පෙනි පෙනී දිය රකුසාට බිලිවෙන ජීවිතයක් කෙස දෑස දල්වා බලා සිටින්නට හෝ අතේ ඇති ජංගම දුරකථනයකින් එය පටිගත කර අන්තර්ජාලයට මුදා හරින්නට හෝ ලක්ෂිත දිල්ෂාන්ගේ හිත ඉඩ දුන්නේ නැත. පාසල් මිතුරන් හා එක්ව ගඟේ නා පුරුදු වූ ලක්ෂිතට පිහිනීමේ හැකියාවක් තිබුණි. එහෙත් ගසාගෙන යන ජීවිතයක් බේරාගන්නට තරම් හැකියාවක් ඇති කිමිදුම් දස්කමක් ඔහුට තිබුණේ නැත. නමුත් ඔහු මේ වනවිට ජීවිතයක් බේරාගත් පාසල් සිසුවෙක් වශයෙන් රටේම අවධානය දිනා සිටී.
ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල අධ්‍යාපන කලාපයේ මැදගම කොට්ඨාසයේ පිහිටා ඇති අමුනේකඳුර මහ විදුහලේ ඉගෙනුම ලබන ඩී.එම්. ලක්ෂිත දිල්ෂාන් උසස් පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපනය හදාරණ පාසල් සිසුවෙකි. ස්ථීර රැකියාවක් නොකරන ලක්ෂිතගේ දෙමව්පියෝ ගොවිතැන් කටයුතුවලින් එදාවේල පිරිමහගන්නා ගැමියෝ වෙති. ලක්ෂිත පවුලේ වැඩිමහල් දරුවා වන අතර බාල සහෝදරියන් දෙදෙනාට ආදර්ශමත් සහෝදරයෙකි.
දිනය දෙසැම්බර් මස 20 වැනිදාය. උදේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් මුළු හාත්පසම වෙලාගත්තේ අඳුරු පරිසරයකි. හුරුපුරුදු මාර්ගයේ වුවද බයක් සැකයක් නොමැතිව ගමන් කළ නොහැකි වූයේ මාර්ගයේ ඇති ජලය හේතුවෙනි.
"මම විසිවෙනිදා පාසල් ගිහින් ගෙදරට ඇවිත් බඩු වගයක් ගන්න පාරට ගියා. එදා උදේ ඉඳන් හවස් වනතුරැ එක දිගට වැහැලා තිබුණා. වෙලාව හවස තුනට විතර ඇති. ඒ දවස් කිහිපය පුරාම හොඳටම වැස්සත් එදා අපි පාසලේ ඉඳිද්දී වෙනදාටත් වඩා වැස්සා. ඒ නිසා ගඟේ වතුර පාර සැරට ගසාගෙන ගියා. අපි යන පාරට පහළින් ගඟ පේනවා. එදා පාලමට උඩිනුත් පොඩ්ඩක් වතුර ගියා. ටික වේලාවකින් හොඳටම වතුර පාර වැඩිවුණා. ටික වේලාවකින් එක නැන්දා කෙනෙකුයි පොඩි නංගි කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි උඩහ ඉඳන් පාලම ළඟට ඇවිත් එහා පැත්තට යන්න බැරිව පොඩ්ඩක් එතන හිටගෙන හිටියා. පොඩි මල්ලි ඉඳිද්දී ඒ නැන්දයි, නංගියි එහා පැත්තට මාරු වෙන්න යනවා මම දැක්කා. එකපාරටම ඒ නංගිව ලිස්සලා ගඟට වැටුණා."
ලක්ෂිත දිල්ෂාන් තමන් මුහුණ දුන් ඒ අනපේක්ෂිත සිදුවීම දේශයට පැවසීය. තමන්ගේ අත් ග්‍රහණයේ සිටි තම කුඩා දියණිය අනපේක්ෂිත ලෙසින් අතින් ලිහී ගඟට වැටෙද්දී මවට සිතාගන්නටත් දෙයක් නොවීය. ඇය මරලතෝනි දුන්නාය. පිහිට ඉල්ලා පෙනෙන නොපෙනෙන මිනිසුන්, දෙවියන් යැද්දාය. ඒ සැණින් විදුලි වේගයෙන් දිය මතට පැන්නේ කවුදැයි ඇයට නිනව්වක් නැත. නමුත් කිසියම් වූ කෙනෙකු තම දියණිය බේරාගන්නට ගඟට පැන ඇති බව ඇය දුටුවේය. නමුත් ඒ ජල පහරේ සැරට සිදුවූයේ කුමක්දැයි නිශ්චය කරගන්නට ඇයට නුපුළුවන් විය.
පාලමට එගොඩ වන්නට සිටි කෙනකු එක මොහොතකින් අතුරුදන් වෙද්දී ඒ අසල සිටි කාන්තාව විලාප තබනා අයුරු ලක්ෂිත දුටුවේය. ඔහුට කිසිවක් සිතාගන්නට නොහැකිය. දෙවරක් නොසිතාම ලක්ෂිත ගඟට පැන්නේය. ඔහුට තම ජීවිතය ගැන මතකයට නැගුණේ නැත. තමන්ගේ දෙමව්පියන් සහෝදරියන්ගේ ජීවිත ගැන මතකයට නැගුනේ නැත. තම නැගණියක් සේ සිටිනා පුංචි නැගණියක් බේරාගන්නට ඔහු ජල ප්‍රහාරයත් සමඟ පොර බැදුවේය. පළමුව ඔහු පීනා ගොස් පහළට ගසාගෙන යන දැරියට ළං විය. එයද ලෙහෙසි වූයේ නැත. පසුව ඔහු ඉක්මණින් ඇගේ පිටේ එතෙක් රැඳී තිබූ බෑගය අල්ලා ගත්තේය.
"ඒ නංගිගේ පිටේ තිබුණ බෑග් එක නිසා මට ඒ නංගිව අල්ලාගෙන ඉන්න ටිකක් ලෙහෙසි වුණා... හැබැයි ඒක ඒ තරම් ලෙහෙසි දෙයක් නෙමේ. ගඟේ වතුර පහර සැරයි. මම කීපවතාවක්ම ගඟට බරවෙලා තිබෙන අතු වලින් එල්ලෙන්න හැදුවා. ඒත් ඒ හැම අත්තක්ම කැඩිලා අපිත් එක්කම ගඟටම වැටුණා. කොහොම හරි ඔය අතරේ මම එල්ලුන එක අත්තක් ටිකක් හයියයි. ඒ නිසා ඒ අත්තේ එල්ලිලා අපිට ගොඩ එන්නට හැකිවුණා. එහෙම ගොඩට ආවට පස්සේ හරිම මහන්සියි. ඇවිදගන්නවත් හයියක් තිබුණේ නැහැ. කොහොම හරි ඉහළට යද්දී ගමේ පිරිස ඇතුළු ඒ නැන්දා ගොඩාක් බයවෙලා බලාගෙන හිටියා. ඒ නැන්දා අපිව දැකලා පුදුම විදිහට ඇඬුවා..."ලක්ෂිත දේශයට වැඩිදුරටත් පැවසීය.
තම දියණියව බේරාගත් මේ පාසල් සිසුවා දෙවියෙකු යැයි ඇය පවසන්නීය. තමන්ගේ දියණිය බේරාගත් මේ පාසල් සිසුවා ජීවිත කාලයටම තමන්ට අමතක නොවන බවත් ඇය කියයි. කෙසේ වුවද ගඟට ලිස්සා වැටුණ දියණියට එතරම් වතුර පෙවී නොතිබීම වාසනාවක් විය. ඇය දැඩි ලෙස බියට පත්වී සිට ඇත. තමන්ට සිදුවූ සිදුවීම අමතක ඇය පවසන්නේ එය සිහිනයක් වන්නට ඇතැයි යනුවෙනි. ඒ තරමටම එම සිදුවීමෙන් ඇය දැඩි ලෙස කම්පා වී සිටියාය. ඇය මේ වනවිට ඇය හොඳ සුවෙනි.
"ලක්ෂිත දිල්ෂාන් දරැවා එකවසරේ සිට අප පාසලේ ඉගෙනුම ලබන සිසුවෙක්. සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වූ මෙම දරුවා මේ වනවිට වාණිජ අංශයෙන් උසස් පෙළට ඉගෙනුම ලබනවා. ඔහු ශිෂ්‍ය නායක මණ්ඩලයේ ඉන්න දරුවෙක්. නිතරම ලක්ෂිත් අනිත් අයට උදව් කළා. ඒ ලක්ෂණය පාසල් කාලයේදීත් අපි දැක්කා. මේ හදිසි අනතුරේදී ලක්ෂිත පසුබට වෙන්නේ නැතිව ඉදිරිපත් වුණා. ඒ දරුවාගේ ක්‍රියාව සම්බන්ධයෙන් පාසලක් ලෙසින් අපි ආඩම්බර වෙනවා. ලක්ෂිත අපේ පාසලට විතරක් නොවේ සමස්තයක් ලෙසින් දිවයිනේ සෑම දරුවකුටම හොඳ ආදර්ශමත් දරුවෙක් වුණා. අමුණේකඳුර මහ විදුහලේ දරුවන් හයසිය අට දෙනෙක් ඉගෙනුම ලබනවා. ඒ සෑම දරුවෙකුටම ලක්ෂිත දිල්ෂාන්ගේ මේ සත්ක්‍රියාව හොඳ ආදර්ශයක් විදිහටයි මම දකින්නේ." යැයි අමුණේකඳුර මහ විදුහලේ විදුහල්පතිනිය වන කේ.බී. ටජ්මා සමන්ති සිරිපාල මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසුවාය.
I දිශානි ජයමාලි කරුණාරත්න