මේ වනවිට දැඩි ආර්ථික පීඩනයක හිරවී සිටින ශ්‍රී ලංකාව ලහි ලහියේ සූදානම් වෙමින් සිටින්නේ පළාත් පාලන ඡන්දය සඳහාය. වසරකට පෙර පවත්වන්නට නියමිතව තිබූ මෙම ඡන්දය වසරකින් කල්දැම්මේ පළාත් පාලන පනතේ විධිවිධාන අනුවය. එසේම ඒ මොහොතේ ඇතැම් පිරිස් ඡන්දයක් ඉල්ලා අධිකරණයට ගියත් අවසානයේ ඒ සියලු පැමිණිලි අහක ගියේ පනත අනුව එවකට රජය කටයුතු කර තිබීම හේතුවෙනි.
එසේ නම් දැන් මැතිවරණය පැවැත්විය යුතු සමය එළඹී ඇත. ඒ සඳහා මැතිවරණ කොමිසමට මඟහැරිය නොහැකි වගකීමක් කරපිට පැටවී ඇත. කිසිදු විදිහකින් මැතිවරණය කල් දැමීමේ හැකියාවක් කොමිසමට නැත. ජනාධිපතිට හෝ විෂය භාර ඇමැතිටත් ඡන්දය කල් දැමීමට ඉඩක් නැති බව ඡන්ද විචාරකයෝ පවසති. එහෙත් පුදුමය නම් ආණ්ඩුව කිසිදු විදිහකින් පළාත් පාලන මැතිවරණයට සූදානමක් ඇති බව පෙනෙන්නට නොතිබීමය. ආණ්ඩුවේ ප්‍රකාශකයන් බොහෝදෙනෙක් මාධ්‍ය ඉදිරියේ පවසන්නේ කිසිදු ආකාරයකින් මේ මොහොතේ මැතිවරණයක් අවැසි නැති බව කියාය. ඔවුන් ඒ සඳහා ප්‍රධානම නිදහසට කරුණ ලෙස ඉදිරිපත් කරන්නේ මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සඳහා රජය සතුව මුදල් නොමැති බව කියාය.
මේ සඳහා හොඳම අනාවැකිය පසුගියදා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාය. ඔහු සඳහන් කර සිටියේ විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටින්නේ රට බංකොලොත් කිරීමට බව කියාය. එසේම මුදල් මුද්‍රණය කර ඡන්දය පැවැත්වුවහොත් උද්ධමනය වැඩි වී රුපියල අවප්‍රමාණය වියහැකි බව ඔහු සඳහන් කළේය. විශේෂයෙන් විපක්ෂය ඡන්දය ඉල්ලන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මත රට කඩා වැට්ටවීමට බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
වජිර අබේවර්ධන වැන්නකු එවැනි ප්‍රකාශයක් කීම සම්බන්ධයෙන් පුදුම වන්නේ නැත. ආණ්ඩුවේ ප්‍රකාශය ඍජුව හෝ වක්‍රව කීම ආණ්ඩුවේ ප්‍රකාශකයකුගේ වගකීම වනු ඇත. ඒත් එක පුදුමයක් ඇත. විපක්ෂයේ සිටින විට ඡන්දය ඕනෑ වන අයට බලයට ආ පසුව ඡන්දය වහ වීම ගැනය. කෙසේ වෙතත් විපක්ෂයේ බලවේග සියල්ල සිටින්නේ ඡන්දය ඕනෑ බව කියමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය ඇතුළු විපක්ෂයේ සියලු කණ්ඩායම් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස කියාය.
ඒ අතර කණ්ඩායමක් මැතිවරණය කල්දැමීමට විරෝධය පා අධිකරණයට පවා ගියේය. එකී පෙත්සමට අදාළ තීන්දුව 18 වැනිදා අධිකරණය විසින් ලබාදීමටද නියමිතව ඇත.
කෙසේ වෙතත් බොහෝදෙනා බලා සිටින්නේ මැතිවරණය කල් දැමීමට සූදානම්ද නැද්ද යන්න පිළිබඳ කොමිසමේ මතය දැන ගැනීමටය. ඒත් මැතිවරණ කොමිසමේ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍ය අමතමින් කියා තිබුණේ මැතිවරණ කොමිසම නියමිත පරිදි මැතිවරණය පැවැත්වීමට කටයුතු කරමින් පවතින බවය. ආණ්ඩුවෙන් මුදල් නැති බවට ප්‍රකාශ කළත් ඔහු සඳහන් කර සිටියේ මැතිවරණය සඳහා මුදල් සැපයීම ආණ්ඩුවේ කාර්යය බැවින් එය කොමිසමට අදාළ කටයුත්තක් නොවන බවය. එපමණක් නොව මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට බාධාවක් තිබේද යන්න විමසනු ලැබීය. එහෙත් ඔහු සඳහන් කර සිටියේ මැතිවරණය සඳහා වසරක සිට සූදානම් බැවින් එය එතරම් ප්‍රශ්නයක් නොවන බවය.
මේ අතර මැතිවරණය සඳහා හොඳම තරගය මේ වනවිට ඇතිව ඇත්තේ ආණ්ඩුව තුළමය. එනම් පොහොට්ටුව සහ එජාපය එකට එක්වන බවට අනාවැකි පැවසුණත් එය දැන් සිහිනයක් වී තිබේ. ඊට හේතුව වී ඇත්තේ බැසිල් රාජපක්ෂ සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඊට විරුද්ධ වීම නිසාය. ඊට එක් හේතුවක් වන්නේ අමාත්‍යධුර ලබාදීම කල්දැමීම නිසාය. ඒත් පොහොට්ටුවේ තවත් කණ්ඩායමක් ඉල්ලන්නේ මැතිවරණය සඳහා එජාපය සමඟ සන්ධාන ගතවිය යුතු බව කියාය. එහෙත් බහුතරය ඊට විරුද්ධව ගොඩනැගී ඇත.
ආණ්ඩුවේ මැතිවරණ විරෝධය කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගියදා එම පක්ෂයේ සාමාජිකයන් හමුවේ අපූරු කතාවක් කීවේය. එනම් තමන් පළාත් පාලන මැතිවරණය සඳහා සහභාගී නොවන බවය. තමන්ට වරමක් දුන්නේ මේ රට වසර දෙකක් තුළ ගොඩනැගීමට බවද හෙතෙම සඳහන් කළේය. එහෙත් එක් ප්‍රශ්නයක් ඇත. එනම් වසර දෙකක වරමක් ලබාදුන්නේ පාර්ලිමේන්තුවෙන් මිස ජනතාවගෙන් නොවීමය.
මේ වනවිට ආණ්ඩුව මැතිවරණය කල්දැමීම සඳහා එක් පැත්තකින් මාධ්‍ය මෙහෙයුමක්ද ක්‍රියාත්මක කරමින් සිටී. ඇතැම් මාධ්‍ය දිගටම පෙන්වමින් යන්නේ මැතිවරණය තිබ්බොත් වී මිලදී ගැනීමට අණ්ඩුවට සල්ලි නැතිවන බව කියාය. ඒ ප්‍රවෘත්තිය මේ දිනවල සෑම මාධ්‍යයකම පුවත් මවන කතාවක් වී ඇත. කෙසේ වෙතත් ආණ්ඩුවට මැතිවරණය කල්දැමීම සඳහා ඉඩකඩ 1%ක් පමණක් ඇත. ඒ ඉඩකඩ උපරිම ලෙස ගැනීමට ආණ්ඩුවට නොගන්නා උත්සහයක් නැත. එය සාර්ථක වුණොත් මැතිවරණය මාස තුන හතරකට කල්දැමේ හැකියාව තිබේ. ඊට හැර වෙන විකල්පයක් නැත.
මේ වන විට නාමයෝජනා කැඳවීමත්, තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර කැඳවීමත් කොමිසමෙන් සිදුකර ඇත. දේශපාලන පක්ෂ ඉතාම රහසිගතව අපේක්ෂකයන් තෝරමින් සිටියි. එහෙත් මැතිවරණය තවම තබන දිනයක් නැත. මැතිවරණය මාර්තු 20ට පෙර පැවැත්විය යුතුය. ඒ නිසා දැන් මැතිවරණය තියෙන්නේ වැට උඩය. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන්නේ කොමිසම හරහාය. ආණ්ඩුව දැන් සිටින්නේ මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී තත්ත්වයකය.
I ගයාන් ගාල්ලගේ