2023 ජනවාරි 08 වන ඉරිදා

විදුලි බිල වැඩිවෙද්දි අතුරේ යන ලංකාවේ ව්‍යාපාර!

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 89

පසුගිය අගෝස්තුවේ 76%කින් විදුලි බිල වැඩි කිරීමෙන් රටේ සාමාන්‍ය ජනතාව මෙන්ම කර්මාන්ත හිමියන් හා අනෙකුත් ව්‍යවසායකයෝ දැඩි පීඩාවකට ලක්වූහ. රටම මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය හමුවේ විදුලි ගාස්තු වැඩි කිරීමට ජනතාවට දරාගත නොහැකි තරම්ය. එහෙත් විදුලිබල මණ්ඩලය ඉන් විශාල මෙහෙයුම් ලාබයක් ලැබීය. පසුගිය කාලයේ විදුලිබල මණ්ඩලය ලද අලාබය පියවා ගැනීමට අවශ්‍ය බව පවසමින් යළි 60%කින් පමණ විදුලිය ගාස්තු වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති අතර එම යෝජනාව පසුගිය ජනවාරි 2දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

විදුලිය ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තු වැඩි නොකළහොත් පැය ගණනාවක විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බවටය. '2023 වසරරේ අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා සාමාන්‍යයෙන් ඒකකයක් සඳහා වියදම රුපියල් 48.42ක් පමණ වෙතැයි උපකල්පනය කර තිබෙනවා. ගාස්තු සංශෝධනයක් නොකර විදුලිය ලබාදීමට නම් ආණ්ඩුවට තිබෙන විකල්පය වන්නේ බදු වැඩි කිරීම හෝ මුදල් මුද්‍රණය කිරීමයි. එසේ නොමැති නම් තවත් පැය කිහිපයකට විදුලිය කප්පාදු කරන්න සිදුවෙනවා.' යි සඳහන් කරයි.

විදුලිය ගාස්තු වැඩි කිරීමට නම් ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබාගත යුතුය. එහෙත් විදුලිබල මණ්ඩලය මෙතෙක් තමන්ගෙන් එවැනි ඉල්ලීමක් කර නැතැයි පවසන මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ඉතාමත් අසාධාරණ බවත් එයට මහජන උපයෝගිතා කොමිසම විරුද්ධ බවත් සඳහන් කරයි.

පසුගිය අගෝස්තුවේ විදුලිය ගාස්තු වැඩි කිරීමෙන් සුළු හා මධ්‍යම පරිමාණ කම්හල්, වෙළෙඳ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වැසී ගියේය. විදුලිය බිල යළි වැඩි වුවහොත් විවිධ කර්මාන්ත, හෝටල්, ආපනශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමාණයක් වැසී යෑමේ බරපතළ අවදානමක් ඇතැයි වාර්තා වේ.

විදුලිය බිල වැඩිවීමත් සමග නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් භාණ්ඩ අලෙවිය අඩුවීම හේතුවෙන් ව්‍යාපාර ස්ථාන පවත්වාගෙන යෑමේ බරපතළ ගැටලුකාරී තත්ත්වයක් මතුවන්නේ යැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති’

නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු දේශයට ප්‍රකාශ කළේ ජනවාරියේ සිට යළි 60%කින් වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය ගෙන ඇති තීරණය හේතුවෙන් අපනයන ක්ෂේත්‍රයේ රැකියා 30% සිට 50% දක්වා ප්‍රමාණයක් අහිමි වනු ඇති බවටය 'පසුගිය  අගෝස්තුවේ වැඩිකළ විදුලිය ගාස්තු කර්මාන්ත අංශය සඳහා සියයට සියයකින් පමණ වැඩිවුණා. මේ වනවිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විශාල කඩාවැටීමට මුහුණ දී සිටිනවා මහා පරිමාණ කර්මාන්ත ශාලාවලට 30%කින් පමණ ඇණවුම් අඩුවෙලා. පසුගිය මාස තුන ඇතුළත ඇඟලුම් අපනයනය සහ වෙනත් අපනයන 12%ත් 18%ත් අතර ප්‍රමාණයකින් අඩුවෙලා. විශාල විදුලි බිලක් ගෙවන්නට සිදුවීමෙන් අපනයනකරුවන්ගේ ලාබය විශාල ලෙස පහත වැටිලා.' යනුවෙන් සඳහන් කළේය.

අපනයන ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය හා සේවක වැටුප් සඳහා වන පිරිවැයට පසු වැඩිම පිරිවැයක් දරන්නට සිදුව ඇත්තේ විදුලිය බිල සඳහාය. පසුගිය මැයි, ජූනි, ජූලි යන දෙවැනි කාර්තුවේ අපනයන ආදායමට වඩා අගෝස්තු, සැප්තැම්බර් ඔක්තෝබර් යන තෙවැනි කාර්තුවේ අපනයන ආදායම 20%කින් පමණ පහත වැටී තිබිණි. ඉදිරි මාස හයේද 25%කින් පමණ ඇඟලුම් අපනයනය අවම වනු ඇතැයි උපකල්පනය කර තිබේ. විදුලිය ගාස්තුව වැඩි කිරීමට පෙර ශ්‍රී ලංකාවේ සමස්ත පිරිවැය මේ කලාපයේ අනෙකුත් රටවල පිරිවැයට වඩා අඩු ප්‍රමාණයක පැවතියේය. පසුගිය දිනවල අපනයනකරුවන්ගේ බදු 15% සිට 30% දක්වා වැඩි කිරීමත්, විදුලිය ගාස්තු 76%කින් වැඩි කිරීමත්, ගෝලීය අර්බුද මත අපනයන සඳහා පැවැති ඉල්ලුම අඩුවීමත් කර්මාන්තශාලාවලට විදුලිය සඳහා ලබාදුන් සහනාධාර ඉවත් කිරීමත් මත යම් කඩා වැටීමකට ලක්වූ අපනයන කර්මාන්තය යළි 60%කින් පමණ විදුලි බිල වැඩි වුවහොත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පමණක් නොව මහා පරිමාණ කර්මාන්තකරුවන්ටද විශාල අර්බුදයකට මුහුණපෑමට සිදුවනු ඇතැයි අපනයනකරුවෝ පෙන්වා දෙති. 

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කරන්නේ, විදුලි බිල යළි වැඩි කළහොත් ​හෝටල් සහ ආපනශාලා තවත් විශාල ප්‍රමාණයක් වැසී යෑමේ අවදානමක් පවතින බවටය.  විදුලිය බිල ඉහළ යෑමත් සමඟ තේ කෝප්පයේ සිට සියලුම ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන අතර හෝටල් සහ ආපන ශාලාවල ආහාරපාන ශීතකරණවල ගබඩා කිරීමද ගැටලු සහගත තත්ත්වයක් වන බවටය. මෙම තත්ත්වය මෙරට සෑම ව්‍යාපාරිකයකුටම මුහුණපෑමට සිදුවන ගැටලුවකි.

විදුලිය ගාස්තු යළි වැඩිවුවහොත් තම ආයතන පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවන බව අනුරාධපුර සංචාරක හා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂනාත් ගුණසේකර දේශයට ප්‍රකාශ කළේය. 'මේ අවස්ථාවේ අපි ලොකු අසීරුතාවකට මුහුණ දී සිටිනවා. පසුගිය කාලයේ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් 2%ක් වත් උතුරු මැද පළාතේ හෝටල්වලට ආවේ නැහැ. සංචාරකයන් ගෙන්වන ආයතනවලින් මේ පැත්තට එතරම් සැලකිල්ලක් ලැබුණෙත් නැහැ. ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙනුත් වැඩි පිරිසක් අවම මුදලකින් දවස ගෙවන්න කටයුතු කරන අය. මේ වනවිට අපේ ආදායම විශාල ලෙස පහත වැටිලා. සේවකයන් විශාල පිරිසක් ඉවත් කරන්නට සිදුවෙලා. බොහෝ හෝටල්වල හිටපු සේවක ප්‍රමාණයෙන් දැන් ඉන්නේ බාගයක් වගේ පිරිසක්. එහෙත් අප ණයවාරික ගෙවිය යුතුයි. දැනටත් හිඟ විදුලි බිල්පත් ගෙවන්නට තිබෙනවා. යළි විදුලි බිල වැඩි කළොත් ලොකු කඩාවැටීමකට මුහුණ දෙන්නට අපට සිදුවෙනවා. රටේ වියදම් වැඩිවුණා කියලා අපි හෝටල් ගාස්තු වැඩි කළේ නැහැ. එහෙම වුණොත් එන සුළු සංචාරකයන් පිරිසත් අපට නැති වේවි. එහෙත් විදුලි බිල යළි වැඩි කළහොත් අපට මෙම හෝටල් පවත්වාගෙන යාම සඳහා හෝටල් ගාස්තු අනිවාර් යෙන්ම වැඩි කරන්නට සිදුවෙනවා. පසුගිය කාලයේ මේ පළාතේ සංචාරක හෝටල් කීපයක් බැංකුවලට සින්න වුණා. දැන් එම තත්ත්වය තවදුරටත් වැඩිවෙමින් තිබෙනවා. අනුරාධපුර නගර සීමාවේ සංචාරක හෝටල 100ක් පමණ තිබෙනවා. දැන් බොහෝ අය තම නිවෙස්වල කාමර සංචාරකයන් සඳහා ලබා දීමට කටයුතු කිරීමත් සංචාරක හෝටල් හිමියන්ට විශාල ලෙස බලපෑමක් කර තිබෙනවා. අධිකාරියේ ලියාපදිංචි ආයතන 1%ක පිරිවැටුම් බද්දක් ගෙවිය යුතුයි. මෙවැනි ස්ථාන නියාමනයක් නොමැති බැවින් ඔවුන් බදු ගෙවන්නේ නැහැ.  ඔවුන්ගේ ගාස්තු අඩු බැවින් සුළු හා මධ්‍යම පරිමාන හෝටල්වලට එයිනුත් පහරක් වදිනවා.' යනුවෙන් සඳහන් කළේය.

විදුලිය ගාස්තු යළි වැඩි කළහොත් තේ කම්හල් හිමියන් දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් සඳහන් කරයි. කොවිඩ් අර්බුදය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් විවිධ කර්මාන්ත ශාලා සහ නිෂ්පාදන ආයතන තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය කාලයේදී මුළුමනින්ම වැසී ගොස් තිබූ අතර විදුලි බිල වැඩි වීමෙන් කම්හල් තවත් ගැටලුවලට මුහුණ දෙනු ඇතැයි ඔහු සඳහන් කළේය.  

'විදුලි බිල වැඩි වෙනව කියන්නේ අපේ වියදම විශාල ලෙස ඉහළ යනවා කියන එකයි. ආයෙත් බිල වැඩි කළොත් තේ කම්හල් හිමියන්ට විශාල අර්බුදයකට මුහුණ පෑමට සිදු වෙනවා. තේ කම්හල් හිමියන්ගේ සංගමයට අයත් කර්මාන්ත ශාලා 294ක් තිබෙනවා. විදුලි බිල වැඩි වීමෙන් නිෂ්පාදනය අඩු නොවුණත් නිෂ්පාදන වියදම 75%කින් විතර ඉහළ ගිහින්. තේ මිල තීරණය කරන්නේ විදේශ තේ ගැනුම්කරුවන් විසින්. අපේ නිෂ්පාදන වියදම ඉහළ ගියාම ලෝක වෙළෙඳපොළේ අපට තියෙන තරගකාරීත්වය අඩු වෙනවා. ඔවුන් අපේ පිරිවැය වැඩිවුණා කියලා අපිට වැඩි මිලක් ගෙවන්න සූදානම් නැහැ.'යි පැවසීය.

විදුලි බිල වැඩිවීම තමන්ගේ පිරිවැය ඉහළයෑමට බලපාන බව කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති ජයන්ත කරුණාරත්ත ප්‍රකාශ කරයි. 'කොතරම් පිරිවැය අධික වුවද ශ්‍රී ලංකාවෙන් තේ මිලට ගන්නා විදේශ ගැණුම්කරුවන් තේ මිල වැඩි නොකරන හෙයින් එම අලාබය අපට දරාගන්න සිදු වෙනවා. නැතිනම් ඇණවුම් ලබා නොගෙන ඉන්න ඕන. තේ කර්මාන්තශාලාවල නිෂ්පාදනයේ අඩුවක් නැහැ. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවෙන් තේ කිලෝ මිලියන 240ත් 245ත් අතර ප්‍රමාණයක් අපනයනය කර තිබෙනවා. විදුලි බිල වැඩිවීමෙන් තේ නිෂ්පාදනය සඳහා යන පිරිවැය අධික වෙනවා. අපේ තේ අලෙවි වන්නේ තේ වෙන්දේසියේ. තේ වෙන්දේසියෙන් විදේශ ගැනුම්කරුවන් 150ක් 200ක් අතර පිරිසක් තේ මිලදී ගන්නවා. පිරිවැය වැඩි වුණා කියලා තේ කම්හල් හිමියන් මිල ඉහළ දැම්මොත් එම තේ අලෙවි නොවෙන්න පුළුවන්.  එවැනි තත්වයක් යටතේ තේ කම්හල් හිමියන්ට ලැබෙන ලාබය අඩු වෙන්න පුළුවන්. අසීරුවෙන් කර්මාන්ත ශාලා පවත්වාගෙන යන පිරිසට ඒක ලොකු ගැටලුවක්. පසුගිය කාලයේ තේ මිල ඉහළ ගිය නිසා පොඩි සහනයක් තිබෙනවා.' යැයි සඳහන් කළේය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා