2023 ජනවාරි 08 වන ඉරිදා

අලුත් බදුවලින් ජනතාව කබලෙන් ළිපට

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 459

2023 වසරේ ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන 2022 අංක 45 දරන ආදායම් බදු සංශෝධන පනත මගින් මාසික ස්ථාවර වැටුපක් ලබන අය මෙන්ම වෘත්තිකයන්, කර්මාන්තකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විශාල පීඩනයකට ලක්කර ඇති බවට චෝදනා එල්ල වේ. මෙම බදු සංශෝධන මගින් සමාජයේ එක්තරා මට්ටමකින් ඉහළ අයගෙන් බදු අය කරන බව රජය පැවසුවද මේ නිසා රටේ දිළිඳු ජනතාවද විශාල පීඩනයකට ලක්වන බවක් පෙනෙන්නට තිබේ. එයට හේතුව ඔවුන් යැපෙන්නේ බදු ගෙවීමට ලක්වන මධ්‍යම පාන්තික පිරිස නිසා වීමය. මෙම බද්ද ඔවුන්ගේ ජීවනෝපායවලටද වක්‍රව බලපායි.

රටක ඍජු බදු අනුපාත ඉහළ නංවා ඊට සාපේක්ෂව වක්‍ර බදු පහළ දැමිය යුතු වුවද අපේ රටේ මේ දෙකම ඉහළ නැංවීම අඛණ්ඩව සිදු වේ. මෙවර බදු සංශෝධනවලින් රටට විදේශ විනිමය උපයන අපනයනකරුවන්ගෙන්ද විශාල බද්දක් අය කෙරේ. මෙලෙස ඔවුන් පීඩනයට පත් කිරීම රටේ ඩොලර් අර්බුදයක් පවතින අවස්ථාවක නොකළ යුතුම දෙයකි.

කෙසේ වුවද මෙවර පනවා ඇති අලුත් බදු සහ කර ඇති බදු සංශෝධන ඒ ආකාරයෙන් දිගටම පවත්වාගෙන යා හැකිද යන්න පිළිබඳ සැකයක් මතු වී ඇත. මේ වන විටද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොලී අනුපාත මත පැනවූ 5% බද්ද සංශෝධනය කිරීමට රජයට සිදුව ඇත. වෘත්තිකයන්ගේ සංවිධානද බදුවලට එරෙහිව සටන් මගට අවතීර්ණ වී සිටී. බදුවලින් රජය අපේක්ෂිත ආදායම ඒ ආකාරයෙන්ම ලබාගත හැකිද යන්න කාලය විසින් තීරණය කරනු ලබනවා ඇත යන්න ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ 2022 අංක 45 දරන ආදායම් බදු සංශෝධන පනත මගින් පැනවූ බදු නිසා ලැබෙන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් දේශය පුවත්පතට කරුණු අනාවරණය කළේය. ඔහු දැක්වූ අදහස් මෙලෙස සංක්ෂිප්ත කර දක්වමු.

ශ්‍රී ලංකාවේ පුද්ගලයෙක් 2022 වසරේදී ඍජු බදු ලෙස රුපියල් 25056ක් ගෙවා තිබේ. එහෙත් 2023 වසරට හඳුන්වා දුන් ආදායම් බදු සංශෝධන පනත අනුව එම මුදල රු. 40714 දක්වා රු. 15658 කින් වැඩිවනු ඇත. ශ්‍රී ලංකාවේ හතර දෙනකුගෙන් යුත් පවුලක් මාසයක බදු වශයෙන් ගෙවූ මුදල රු. 8352ක් නමුත් 2023 දී මෙම මුදල රු. 13571ක් දක්වා ඉහළ යයි. මෙය රු. 5219 ක වැඩි වීමකි. මෙම වැඩි කිරීම නිසා 2022 වසරේදී රුපියල් බිලියන 1852ක් වූ බදු ආදායම 2023 දී බිලියන 3130 වශයෙන් බිලියන 1278 ක සුවිශාල වැඩි වීමක් වෙයි.

එහෙත් රජය අපේක්ෂිත මෙම ආදායම එලෙසම ලැබේද යන්න විවාදයට තුඩු දී ඇති ප්‍රශ්නයක් වෙයි. මා අදහස් කරන්නේ මෙයින් අඩක හෝ ආදායමක් ලැබේ නම් එය සුවිශේෂ බවයි. එසේ පැවසිය හැක්කේ 2021 – 2022 වසරවලදී පවා ආදායම ලෙස සත්‍ය වශයෙන් ලැබී ඇත්තේ බිලියන 300 – 500 අතර ප්‍රමාණයක් අඩුවෙන් වීම නිසාය. මෙම 2023 වසරේ රටේ ආර්ථිකය විශාල ලෙස බිඳවැටී ඇති බැවින් මේ ප්‍රමාණය මෙයට වඩා වැඩි විය හැකි යැයි උපකල්පනය කිරීමට සිදු වේ.

2022 අංක 45 දරන බදු සංශෝධන පනත පිළිබඳ හැදෑරීමේදී යෝජිත බදු ක්‍රමය තුළ දුර්වලතා රුසක් ඇති බව පෙනී ගොස් ඇත. මෙහිදී බද්දට යටත් වන්නේ කෙනකුගේ දළ ආදායමයි. මෙතැනදී ඔහු ලබන ශුද්ධ ආදායම සලකා බලා නැත. මේ නිසා බලාපොරොත්තු වන ආදායම ලැබීමක් සිදු නොවේ. එසේම මෙහිදී සිදු කරන වරදක් වන්නේ ප්‍රධාන අපනයනකරුවන්ට බදු ගැසීමයි. ඒ අය රටට ඩොලර් ගෙනෙන අයයි. ඒ අයගෙන් බද්දක් අයකිරීම අසාධාරණ අතර එය අපේ අපනයනවලට අහිතකර ලෙස බලපෑමට හේතු වෙයි. එසේම මේ පනත අනුව රටේ බදු ගෙවීම පැහැර හැර ඇති බලවත් කණ්ඩායම්වලින් බදු අයකිරීමක් සිදු නොවේ. ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ මෙවැනි බදු නොගෙවන බලවත් පුද්ගලයන් කොටුකර ගැනීම වුවද ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් යෝජනා නොකිරීම දුර්වලතාවයකි. අලුත් බදු ක්‍රම හඳුන්වා දීමට වඩා දැනට තිබෙන ප්‍රතිපාදනවලින් වැඩ ගැනීම වැදගත් වේ. එසේම අපනයනවලට 40%ක් බදු පනවා ඇති අතර ක්‍රීඩා සහ ඔට්ටු ඇල්ලීමටද පනවා ඇත්තේ 40% ක බද්දකි. මේ දෙඅංශය සඳහා එකම බදු ප්‍රතිශතයක් පැනවීම සාධාරණද, එහි ප්‍රතිවිපාක කවරේද යන්න විශේෂයෙන් සලකා බැලිය යුතු වේ. විශ්‍රාම ගන්නා අයට ලැබෙන පාරිතෝෂික මුදල බැංකුවල දමා ලබන ආදායම 5% ක බද්දකට යටත් කිරීම විශාල අසාධාරණයක් බව කිව යුතුයි. තවද සේවක අර්ථසාධක අරමුදල සඳහා සේව්‍යයා ගෙවන මුදලද එකතු කර බදු ගැසීම අසාධාරණ වන්නේ එම මුදල ලැබෙන්නේ සේවකයා විශ්‍රාම යාමෙන් පසුව වීම නිසාය. මෙවැනි දෙවරක් සලකා බැලිය යුතු ගැටලු කිහිපයක් ඇති බව පැවසිය යුතු වේ.

බදු ආදායම පහළ බැසීම

රටේ බදු ආදායම පසුගිය වසර කිහිපය තුළ වේගයෙන් පහළ ගොස් ඇති බව පෙනෙන්නට තිබේ. වැඩිම ආදායම වූ රුපියල් බිලියන 1735 ලැබී ඇත්තේ 2019 වසරේදීය. 2020 වසරේදී සහ 2021 දී ලැබී ඇති ආදායම පිළිවෙළින් රුපියල් බිලියන 1216 හා 1298 ක් විය. 2022 වසරට අපේක්ෂිත ආදායම බිලියන 1852 කි. 2023 වසරේ අයවැය ලේඛනය මගින් එම වසරට ලැබේ යැයි ඇස්තමේන්තු කර ඇති ආදායම බිලියන 3130ක් වේ. 2022 ට වඩා 2023 වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 1278 කින් වැඩි වී තිබේ.

තවද මෙයට අමතරව 2023 දී ආදායම් බදු මගින් අමතරව රුපියල් බිලියන 354ක් ද භාණ්ඩ හා සේවා බදු බිලියන 791ක් ද විදේශ වෙළෙඳ බදු බිලියන 133 ද ලබාගැනීමට අපේක්ෂා කර තිබේ. ලංකාවට බදු ලැබෙන ප්‍රධාන ආයතන තුනකි. රේගුව, සුරා බදු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඒවා වෙයි. 2021 වසරේදී ආයතනික අංශවල බදු ගෙවා ඇති සංඛ්‍යාව 68009 කි. ආයතනික නොවන අංශයේ පුද්ගලයන් 2,92,305ක් බදු ගෙවා තිබේ. හවුල්කාරීත්ව ආයතන 16798ක් බදු ගෙවා තිබේ. හවුල්කාරීත්ව ආයතන සංඛ්‍යාව 16798ක් වෙයි. බදු ගෙවන සේවකයන් ගණන 32702 කි. බ්‍රෝකර්වරුන් ආදී සෙසු පුද්ගලයන් 9976ක් සේවා දායකයන් 34985ක් බදු ගෙවා තිබේ. රඳවා ගැනීමේ බදු ගෙවන්නෝ 42500ක් පමණ වෙති.

බදු ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම්

රජය බදු සංශෝධන පනත පාර්ලිමේන්තුවෙන් අනුමත කරවාගෙන ඇත්තේ මෙම පසුබිම මතය. පසුගිය සමය තුළ රජයේ වියදම දිගින් දිගටම ඉහළ ගිය බව නොරහසකි. එය පියවා ගැනීමට තරම් ආදායමක් නොලැබුණි. රජයේ වියදම ඉහළ ගිය අතර, ණය හා පොලී ගෙවීම්ද විශාල ලෙස වැඩි විය. රජයට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන තත්ත්වයක් තුළ මේ සඳහා නැවත නැවත ණය ගැනීමට සිදු විය. මේ නිසා රටේ ණය බර වැඩි වූ අතර, එයට ප්‍රතිකර්ම කිරීමක් සිදු නොවීය. මෙලෙස දිගින් දිගටම ණය ගැනීම අපහසු වූ අතර මේ වනවිට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යැයි ණය ගෙවීම තාවකාලිකව නවතා තිබේ. දේශීය ආදායම ඉහළ නංවා ගැනීම අවශ්‍ය වුවද රජය එය සිදු කිරීමට උත්සාහ කළේ රටේ ආර්ථිකය බිඳවැටෙමින් තිබුණු අවධියේදීය.

රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ගැන සලකා බලන විට 2022 මුල් කාර්තු තුන තුළ එය ඍණ අගයක පැවතුණි. කෘෂි අංශය පළමු කාර්තුවේදී 6.8% ක ඍණ අගයක් වාර්තා වූ අතර, 2 කාර්තුවේදී එය ඍණ 8.4% ක් විය. 3 කාර්තුවේදී ඍණ 8.7% දක්වා වර්ධනය වූ අතර කාර්මික අංශය මුල් කාර්තුවේදී පිළිවෙළින් ඍණ 4.7%, 10% හා 21% වශයෙන් බිඳවැටීම වර්ධනය විය. සේවා අංශයද මුල් කාර්තුවේ ඍණ 0.7% ක් වූ අතර ඊළඟ කාර්තු දෙකේදී ඍණ 2.2% හා ඍණ 2.6% වශයෙන් ඉහළ නැග ඇත. මේ අනුව සමස්ත ආර්ථික බිඳවැටීම සලකා බලන විට මුල් කාර්තු 3දී පිළිවෙළින් 1.6%, 8.4% හා 11.8% වශයෙන් ඍණ අගයක් වාර්තා විය.

ආර්ථික බිඳවැටීම වේගවත් වීම

ඉහළ උද්ධමනය, බලශක්ති අර්බුදය, ඉහළ පොලී අනුපාතිකය, අධික ප්‍රවාහන මිල, අමුද්‍රව්‍ය, විදුලිය, ජලය, දුරකතන මිල ගණන් ඉහළ යාම ආදිය නිසා රටේ නිෂ්පාදකයෝ සහ පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති. මේ වනවිට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලින් 20%ක් වැසී ගොස් ඇති අතර, දරිද්‍රතා මට්ටම 2022 ඔක්තෝබර් වනවිට 13810 දක්වා ඉහළ නැග ඇත. දිළිඳු ජනගහණය 50% කට ආසන්න වී තිබේ.

රජය රටේ ජනතාවට ඉහළ වක්‍ර සහ ඍජු බදු පනවා ඇත්තේ මෙවැනි වාතාවරණයක් තුළය. 2022 දී රජය එකතු කළ ආදායම් බදු අනුපාතිකය (VAT) කිහිප වරක් වැඩි කළේය. මේ නිසා භාණ්ඩ හා සේවා මිල විශාල ලෙස ඉහළ ගියේය. තවද සමාජ ආරක්ෂණ දායක බද්ද 2.5% ක් ලෙස පැනවුවද මෙය සත්‍ය ලෙසම පාරිභෝගිකයා වෙත පැමිණෙන විට 10% ක තරමට වැඩි වෙයි.

මේ අතර ජනවාරි 01 දින සිට බලපවත්වන පරිදි පැනවූ නව ආදායම් බදු නිසා මසකට රුපියල් ලක්ෂයකට වැඩියෙන් උපයන සැම දෙනාම බද්දට යටත් කර තිබේ. මේ අනුව වාර්ෂික ආදායම ලක්ෂ 12 හැර වැඩිවන සෑම ලක්ෂ 5කටම 6% - 12% - 18% - 24% - 30% - 36% ලෙස බදු වැඩි වෙයි. මේ අනුව මසකට ලක්ෂ 1ට වඩා වැඩි ආදායමක් උපයන සෑම අයකුටම රු. 41,667ක් සඳහා බදු අනුපාතය වැඩි කරමින් බදු පනවා තිබේ.

පොලී ඉපැයීම්වලට 5% ක බදු

මෙම ආදායම් බදුවලට අමතරව සෙසු අතුරු ආදායම්වලටද බදු පනවා තිබේ. පුද්ගලයා සේවය කරන ආයතනය බද්ද අඩු කරගෙන ඔහුට වැටුප් ගෙවිය යුතු වේ. මේ හැර ඉගැන්වීම්, දේශන, විභාග කටයුතු, රක්ෂණ, වෛද්‍ය, ඉංජිනේරු, 
පර් යේෂණ, නීති, ගණකාධිකරණ ආදියෙන් උපයන ආදායම මසකට ලක්ෂයකට වැඩි නම් 5% ක් බදු ගෙවිය යුතු වේ. පොලී ඉපැයීම් සඳහා ද 5% ක් බදු අය කරයි. එම බදු අඩු කරගෙන ගෙවීම් කරයි.

සෑම බදු වසරක් සඳහාම බදු වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ. එහි තම මුළු ආදායම ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය වේ. දේශීය ආදායම් බදු නිලධාරීන් අදාළ අය ගෙවා ඇති බද්ද සත්‍ය ප්‍රමාණයට වඩා අඩු බව නිර්දේශ කරන්නේ නම් හිඟ මුදල යළිත් ගෙවිය යුතුය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, භාණ්ඩ අපනයනකරුවන්, ජාත්‍යන්තර පාසල්, සංචාරක ප්‍රවාහන කටයුතු, ඉදිකිරීම් සේවා, සෞඛ්‍ය කෘෂි සැකසුම්, ස්වර්ණාභරණ හා මැණික්, කොටස් වෙළෙඳපොළ ව්‍යාපාර බලශක්ති සැපයුම්කරුවන් ආදී අය මත ලියාපදිංචි බදු පැනවීමක් හෝ ඉහළ නැංවීමක් සිදුවීම දැකගත හැකි වේ. මේ ක්ෂේත්‍රවල සාමාන්‍යයෙන් මේ වනවිට ගෙවන්නේ 14% ක බද්දක් වුවද එය මෙම සංශෝධන නිසා 30% දක්වා ඉහළ යනු ඇත. එය විශාල වැඩි වීමක් නිසා එම ක්ෂේත්‍රවලට කෙසේ බලපායිද යන ගැටලුව මතු වේ.

මේ අනුව පෙනී යන්නේ මෙම බදු සංශෝධන පනත නිසා 2023 වසරේදී රටේ විවිධ ක්ෂේත්‍රවල විශාල පෙරළියක් සිදුවීමට ඉඩ ඇති බවය. කෙසේ නමුත් රජය මෙමගින් අපේක්ෂා කරන බදු ආදායම් ඉලක්ක කෙතරම් දුරට සඵල කරගත හැකිවේද යන්න අනාගතයේ තීරණය වනවා ඇත.
 
I යසවර්ධන රුද්රිගූ