තවත් වසරක් උදා විය. මේ වසර උදා වූයේ ජනතාවගේ සිත්වල පවතින පීඩාකාරී බවත් සමඟිනි. ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ජනතාවගේ සිත් තුළ ඇත්තේ බලාපොරොත්තුවලට වඩා කලකිරීම පමණි. දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල හා බදු හේතුවෙන් බොහෝ දෙනා දැඩි පීඩනයකට පත්ව සිටිති.
වෙන වසරවලදී නව වසරක් උදාවීමත් සමඟ රතිඤ්ඤා සහ ගිනි කෙළි භාවිතය හේතුවෙන් සිදුවූ හදිසි අනතුරුවලට සාපේක්ෂව මෙවර එවැනි හදිසි අනතුරු සිදු වුණේ අඩුවෙනි. එයට ප්‍රධාන හේතුව වූයේ ගිනි කෙළි දැල්වීමේ පරිස්සම නොව වෙනත් වසරවලට සාපේක්ෂව ගිනි කෙළිවලට යට කිරීම සඳහා ජනතාවගේ අතමිට මුදල් නොමැති වීමය. මේ නිසාම මෙවර ජනවාරි පළමුවැනිදා උදා වූයේ රතිඤ්ඤා හඬ අඩුවෙන් ඇසීමෙනි. ගිනි කෙළි මිලදී ගන්නවා වෙනුවට එයින් තම දරුවන්ට ආහාරයට යමක් රැගෙන යාමට බොහෝ දෙමව්පියෝ උත්සුක වූහ.
ගිනි කෙළිවලින් සිදුවූ හදිසි අනතුරුවල අඩුවක් දක්නට ලැබුණද වෙනත් හේතු මත සිදුවන හදිසි අනතුරු මේ වන විට ඉහළ යමින් පවතී. එයට ප්‍රධාන හේතුවක් ලෙස ඉහළ යන භාණ්ඩ මිල දැක්විය හැකිය. සෑම භාණ්ඩයකම මිල ඉතා අසාමාන්‍ය ලෙස ඉහළ ගියද ජනතාවගේ වැටුප කිසිසේත්ම ඉහළ යන්නේ නැත. මේ නිසාම රටේ බහුතර ජනතාවට සෑම විටම සිදුව ඇත්තේ දැඩි පීඩනයකින් ජීවිතයට මුහුණ දීමටය. කරකියා ගත නොහැකිව ඇතැමුන් සිය දිවි නසාගන්නේ ද මේ පීඩනය දරාගැනීමට නොහැකිවය.
ලෝලුවාගොඩ තලහේන පදිංචි නිලූකා සංජීවනී දරුවන් දෙදෙනකුගේ මවකි. ආර්ථික අපහසුතාවලට දැඩි ලෙස මුහුණ දුන් නිලූකාට මේ පීඩනය දරාගත නොහැකි විය. මේ නිසාම ඇය දරුවන් දෙදෙනාටම වස පොවා තමන් ද වස පානය කර තිබුණේ තමන් සහ දරුවන්ගේ ජීවිතවලට නිදහසක් සැනසීමක් ලැබෙනු ඇතැයි සිතාගෙන විය යුතුය. සිද්ධියෙන් පසුව තිස් එක් හැවිරිදි නිලූකා සංජීවනීව වතුපිටිවල මූලික රෝහලටත් දරුවන් දෙදෙනා කොළඹ රිජ්වේ ළමා රෝහලටත් ඇතුළත් කරනු ලැබූහ. දින කිහිපයකට පසුව එක් දරුවෙක් ද පසුව මව ද මිය ගියහ. අනෙක් දරුවා ප්‍රතිකාර ලබමින් සිටී.
කෙසේ වුවද අවසානයේදී මේ හදිසි අනතුරෙන් වන්දි ගෙවන්නට සිදුවූයේ කිසිවක්ම නොදත් දරුවන්ටය.
මහා මාර්ගයේ සිදුවන හදිසි අනතුරුවලින්ද අඩුවක් නැත. හිතේ පීඩනයත් සමඟ බොහෝ දෙනා සුක්කානමට අත තබන්නේ දැඩි පීඩනයකිනි. එහෙයින් ඇතැමුන් රිය පදවනු ලබන්නේ නිසි අවධානයකින් තොරවය. මහ රෑ සිදුවන රිය අනතුරුවලින් ඇතැමුන්ට දිවි අහිමි වන්නේ ඉතා ඉක්මනින් තුවාලකරුවන් රෝහල්ගත කරන්නට නොහැකි වීම හේතුවෙනි. ඇතැමකු මහා මාර්ගයේ තම රථය පදවාගෙන යන්නේ මෝටර් රථ ධාවන තරගයකට මෙනි. අනෙක් රථය ගැන වගක් නැත. පදිකයන් ගැන ද වගක් නැත. ආත්මාර්ථකාමී ලෙසින් රිය පදවන ඔවුන්ට අවසානයේදී සිදුවන්නේ මහ මඟ පදිකයන් ද මරාගෙන හදිසි අනතුරකට මුහුණ දීමටය.
තලංගම කොස්වත්ත පාලම් තුන හන්දියේදී පසුගියදා සිදු වූ හදිස රිය අනතුරෙන් රවීන්ද්‍ර ජනක ව්‍යාපාරික මහතා මිය ගියේය. තම වැඩිමහල් දියණියව පෞද්ගලික විශ්වවිද්‍යාලයට ඇරලවා නැවත නිවෙස බලා තම යතුරුපැදියෙන් පැමිණෙන අතරතුර මෙම අනතුර සිදුව තිබිණි. මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක ගැටුණු යතුරුපැදියෙන් රවීන්ද්‍ර විසිවී ගොස් මාර්ගයේ ඇදවැටී ඇත. ඒත් සමඟම මාර්ගයේ ගමන් ගත් ලොරි රථයකට යට වූ රවීන්ද්‍ර එතැනම මිය ගියේය.
කහතුඩුව හොරණ පාරේ මහවංගුව ප්‍රදේශයේදී සිදුවූ හදිසි අනතුරකින් තරුණ ජීවිතයක් අහිමි විය. කොළඹ ප්‍රසිද්ධ හෝටලයක සූපවේදියකු ලෙසින් කටයුතු කළ තිවංක සපුමල් තම යතුරුපැදියෙන් නිවෙස බලා යන අතරතුර මෙම අනතුරට මුහුණ දී තිබිණි. දුරකථන කණුවක වැදීමෙන් සිදුවුණු මෙම අනතුරෙන් තිවංකගේ හිසට දැඩි හානි සිදු වී තිබූ අතර රෝහල්ගත කරන අතරතුර ඔහු මිය ගොස් තිබුණි.
රථවාහනවලින් සිදුවන මාර්ග අනතුරු සේම දුම්රිය මාර්ගයේ සිදුවන අනතුරුද මේ වනවිට ඉහළ ගොස් ඇත. ඇතැමුන් පවතින පීඩනයත් සමඟ ධාවනය වන දුම්රියට හසුවී ජීවිතක්ෂයට පත්වන අතර තවත් සමහරු අනපේක්ෂිත ලෙස නොසැලකිලිමත්කම හේතුවෙන් ද දුම්රියට හසුවෙති.
හදිසි කෝපය හා තරහව හේතුවෙන්ද හදිසි අනතුරුවලට මුහුණ දීමට සමහරුන්ට සිදුවෙයි. ක්ෂණිකව ගන්නා තීරණ බොහොමයක් අසාර්ථක වීමට හැකිය. බුද්ධියට ඉඩ නොදී හැඟීම්වලට ඉඩ දීම නිසා ඇතැම්විට පසුතැවීමටද නැතහොත් නැවත නිවැරදි කර ගැනීම නොහැකි වරදක් වුවද සිදුවිය හැක.
කෙතරම් ආර්ථික අපහසුතා පැවතියද මත්පැනට, මත් රකුසාට හසු වූ බොහෝ දෙනකුට එයින් මිදීමට හැකියාවක් හෝ උනන්දුවක් නැත. මතට ඇබ්බැහි වීමෙන් අවසානයේදී ජීවිතයද අහිමිවන තත්ත්වයක් උදාවන බව තේරුම් යන විට බොහෝ ප්‍රමාද වී තිබිය හැක. වසර අවසානයේදීත් වසර ආරම්භයේදීත් පෙර වසරවලදී මෙන් නොවුණද අතරින් පතර යහළු මිත්‍රාදීන් සමඟ මතට ඇබ්බැහි වූ ඇතැමුන් සිටින්නේ අවසිහියෙන් බව කිව යුතුය.
හෝමාගම පිංකෙත පාරේ පදිංචි හැට පස් හැවිරිදි දයානන්ද ජනවාරි පළමුවැනිදා දහවල් කාලයේදී තවත් මිතුරකු සමඟ මත්පැන් සාදයකට සහභාගි විය. ඒ වසර ආරම්භය තම මිතුරන් හා ප්‍රීති වීමටය. කාලය ගතවීමෙන් හැමටම පදමට වැදී තිබිණි. සුහද කතාබහ ටිකෙන් ටික වෙනස් විය. මේ අතරේ දයානන්ද තවත් මිතුරකු සමඟ බහින් බස් වීමක් ඇතිකර ගත්තේය. එය මොහොතකින් ආරවුලක් බවට පත් විය. මෙය දුරදිග යාමෙන් තවත් මිතුරකු ගැසූ පොලු ප්‍රහාරය වැදුණේ දයානන්දගේ හිසටය. දැඩි ලෙස තුවාල ලැබූ දයානන්ද රෝහල් ගත කෙරුණි. නමුත් ඔහුගේ ජීවිතය බේරාගැනීමට නොහැකි විය. ක්ෂණික කෝපය නිසා සිදු වූ පහර දීමකින් තවත් ජීවිතයක් නිස්කාරණේ අහිමි වූයේ එසේය.
ගම්පොල ප්‍රදේශයේ ජීවත් වූ අවුරුදු විසි දෙකක තරුණයකු ජීවිතක්ෂයට පත්වූයේ උස් ස්ථානයකින් බිමට වැටීම හේතුවෙනි. අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු වූ ඔහු තම වැඩිමහල් සහෝදරියගේ වටිනා රන් මාලය සොරකම් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට අනුව තරුණයා වරෙන්තු ලබා සිටියේය. එය විභාග කිරීම සඳහා නිවෙසට ගිය පොලිස් නිලධාරීන් දුටු තරුණයා නිවෙසේ වහළයට නැග අසල තිබූ නිවෙසක වහළයට පැනගැනීමට උත්සාහ දරද්දී වහළයෙන් බිමට ඇද වැටුණි. රෝහල්ගත කෙරුණද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියේය.
පසුගිය කාලය තුළ මහා මාර්ගයේ සිදුවූ රිය අනතුරු හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව සුඵපටු නොවේ. දින සති මාස පුරාවට රෝහල්ගතව සිටින රෝගීන් බොහොමයක් මේ තත්ත්වයට පත්ව සිටින්නේ නොසැලකිලිමත්කම හා හිතාමතා තමන්ම ගත් අවදානම් පියවර හේතුවෙනි.
I දිශානි ජයමාලි කරුණාරත්න