2023 ජනවාරි 08 වන ඉරිදා

මහ රෑ අතුරුදන් කළ කුණ්ඩසාලේ සඳගල

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 248
කුණ්ඩසාලේ වරාපිටිය හන්දියෙන් හැරී යන අතුරු පාරේ කි.මී. එකක් පමණ දුරින් පිහිටා ඇති වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739) රජුගේ මාලිගා බිම වැඩි දෙනකුගේ අවධානයට ලක්වූවක් නොවේ. එයට ප්‍රධාන හේතුව නම් මෙම ස්ථානයේ දැකගත යුතු දේවල් නැතිවීමයි. නමුත් පසුගිය දෙසැම්බර් 15දා වනවිට රජ පුරාම පතල වුණේ මේ මාලිගා බිමෙහි තිබූ සඳගල නම් කුඩා ගල් කැටයම සහිත පර්වතය සොරු ගෙන ගොස් ඇති බවයි. මාලිගා බිමේ පිහිටි එකම පෞරාණික සාධකය වුණෙත් එම ශෛලමය කැටයම පමණි. කලකට පෙර ලියුම්කරු එහි ගොස් කළ නිරීක්ෂණයක දී ඉංග්‍රිසි පාලන කාලයේ ඉදිකළ සිමෙන්ති ගොඩනැගිලිවල කොටස් ද දැකගැනීමට ලැබුණි. එම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් යැයි සඳහන් නාම පුවරුවක් ද අසල සවිකර තිබුණි. පිහිටි පොළොවෙන් උස්ව පිහිටි මාලිගා බිම පස් ගොඩැල්ලක් වශයෙන් පැවතුණු අතර එහි විශාල ගස්වැල් වැවුණු මූකලානක් විය. 

පසුගිය දෙසැම්බර් 13 දින මධ්‍යම රාත්‍රි කාලයේ හෝ 14 දින අලුයම් කාලයේ බූම් ට්‍රක් රථයක් උපයෝගි කොට ගනිමින් පුරාවිද්‍යා ස්මාරකය වන කළුගල් කොටස ගලවා බර වාහනයක පටවා රැගෙන ගොස් ඇති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මුලින්ම සැක කළේය. අක්කර හතක පමණ භූමි ප්‍රදේශයකින් යුත් පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයේ ආරක්ෂාව උදෙසා ආරක්ෂකයන් දෙදෙනකුද යොදවා තිබුණු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටී. නමුත් මහ රෑ පැමිණ කළ මේ පුරාවස්තු සොරකම  ඔවුන්ට දැනගන්නට ලැබී නැතිවීම පුදුමයකි. මෙම ගල් පුවරුව හැරෙන්නට එහි ආරක්ෂා කළ යුතු දෙයක් තිබුණේ ද නැත. නමුත් අවසානයේ කුණ්ඩසාලේ මාලිගා බිමේ ඉතිරිව තිබූ එකම ඓතිහාසික සාධකය හොරකම් කිරීමට ජාවාරම්කරුවෝ උත්සුක වූහ.  කුණ්ඩසාලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබුණු මේ පර්වත කොටසේ වක්‍රාකාර මෝස්තරයක් කොටා ඇති නිසා එය සඳගල නමින් ප්‍රකටය. එහි බර කිලෝ දහසකට අධිකය. මේ සඳගල අඩි හතරක් පමණ දිගින් හා අඩි තුනක පමණ උසකින් යුක්තය. 

මීට පෙර ද මෙම රක්ෂිත භූමිය නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව පැවති බව ප්‍රදේශවාසීන් පවසන කාරණාවකි. සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැමිණිලි කිරීමෙන් පසුව පල්ලකැලේ පොලිස් ස්ථානයේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාමල් ඒකනායක පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කළේය.  ස්මාරකය සොරාගෙන යෑමට ඉකුත් 14 වැනිදා පැමිණි රථයට ආරක්ෂාව සපයමින් ඩිෆෙන්ඩරයක්ද එම ස්ථානයට පැමිණ තිබූ බව විමර්ශනවලින් හෙළි වී තිබේ. මේ සොරකමට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන්ට මහනුවර ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනකු සමඟ සම්බන්ධකම් ඇති බව ද පැවසේ. එම ඩිෆෙන්ඩර රථය කාන්තාවකගේ නමට ලියාපදිංචි කර ඇති බවත් එය මහනුවර තවමත් තිබෙන බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ අතර පොලිස් නිලධාරින් අතර කතාබහක් පවතින්නේ මහනුවරට අයිස් බෙදාහරින ප්‍රධාන ජාවාරම්කරු මේ සොරකමට සම්බන්ධ බවයි. මෙම සොරකම සැලසුම්සහගත අපරාධයක් බව පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ.

එම ඩිෆෙන්ඩරයේ හිමිකරු ගැන තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මහනුවර දේශපාලනඥයකුගේ මැතිවරණ වැඩ සඳහාද මේ ඩිෆෙන්ඩරය පරිහරණය කර තිබෙන බවටද තොරතුරු හෙළි වී ඇති බව පැවසේ. මේ පුරාවිද්‍යා තහනම් ඉඩම අසල පුරාවිද්‍යා ගබඩාවක් ද පිහිටා තිබෙන අතර එහි සිටින මුරකරුවන් පවසා ඇත්තේ ඔවුන් මේ සිද්ධිය පසුදින වනතුරු නොදන්නා බවයි. රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් මේ වනවිට පුරාවිද්‍යා මුරකරුවන්ගේ සේවය අත්හිටුවා තිබේ. මේ අතර පල්ලෙකැලේ පොලිසිය මුලදී මේ පැමිණිල්ල බාරගැනීමට පවා එතරම් උනන්දුවක් දක්වා නැති බවත් දැනගැනීමට ලැබුණි. 

ඩිෆෙන්ඩර් රථය සහ එය පදවාගෙන ගිය පුද්ගලයාත් ඩිෆෙන්ඩරයේ ගමන් කළ පුද්ගලයනුත් සඳගල පටවාගෙන රුගෙන ගිය රථයත් වැඩි කල් යන්නට පෙර අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව පොලිසිය පැවසුව ද සිද්ධියෙන්  සති කිහිපයක් ගතවී තිබුණ ද තවමත් අත්අඩංගුවට ගත් කෙනෙක් නැත. ඉන් පැහැදිලි වන්නේ මේ සිද්ධිය පිටුපස දේශපාලන බලයක් සැඟව පවතින බව යැයි ප්‍රදේශවාසීහු පවසති. 
 
අදාළ ඩිෆෙන්ඩරය සඳගල පැටවූ රථයට ආරක්ෂාව දෙමින් ගමන් කරන අයුරු ආරක්ෂක කැමරා දර්ශන මඟින් ද තහවුරු වී තිබුණත් ඒ ගැන පරීක්ෂණ යටගැසීමේ සූදානමක් පවතින බවට කතා පැතිරේ. මේ අතර මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගිය 6දා ප්‍රකාශ කළේ මෙම අපරාධය පිළිබඳව පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට පියවර ගෙන ඇති බවයි. මහනුවර ප්‍රාදේශීය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ දිසානායක අප සමඟ පැවසුවේ මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීම නිසා සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වන බවයි. 
 
ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම දැවැන්ත ගල් පර්වතය සොරකම් කරගෙන යාම සඳහා දේශපාලනඥයන් සහ ඉහළ අපරාධකරුවන් සම්බන්ධ බවට කරුණු හෙළිවී ඇති බවයි. ඒ ගැන පරීක්ෂණ කළ පල්ලෙකැලේ පොලිසිය නිසි පරිදි විමර්ශන නොකරන බවට ද චෝදනා එල්ල විය. මේ නිසා වඩාත් පුළුල් අන්දමින් විමර්ශන කටයුතු කිරීමට පොලිස්පතිවරයාගේ නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම අපරාධය යොමු කර තිබේ. 
 
කුඩා උස් බිමක තැනවූ මෙම මාලිගය 1803 දී ඉංග්‍රීසි කපිතාන්වරයකු වන ජොන්සන් හා ඔහුගේ භටයන් විසින් ගිනිතබා විනාශ කොට ඇති බව ඉංග්‍රීසි වාර්තාවල සඳහන්ය. ඒ ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කළ අවස්ථාවේදීය. ඉංග්‍රීසි ලේඛකයකු වන ඒ.සී. ලෝරි  විසින් ලියන ලද A Gazateer of the Central Porovince of Ceylon යන කෘතියේ සඳහන් පරිදි වත්මන් රජමහ විහාරයට නැගෙනහිරින් උස් ස්ථානයක මෙම මාලිගා සංකීර්ණය පිහිටා තිබුණි. පසුව 1805 වන විට ශ්‍රී වික්‍රම රජසිංහ රජු මාලිගාව අවට බිම් කොටස්වල සිංහල වැසියන් පදිංචි කර තිබේ. පසුකාලීනව මේ අවට වතු වගා පැතිරෙන්නට වූ අතර ඉංග්‍රීසි ඉදිකිරීම් ද සිදුව තිබේ. එසේ වුවද මාලිගා බිම් කොටස එලෙසම පැවතුණි.
 
උඩරට අවසාන සිංහල රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (ක්‍රි.ව. 1707 – 1739)   නැටුම් - ගැයුම් - කාව්‍ය - නාටක - සංගීතය - සුරාව - ස්ත්‍රිය - ප්‍රිය කළ කෙළිලොල් රජකු ලෙස සැලකේ. මේ නිසා ඔහු සෙල්ලම් නිරිඳු ලෙස ද හඳුන්වා තිබේ. මේ රජු ගැන ජන කවියක කියවෙන අන්දමයි:
 
උඩින් සදාලා නෙත්ති මාලේ
බිමින් සදාලා බිම නෙත්ති මාලේ
සදා පොල් පුවක් ගඟ දෙපස දෑලේ
සෙල්ලම් නිරිඳු වඩින කුණ්ඩ සාලේ

ඕලන්ද ජාතික ඩැනියෙල්ගේ වාර්තා අනුව රජු වයස අවුරුදු 49 රෝගීව මිය ගියේය.  අදත් මහනුවර දළදා හිමි වැඩසිටින දෙමහල් දළදා මැඳුර නරේන්ද්‍රසිංහ රජුගේ ඉදිකිරීමකි.

තම පිය රජු වූ දෙවැනි විමලධර්මසූරිය රජු මියගිය කල්හි වැඩි කාලයක් මේ කුමරු වාසය කළේ දුම්බර කුණ්ඩසාලේය. මේ නිසා කුණ්ඩසාලේ කුමාරයා ලෙස ද ඔහු ප්‍රචලිත විය. ඔහු රජු බවට පත්වූයේ වයස අවුරුදු 17 තරම් ගැටවර වියේදීය. ඔහු එතෙක් පැවති සම්ප්‍රදාය වෙනස් කරමින් නායක්කර් වංශික බිසවක් සරණ පාවාගත් අතර ඒ නිසා ඉන්පසු උඩරට රජකම නායක්කර් වංශිකයෝ අතට පත්වූහ. මේ බිසවගේ නම    උඩුමාලේ දේවීය.  බිසවට අමතරව රජු ඇසුරු කළ කාන්තාවන් රාශියක් සිටි බවත් ඔහු රජ වාසලට නොගොස් කුණ්ඩසාලේ මාලිගයට වී කෙළිදෙලෙන් ගත කළ බවත් පැවසේ. මෙම මාලිගයේ ඉදිකිරීම් වැඩි ප්‍රමාණයක් දැවයෙන් නිර්මාණය කර තිබූ නිසා කෙටි කලකින් විනාශ වී ගිය බව පැවසේ. ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කිරීමේදී එහි ඉතිරිව පැවති කොටස් ද විනාශ කර තිබේ. එසේ විනාශ විමෙන් පසු ඉතිරි වූ දැව කණු රඹුක්වැල්ලේ පරපුරේ පිරිස් විසින් ගලවාගෙන විත් අසල පිහිටි කුණ්ඩසාලේ රජ මහා විහාරයේ තේවා මණ්ඩපයක් නිර්මාණය කර ඇත. එම විහාරයේ අදත් එම කුලුනු දැකගත හැකිය. 
 
පසුව මෙම බිමේ ඓතිහාසික වැදගත්කම නිසා පුරාවිද්‍යා රක්ෂිත ඉඩමක් ලෙස ප්‍රකාශ කළත් එහි කැණිම් සිදුකර නැත. මෙම භූමිය සංරක්ෂණය කර මහජනතාවගේ ආකර්ශනය දිනාගත හැකි පරිදි සකස් කරන ලෙස විවිධ ඉල්ලීම් පැවතියද ඒවා කිසිවක් ක්‍රියාත්මක වුණේ ද නැත.  
 
 
I කුසුම්සිරි විජයවර්ධන