසනයකින් ව්‍යර්ථ විය හැකි බව අනාගත වක්තෘවරයා අනාවැකි පළ කර තිබේ. නොස්ත්‍රදාමුස් ලියා ඇත්තේ "අඟහරුගේ ආලෝකය නිවී යන විට හටගන්නා ආකාශ ගින්නක්" ගැනය. - "celestial fire when the lights of Mars will go out”.

මේ සමයේ නියඟයෙන් සහ ගංවතුරෙන් රටවල් දැඩිව පීඩාවට පත්වන බවට ඔහු පුරෝකථනය කර ඇත. මෙය දැනටමත් සිදුවෙමින් පවතී. දේශගුණික විපර්යාස හේතුවෙන් පරිසරයේ හටගෙන ඇති වර්තමාන පීඩාකාරී තත්ත්වය මෙය සත්‍ය වන අනාවැකියක් බවට පත් කරමින් තිබේ. නොස්ත්‍රදාමුස් සිතුවේ 2023 දී විශාල බලපෑමක් ඇති කළ හැකි වඩාත් ආන්තික කාලගුණික විපර්යාස සිදුවීම් දැකිය හැකි බවයි. ඔහු මෙසේ ලිවීය: "වියළි පොළොව තව තවත් වියළී යනු ඇත, දේදුන්න පෙනෙන විට මහා ගංවතුර ඇති වේ." - "The dry earth will grow more parched, and there will be great floods when the rainbow is seen.”

සිවිල් නොසන්සුන්තා

‘භයානක භීෂණයකට’ තුඩු දෙන සිවිල් නොසන්සුන්තා ලොව පුරා ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දී තිබේ. දැනටමත් මෙය මෙරට මෙන්ම නොරට ලොව වටා ජාතීන් අතර පැතිර යන සිවිල් නැගිටීම් හේතුවෙන් සත්‍ය වෙමින් පවතී.  

අනාගත වක්තෘවරයා ඉදිරි වසර තුළ සමාජ නැගිටීම් ඇතිවිය හැකි බව ඉඟි කළේ "මහත් අසමගියකින් සෙලවෙන හොරණෑ" සහ "ගිවිසුම බිඳවැටීම" ගැන සංකේතවත් බසකින් ලියමිනි. "භයානක බිහිසුණු සහ පළිගැනීමේ ක්‍රියා හේතුවෙන් ඉක්මනින් හෝ පසුව විශාල වෙනස්කම් සිදු කරනු ඇත” - යනුවෙන් හේ ලියා තිබේ.

බල්ගේරියානු ගුප්ත විද්‍යාඥ බාබා වන්ගාගේ 2023 සඳහා වූ අනාවැකි - ‘සූර්ය සුනාමියක    සිට ‘න්‍යෂ්ටික පිපිරීමක්’ දක්වා පැතිර යයි. %බෝල්කන්වල නොස්ත්‍රදාමුස්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ඇයගේ අනාවැකි දර්ශන 85% ක්ම නිවැරදි බව පැවසෙන අතර චර්නොබිල් ඛේදවාචකය, ඩයනා කුමරියගේ මරණය සහ සෝවියට් සංගමය විසුරුවා හැරීම ඇතුළත් වේ. එසේම 2022 දී, ගංවතුර සහ නියඟ ස්වරෑපයෙන් ජලය ආශ්‍රිත ඛේදවාචකයන් ඇය පුරෝකථනය කර තිබුණි.

ජීව විද්‍යාත්මක අවි 

බාබා වැන්ගාගේ 2023 ගැන මීළඟ අනාවැකිය තවදුරටත් විනාශයෙන් හා අඳුරෙන් පිරී ඇත. ඒ ජෛව අවි භාවිතය ගැනය. සංවර්ධිත රටකින් ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් දියත් කරන බවට ඇය අනාවැකි පළ කර තිබිණි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මීට පෙර යුක්රේනයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කර ඇති බැවින් මෙම අනාවැකිය වත්මන් රුසියානු - යුක්රේන යුද්ධයට සම්බන්ධ බව පෙනේ.

මෙම අනාවැකිය සැබෑ වුවහොත්, මෙය මහා විනාශයකට තුඩු දිය හැකි අතර යුක්රේනයේ සිටින අයට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කළ හැකිය. 

එක්සත් ජාතීන්ගේ ජීව විද්‍යාත්මක අවි සම්මුතිය මගින් එවැනි අත්හදා බැලීම් තහනම් කර ඇත. ඒ කෙසේ වෙතත්, රටවල් කිහිපයක් රහසිගතව මෙම මාරාන්තික අවි නිර්මාණය කිරීමේ නිරතව සිටින බවට විශ්වාස කෙරේ.

සූර්ය සුනාමිය

බාබා වන්ගා 2023 දී ‘සූර්ය සුනාමියක්’ සිදුවිම ගැන අනාවැකි පළ කර ඇත. අන්ධ ගුප්ත විද්‍යාඥවරිය අනාවැකි පළ කර ඇත්තේ 2023 දී සූර්ය සුනාමියක් සිදු විය හැකි අතර එහිදී පෘථිවි චුම්බක පලිහ මාරාන්තික ලෙස විනාශ වනු ඇති බවටයි.

බාබා වැන්ගාට අනුව, සූර්ය කුණාටු නිසා විදුලිය ඇනහිටීම් සහ සන්නිවේදන බිඳවැටීම්  ඇතිවිය හැකිය. සූර්ය කුණාටු, සූර්යයාගේ සිට න්‍යෂ්ටික බෝම්බ තරම් බලවත් විද්‍යුත් ආරෝපණ ඍජුවම පෘථිවියට යවන අතර එමඟින් අප නැවත අඳුරු යුගයට ගමන් කරවන්නට සමත් විනාශයක් කළ හැකි බවට මත පළව තිබේ.

රසායනාගාර ළදරුවන්

බාබා වන්ගාගේ බරපතළම අනාවැකිය වන්නේ 2023 සිට ස්වභාවික දරු උපත් අතීතයට අයත් දෙයක් වන අතර රසායනාගාර ළදරුවන් ලොව පුරා පැතිරෙන බවයි. මෙම ක්‍රියාවලිය මානව පාලනය යටතේ පවතින අතර දෙමව්පියන්ට ඔවුන්ගේ තවමත් නිපදවා නොමැති, නූපන් දරුවා සඳහා ඔවුන්ට කැමැති ආකාරයේ ලක්ෂණ තෝරාගත හැකි වනු ඇත. මෙය අමුතුම ආකාර අනාගත ලෝකයකට මං පෙන්වන පියවරක් වනු ඇත.

I සුගත් පී. කුලතුංගආරච්චි 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04