2023 ජනවාරි 08 වන ඉරිදා

මිනිස්සුන්ට බිත්තරෙත් නැතිකළ බිත්තර මාෆියාව

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 243

පසුගිය වර්ෂයේ ආරම්භ වූ බිත්තර හිඟය මේ වන විට උග්‍ර අර්බුදයක් බවට පරිවර්තනය වෙමින් පවතී. පවතින බිත්තර හිඟය නිසා ඇතැම් නගරවල බිත්තර සොයා ගැනීමත් අසීරු වී ඇතැයි පාරිභෝගික ජනතාව මැසිවිලි නගති. එමෙන්ම බොහෝ තැන්වල බිත්තරයක මිල රුපියල් 70ට කිට්ටු කර ඇත. පවතින මෙම බිත්තර හිඟය හේතුවෙන් රෝහල්වල රෝගීන්ගේ ආහාර වට්ටෝරුවෙන් පවා බිත්තර ගෙඩිය අතුරුදන් වී ඇත. වැඩිම බිත්තර නිෂ්පාදනයක් සිදුවන කුලියාපිටිය ප්‍රදේශයේ පවා දැඩි බිත්තර හිඟයක් පවතින්නේ යැයි එහි ප්‍රකාශකයෙක් දේශයට ප්‍රකාශ කළේය. බිත්තර හිඟය බේකරි හිමියන් සහ ආපන ශාලා හිමියන්ට ද දැඩිව බලපා ඇත. මේ අන්දමින් බිත්තර හිඟය නිසා පාරිභෝගික ජනතාවට සිදුවී ඇති අපහසුතා මඟහරවා ගැනීමට රජය අලුත් සූත්‍රයක් යොදා ඇත. ඒ බිත්තර ආනයන සූත්‍රයයි.

බිත්තර හිඟය නිසා වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති බිත්තර මිල පාලනය කිරීමට බිත්තර ආනයනය කළ යුතු යැයි වෙළෙඳ අමාත්‍යවරයා කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණි. ඒ ඉකුත් ඉකුත් 02 දිනයි. එම අනුමැතිය සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ආනයනික බිත්තරයක් රුපියල් 40 - 42ත් අතර මිලකට පාරිභෝගික ජනතාවට ලබා දිය හැකි බවයි. ආනයනය කරන බිත්තර ප්‍රමාණය, බිත්තර ආනයනයට අදාළ සෙසු නෛතික කටයුතු සහ මිල ගණන් පිළිබඳව මේ වන විටත් අවධානය යොමුව ඇති බවද ඔහු පැවසීය. රාජ්‍ය වාණිජ විවිධ නිතීගත සංස්ථාව හරහා බිත්තර ආනයනයට පියවර ගන්නා බවත් රටේ බිත්තර අවශ්‍යතාවයෙන් 20% ක් වැනි ප්‍රමාණයක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බවත් ඊට අවශ්‍ය මුදල් ආනයන කටයුතු සිදු කරන ආයතන සතුව පවතින බවත් අමාත්‍යවරයා කියා සිටියේය. ඉදිරි සතිය තුළ පළමු බිත්තර තොගය මෙරටට ළඟා වනු ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙරට බිත්තර නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. පළමු සහ පැරණිම බිත්තර නිෂ්පාදන ක්‍රමය ගම් කිකිළි බිත්තර නිෂ්පාදනයයි. සමස්ත බිත්තර නිෂ්පාදනයෙන් 0.5%ක්වත් ආවරණය නොකරන ගම් කිකිළි බිත්තර නිෂ්පාදනය ගෘහස්ත අවශ්‍යතා සඳහා අවට පරිසරයෙන් කිකිළියන්ට ආහාර සැපයීම මගින් නිෂ්පාදනය කර ගනී. නමුත් වාණිජමය වශයෙන් ගම් කිකිළි බිත්තර නිෂ්පාදනය අසාර්ථක බැවින් 1960 ගණනින් පසු ෆාම් බිත්තර නිෂ්පාදනය මෙරට තුළ ස්ථාපිතය විය. ෆාම් බිත්තර නිෂ්පාදනය ආරම්භ වීමත් සමඟ ෆාම් කිකිළියන්ට අවශ්‍ය ආහාර මිශ්‍රණයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ අවශ්‍යතාව පැන නැගුණි. ඒ අනුව එදා සිට අද දක්වාම මෙම බිත්තර කර්මාන්තයට අවශ්‍ය සත්ත්ව ආහාර ආනයනය සිදුවන අතර නිෂ්පාදනය වන බිත්තර ප්‍රමාණයෙන් 75%කට වැඩි ප්‍රතිශතයක් රඳා පවතින්නේ ආනයනික සත්ත්ව ආහාර මත පමණි. එබැවින් රජය බිත්තර ආනයනය කිරීමට ගත් තීරණය සහ ආනයනික ආහාර සපයා කරන බිත්තර නිෂ්පාදනය අතර මහ ලොකු වෙනසක් නැති බවක් අපට පෙනේ.

බිත්තර යනු අඩු මිලකට ලබාගත හැකි ප්‍රෝටීන ප්‍රභවයක් වීම සහ ආහාර වර්ග රැසක් නිෂ්පාදනය කිරීමට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යක් වීම හේතු කොටගෙන බිත්තරය අත්‍යවශ්‍ය ආහාරයක් බවට පත්ව ඇත. එමෙන්ම බිත්තර ආශ්‍රිතව විශාල පිරිසක් රුකියාවේ නියුක්තව සිටිති. එම නිසා බිත්තර ආනයනය පාරිභෝගිකයාට සහනයකි. නමුත් කර්මාන්තමය දෘෂ්ටියෙන් බැලූ කල බිත්තර ආනයනය දිගුකාලීන ගැටලු රුසකට මුල පුරනු ඇතැයි උපකල්පනය කෙරේ.

බිත්තර ගොවීන් පෙන්වා දෙන්නේ බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් සත්ත්ව ආහාර හා සත්ත්ව බෙහෙත් මිල ඉහළ යාමත් ඉන්ධන, විදුලිය බිල හා සේවක වැටුප් ඉහළ යාමත් සිදුවන බවයි. සත්ත්ව ආහාරවල ප්‍රමිතිය බාල වීම නිසාද බිත්තර නිෂ්පාදනය වන ප්‍රතිශතය පහත වැටී ඇතැයි ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම රුපියල් 200ක මිලකට අලෙවි වූ බිත්තර කිකිළි පැටියකු අද වන විට රුපියල් 700කට අලෙවි වන බවත් ඊට අමතරව බිත්තර කිකිළි පැටවුන් ඇණවුම් කර මාස කිහිපයක් ලැයිස්තුවේ බලා සිටීමට සිදුවන නිසා අපේක්ෂිත කාලවකවානුව තුළ බිත්තර නිෂ්පාදනය සිදු කළ නොහැකි ඇතැයි ද ඔවුහු කියති.

මහනුවර ප්‍රදේශයේ සත්ත්ව ආහාර වෙළෙඳසල් හිමියකු වන නිලාම් මහතා මෙම ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින් අවධාරණය කළේ වසර එකහමාරකට පෙර රුපියල් 4000ක මුදලකට පැවැති බිත්තර කිකිළියන් සඳහා අවශ්‍ය ආහාර කිලෝ 50ක මිටියක්, ඉකුත් මාස කිහිපය තුළ රුපියල් 14000 දක්වා ඉහළ දැමීමෙන් පසු නැවත එහි මිල රුපියල් 300කින් පමණක් අඩු කර ඇති පසුබිමක පැරණි මිලට බිත්තර විකිණීමට පැවසීම කිසිසේත් සාධාරණ නොවන බවයි. බිත්තර මිල පාලනය කිරීමට රජය ගත් ඇතැම් තීන්දු තීරණ නිසා ගොවීන් කර්මාන්තයෙන් ඈත් වූ බවත් පෙර පැවැති සත්ත්ව ආහාර අලෙවිය 10% දක්වා අඩුවී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය.

මතුව ඇති බිත්තර ගැටලුව සම්බන්ධයෙන් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතාගෙන් දේශය කළ විමසීමේ දී ජයවර්ධන මහතා කියා සිටියේ බිත්තර හිඟය පිටුපස මාෆියාවක් පවතින බවයි. පවතින බිත්තර හිඟය සමනය කිරීමට නම් බිත්තර ආනයන කළ යුතු යැයි ද පෙන්වා දුන් එතුමා මෙසේ අදහස් දැක්වීය.

“මේ වෙනකොට බිත්තර හිඟයක් තියෙනවා. ඒක ප්‍රයෝජනයට අරගෙන තමයි අධික ලෙස මිල ඉහළට දාන්නේ. ඒක වළක්වන්න බෑ. මොකද ඉල්ලුමට සරිලන සැපයුමක් නැත්නම් ඩිමාන්ඩ් වෙලා කළුකඩ මාෆියාවක් බිහි වෙනවා. ඉතින් හිඟයට විසඳුම් දෙන්නේ නැතුව මොන දේ කළත් වැඩක් නෑ. බිත්තර නිෂ්පාදකයෝ කොච්චර කිව්වත් රටින් බිත්තර ගේන්න එපා කියලා, ඒගොල්ලෝ කියන්නේ නෑ මොකක්ද මේ හිඟයට දෙන පිළියම කියලා. දැන් රටින් බිත්තර ගේනවා හැරෙන්න කිසිම විකල්පයක් නෑ. අපි කියන්නේ එක මාසයක් මේ අඩු ප්‍රමාණය ගෙන්නන්න. එතකොට මේ මාෆියාව නවතිනවා. එහෙම නැත්නම් මේ බිත්තර නිෂ්පාදකයන්ටවත් මාෆියාව පාලනය කරන්න බැරිව යනවා. මොකද අවශ්‍යතාව තියෙන ලොකු ව්‍යාපාරිකයා කීය දීලා හරි බිත්තර ටික එකතු කර ගන්නවා. එතකොට වෙන්නේ සාමාන්‍ය මිනිහට බිත්තරයක් නැතිව යන එක.“ 

දිනකට ජාතික බිත්තර අවශ්‍යතාව ලක්ෂ 65 කි. නමුත් මේ දිනවල නිෂ්පාදනය කෙරෙන්නේ බිත්තර ලක්ෂ 35ක් පමණි. නිෂ්පාදනය රට තුළ නිෂ්පාදනය කෙරෙන බිත්තරවලින් අඩකට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නේ බේකරි නිෂ්පාදනය සඳහාය. එබැවින් මෙම තත්ත්වය බේකරි නිෂ්පාදනයට බලපා ඇති අන්දම ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති විස්තර කළේය. 

“මේ බිත්තර ප්‍රශ්නය ඔඩු දුවනවා. මේ ප්‍රශ්නය උඩ ලංකාවේ තියෙන සේරම කර්මාන්ත කඩා වැටෙනවා. බේකරි නිෂ්පාදනය ගත්තොත් පාන් හැර අනෙකුත් සියලු නිෂ්පාදනවලට බිත්තර ඕන. දැන් බේකරිවලට බිත්තරයක් 60ටවත් දෙන්නෙ නෑ. ඒකත් පොරකාලා තමයි ගන්න වෙන්නේ. බිත්තර නිෂ්පාදකයන්ගේ ප්‍රධාන පාරිභෝගිකයෝ බේකරි හිමියෝ. ඉස්සර බිත්තර ලක්ෂයක් ගන්නා විට ලක්ෂ 35ක් ගෙවපු එකට දැන් ලක්ෂ 70ක් දෙන්න වෙලා. මේක අන්තිමට ගෙවන්න වෙන්නේ මහජනතාවටමනේ. ඉතින් අපි හම්බකරන ඔක්කොම බිත්තරවලට දීලා නිකම් ඉන්නනෙ වෙලා තියෙන්නේ. මේ බිත්තර ප්‍රශ්නේ නැත්නම් බේකරි නිෂ්පාදනවල මිල ගොඩක් අඩු කරන්නත් පුළුවන්. ඒ නිසා රටින් හරි බිත්තර ගෙනල්ල සැපයුම යථා තත්ත්වයට පත් කරලා ඊට පස්සේ ලංකාවේ බිත්තර කර්මාන්තේ ප්‍රශ්න විසඳන්න කියල මං යෝජනා කරනවා.''

බිත්තර ආනයනය සම්බන්ධයෙන් විරෝධය පාන බිත්තර ගොවි සංගම් පෙන්වා දෙන්නේ බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගතහොත් එම ආනයනික බිත්තරවලට වඩා අඩු මිලට බිත්තර අලෙවි කිරීමට කටයුතු කරන බවයි. අමාත්‍යවරයා පවසන මිලට ආනයනික බිත්තර විකිණීමෙන් රජයට පාඩු සිදුවනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම ඔවුන් චෝදනා කරන්නේ වෙළෙඳ අමාත්‍යවරයාගේ ඥාතියකු වන බිත්තර ගබඩා කරගත හැකි ශීත කාමර හිමි ව්‍යාපාරිකයකුට බිත්තර ආනයනය කිරීමට අවස්ථාව සලසා දීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.

බිත්තර ආනයනය කළහොත් සිදුවිය හැකි අනතුරක් පිළිබඳව ද රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සිසිර පියසිරි මහතා ද අනතුරු ඇඟවීමක් කළේය. ඒ ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළහොත් %ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා^ රෝගය මෙරටට ළඟාවීමේ දැඩි තර්ජනයක් ඇති බවයි. එම රෝගය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වුවහොත් ඉතාම ගැටලු සහගත තත්ත්වයක් ඇතිවිය හැකි බවත් වැඩිදුරටත් පශු වෛද්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව බිත්තර ආනයනය තුළ කිසියම් අවාසිසහගත තත්ත්වයක් පැවැතිය ද ආපනශාලා හා බේකරි ආරක්ෂා කිරීම සඳහා ද දුප්පත් ජනයාගේ පෝෂණ අවශ්‍යතාවත් සැලකිල්ලට ගනිමින් ද නිශ්චිත කාලයක් සඳහා පමණක් බිත්තර ආනයනය කිරීම යෝග්‍ය වනු ඇත. බිත්තර ආනයනය කිරීමට අවසන් තීන්දුව ගන්නට පෙර බිත්තර ආනයනය නිසා ඉදිරියේ දී එම කර්මාන්තයට ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳව ද සැලකිල්ලට ගත යුතුය. යම් හෙයකින් බිත්තර ආනයනය නිසා ගොඩයන්නේ භාණ්ඩ ආනයනය කරන මහා පරිමාණ ව්‍යාපාරිකයන් නම්, ඔවුන් සමස්ත වෙළෙඳපොළම ආක්‍රමණය කිරීමේ අවදානමක් පවතින බැවින් මේ මොහොතේ බිත්තරයක් 70ට කෑවට අගුණයක් නැත. මන්ද තවත් මාස 03කින් බිත්තරයක මිල ස්වභාවිකවම රුපියල් 40ක ස්ථාවර මිලකට පැමිණීමට නියමිත බැවිනි.

I සකීෆ් සාම්