ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වශයෙන් ද ප්‍රකට කංජිපානි ඉම්රාන් හෙවත් මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් මත්ද්‍රව්‍ය ජාවාරම, පුද්ගල ඝාතන හා ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා රැසක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය. වසර තුනකට වැඩි කලක් බන්ධනාගාර ගතව සිටි කංජිපානි ඉම්රාන් අධිකරණය මගින් ඇප මත නිදහස් කොට තිබුණේ ඉකුත් දෙසැම්බර් 20 වැනිදාය. අනතුරුව මොහු මෙරට සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ රාමේෂ්වරම් වෙත පලා ගොස් තිබෙන බවට වාර්තා කර ඇත්තේ ඉන්දීය 'ද හින්දු' පුවත්පත මගිනි.
'ද හින්දු' පුවත්පත වාර්තා කරන පරිදි කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාව වෙත පලා ගොස් ඇත්තේ පසුගිය 25 වැනිදාය. වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ ඔහු ඉන්දියාවේ රාමනාතපුරම් ප්‍රදේශයට ගොස් ඇති බවත් ඔහු හා ඔහුට හිතවත් සගයන් සොයා ගැනීම සඳහා තමිල්නාඩු බුද්ධි සේවා හා එම ප්‍රාන්තයේ පොලිසි වෙත අවධානයෙන් පසුවන ලෙසට උපදෙස් ලබා දී තිබෙන බවත්ය.
හෙරොයින් ජාවාරමට අමතරව මිනීමැරුම් හා සාපරාධී බිය ගැන්වීම් වැනි විවිධ වැරදි සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය වී සිටි කංජිපානි ඉම්රාන් 2019 වසර මුලදී ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබුවේ පාතාල කල්ලි නායකයකුව සිටි මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිසක් සමඟ සිටියදීය. පසුව එරටින් දිවයිනට පිටුවහල් කළ පසුව වසර තුනකට පසුව ඇප මත මුදාහරින තුරුම ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය. කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියකුට යම් විමර්ශන කටයුත්තක් අතරතුරදී දුරකථනයෙන් අමතා මරණීය තර්ජනය කළේ යැයි කියන සිදුවීමකට අදාළව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුවකින්ද කංජිපානි ඉම්රාන් රුපියල් ලක්ෂ 50ක ශරීර ඇපයක් මත නිදහස් කරනු ලැබීය. මෙසේ ඔහුට එරෙහි සියලු නඩුවලින් ඇප මත මුදාහල පසුව ඒ මොහොතේම වෙස් වලාගෙන අධිකරණයෙන් පිටත්ව ගිය කංජිපානි ඉම්රාන් තලෙයිමන්නාරම බලා ගොස් ඇති බව කියැවේ. එහි සිටි කංජිපානිට හිතවත් පිරිස් විසින් ඔහුට ඉන්දියාවට පලා යාම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ඇති බවද වාර්තා වේ.
මීට දෙසතියකට පමණ ඉහතදී ඉන්දියාවේ තිරුචිනි ප්‍රදේශයේ විදේශික ජාතික අපරාධකරුවන් රඳවා සිටින විශේෂ කඳවුරක සිටියදී ශ්‍රී ලාංකික පාතාල නායකයන් ඇතුළු අපරාධකරුවන් 9 දෙනෙක් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇසුරු කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩනැගීමේ අරමුණෙන් කටයුතු කරන බව කියන චෝදනාව මත පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන පසුබිමක කංජිපානි ඉම්රාන් තමිල්නාඩුවට පැන යාම පිළිබඳ එරට බුද්ධි අංශවල අවධානයට ලක්ව ඇති බව 'ද හින්දු' පුවත්පත වැඩිදුරටත් අවධාරණය කරයි.
මේ අතර කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අධිකරණයට කරුණු වාර්තා කොට ඇති පරිදි වාර්තා වන්නේ ඇප මත මුදාහැර සිටින කංජිපානි ඉම්රාන් රහසිගතව විදෙස් ගතවී තිබෙන බවට තොරතුරු ලැබී ඇති බවය. කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් නියෝගයක් අනුව කංජිපානි ඉම්රාන් ඇප මත මුදාහැරීමට නියෝග කොට තිබුණේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසිනි.
පුද්ගලයකු ඝාතනය කිරීමට තැත් කිරීම හා ඊට අනුබල දීම යන චෝදනාවට කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් තිදෙනකුට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් පසුගිය (4) වැනිදා කැඳවූ අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කළ කරුණු දැක්වීම අනුව නියෝග කොට තිබුණේ කංජිපානි ඉම්රාන් වෙනුවෙන් ඇප අත්සන් තැබූ පුද්ගලයන් තිදෙනාට වහාම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසය. ඒ සඳහා වන සිතාසි අදාළ පුද්ගලයන් වෙත මේ වන විටත් යොමු කර තිබේ.
කංජිපානි ඉම්රාන් මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පල්ලිය අසල කැඳ කඩයක් පවත්වාගෙන ගියේ කංජිපානිගේ පියාය. පියාගේ සහායට සිටි පුත්‍රයාට අසල්වැසියන්ගේ අන්වර්ථ නාමය වූයේ කංජිපානාය. 'කංජිපානා' දමිළ වචනයකි. එහි සිංහල අර්ථය කැඳය. මේ අනුව 'කැඳ ඉම්රාන්' ලෙස හඳුන්වන්නට අසල්වැසියන් කංජිපානි ඉම්රාන් ලෙස හඳුන්වා ඇත. කැඳ විකුණන අතර මොහු මාලිගාවත්තේ ප්‍රකට ජාවාරම්කරුවකු වූ ෆාජි නැමැත්තා සමඟ එක්ව හොරොයින් ජාවාරම පටන්ගෙන ඇතැයි කියති. පසුව මත්කුඩු ජාවාරමේ ප්‍රසිද්ධියක් ලැබූ කංජිපානි රීති රිතෝෂා නැමැති තරුණියක සමඟ ප්‍රේම සබඳතාවක් අරඹා ඇතැයි පැවසේ.
විවාහයෙන් පසුව මාලිගාවත්ත පාතාලයන් අතර වූ ගැටුම් නිසා එල්ල වූ තර්ජනය මත කංජිපානි ලංකාවෙන් පලා ගොස් තිබුණේ 2009 වසරේදීය. සිය බිරිය හා දරුවා මෙරට තබා ගිය කංජිපානිට පසුව ආරංචි වී ඇත්තේ බිරියට වෙනත් සම්බන්ධතා තිබෙන බවය. මේ නිසා කෝප වූ කංජිපානි ඉම්රාන් බිරිය අතහැර දැමුවේය. එහෙත් බිරිය කංජිපානිට දික්කසාදය ලබා දීමට කැමැති වී නැත. මේ නිසා කංජිපානි දැඩි වෛරයකින් පසුවී තිබෙන අතරතුර ඇය මංජල් අක්‍රම් නැමැති හෙරොයින් ජාවාරම්කරු සමඟ සබඳතාවක් ගොඩනගාගෙන තිබුණි. එහෙත් පසු කලෙක වූ පාතාල ගැටුමකින් ඔහු ඝාතනයට ලක් විය. එම ඝාතනයට කංජිපානි සබඳතා දැක්වූ බවට අනාවරණය වී නැතත් පසු කලෙක මියගිය මංජල්ගේ නිත්‍යනුකූල බිරිය හා දරුවා ඩුබායි වෙත ගෙන්වා ගැනීමට කංජිපානි කටයුතු කර ඇතැයි කියති. එසේ නව ජීවිතයක් ආරම්භ කළ කංජිපානිගේ බිරියගේ ඥාතීන්ට ඔහුගේ පළමු බිරිය තර්ජනය කොට තිබුණි. ඊට පළිගැනීමක් වශයෙන් කංජිපානි එම තැනැත්තියට වෙඩි තබා ඝාතනය කරවීමට සැලසුම් කර ඇතැයි පැවසේ. ඒ සඳහා කොළඹ මුස්ලිම් පාතාලයේ දෙදෙනකු යොදවා තිබුණු අතර ඔවුන් දෙදෙනාද කංජිපානි ඇතුළු පිරිස සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබූහ.
කංජිපානි ඉම්රාන් ඩුබායි සිටියදීත් මෙරට සිය සගයන් ලවා දිනකට හෙරොයින් කිලෝග්‍රෑමයක් හෝ විකුණා දවසක කෝටි ගණනනින් මුදල් උපයා ඇති බවද පැවසේ. මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබලයකු වූ කංජිපානි ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය යන රටවල ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූවෙකි. ඒ හරහා මෙරට මත් කුඩු ජාවාරම මෙහෙයවූ කංජිපානි පාකිස්ථානයේ කුඩු ජාවාරමේ ප්‍රබලයා ලෙස සැලකෙන ඩුබායි සැඟවී සිටින ඉබ්‍රාහිම් ඩාවුඩ් සමඟ සබඳතා පැවැත්වූවෙකි. ඔහු ඉන්දියාවේ මුම්බායි ප්‍රහාරයට සැක කරන අපරාධකරුවෙකි. මේ නිසා කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැන යාම පිළිබඳව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය දැඩි අවධානයෙන් පසුවන බව වාර්තා වේ.
I සමන්ත ප්‍රදීප් විල්තෙර